සාපරාධී රාජ්‍යය ?

699

සාපරාධී රාජ්‍යයක් වීම පිණිස 1971 දී ශ්‍රී ලංකාව ආරම්භ කළ ගමන 1977 වන විට ක්‍රමයෙන් වේගවත් වූ බව ඉතා සංවේගයෙන් සටහන් කරමු. 1977 න් පසු මේ රටේ මිනිසුන් මරණ ලද්දේත් වෙනත් සාපරාධී ක්‍රියා සිදුකරන ලද්දේත් කිසියම් ඒරටැඑ එකක් සම්පූර්ණ කිරීමට මෙනි. 1983 න් පසු ප්‍රභාකරන්ගේ ගෝලයෝ එක දිගට මිනී මරන්නට පටන් ගත්හ. ඒ ප්‍රධාන ඝාතන රැල්ල එසේම යද්දී 1988, 89 සහ 90 අවුරුදුවල ආණ්ඩුවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් තරගෙට මිනී මැරූහ. යුද්ධය නිමවීමෙන් පසු මේ සියල්ල අවසන් වූයේ යැයි අපි සිතුවෙමු. එහෙත් ලංකාවේ පාතාලය, කුඩු ජාවාරම, කොන්ත්‍රාත් මිනී මැරුම් යනාදිය යුද්ධය නැති නිසා ඉතා බිහිසුණු ලෙස කැපී පෙනෙන්නට පටන් ගත්තේය. අද අපගේ ඇස්තමේන්තුවට අනුව දිනකට රටේ තැන තැන අපරාධ සියයකට වැඩි ගණනක් සිද්ධ වෙයි. එයින් කිහිපයක් පොලිසියට වාර්තා වෙද්දී සෙස්ස යට යයි. අපරාධයක් යට ගැසීම සඳහා අපරාධකරුද පොලිසියද එකතු වෙති. මේ දෙගොල්ල අතරමැද සල්ලි පාලමක් ඇත. එම පාලම හරහා පොලිසිය පැත්තට සල්ලි වීසිකරන තරමට අපරාධ යට යයි. පසුගියදා හතළිස් නව හැවිරිදි ඇඟලුම් ව්‍යාපාරිකයෙක් අතුරුදන් විය. පසුව ඔහුගේ මළ මිනිය ඔහුගේම ගෙදර තිබෙන නාන තටාකයෙන් හමුවිය. ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවීමත් සමගම ප්‍රශ්නයෙන් භාගයක් විසඳුණු බව පොලිසිය කල්පනා කළේය. එහෙත් සියලු දෙනාගේ අපේක්ෂා සුන් කරමින් පූල් එකෙන් ගොඩට ගත් මළ මිනිය ඇඟලුම් ව්‍යාපාරිකයාගේ මිනිය නොවන බව ඔහුගේ පවුලේ අය කීහ. මෙයින් පසු හටගන්නා සංකීර්ණ තත්ත්වය පොලිසියද මිය ගිය අයගේ සමීපතමයන්ද විශාල අමාරුවක දමන්නේය. බොරැල්ල කනත්තේදී ඝාතනය කෙරුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයද අදටත් විසඳී නැත. විටෙක ඔහු සිය දිවි නසාගත් බවක් පෙනෙන්නට තිබේ. තවත් විටෙක තුන්වැනි පාර්ශ්වයක් විසින් ඔහු ඝාතනය කරන ලද බවක් පෙනෙන්නට තිබේ. ඒ අතර කවුරුත් නොහිතන අභව්‍ය සිද්ධියක්ද මේ මරණයෙහි ඇති බව පෙනෙන්නට තිබේ.

පසුගිය පැය 48 තුළ පුරුදු පරිදි අපරාධ ගණනාවක්ම සිදුවිය. මෙයින් කිහිපයක් පාඨකයාගේ දැන ගැනීම පිණිස මෙහි සඳහන් කරමු.

  1. ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඇය මරා සිරුර ඇඹිලිපිටියේ ආයුර්වේද රෝහල අසල දමා ගොස් ඇත. ආරංචියේ හැටියට ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුතා සහ ඝාතකයාගේ බිරිය අතර ප්‍රේම සම්බන්ධයක් තිබිණ. ඒ සම්බන්ධයෙන් පුතාගෙන් වන්දියක් ගැනීමට තරම් කොන්ද පණ නැතිවූ ඝාතකයා අසරණ මව මරා දැමීය. ඇඹිලිපිටියේ හෝටල්කාරයකු ඇතුළු තිදෙනකු මේ ඝාතනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව තිබේ. ඔවුහු මේවන විට ගමෙන් පැන ගොසිනි.
  2. සිය කුඩම්මාගෙන් සිදුවන හිරිහැර දරාගත නොහැකි වූ එකොළොස් හැවිරිදි දැරියක් හොරොව්පතාන පොලිසියට තනිවම ගොස් පැමිණිල්ලක් කර තිබේ. දැරියගේ මව මීට පස් අවුරුද්දකට පෙර මළාය. එවිට ඇගේ පියා දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කර ගත්තේය. එම කුඩම්මා ඇගේ දියණියට ඉතා ආදරයෙන් සැලකු අතර තම සැමියාගේ දියණියට නිතර හිරිහැර කරමින් බැන වැදුනාය. මීට පැය 48 ට පෙර මේ දැරිය කිලෝමීටර් හතරක් මග ගෙවාගෙන හොරොව්පතාන පොලිසියට පයින්ම පැමිණ සිය දුක කී අතර එකිනෙහිම ක්‍රියාත්මක වූ පොලිසියේ කාර්යක්ෂම නිලධාරීහු සැකකාරිය අත්අඩංගුවට ගත්හ. මෙහිදී අපට වැදගත් ප්‍රශ්නයක් මතුවෙයි. මේ දැරිය පොලිසියට යන්නේ දුක් ගැහැට ඉවසීමට බැරිම තැනය. ඒ ගැන ඇය ඇගේ පියාට පැමිණිලි කරන්නට ඇති. එහෙත් කොන්ද පණ නැති ඒ නර පණුවාට ඒ ගැන පියවරක් ගන්නට බැරි වෙන්නට ඇති. එබැවින් ගෙදර ගැහැනිය හිරේ දමන අතර අපහරණය වූ දැරියගේ පියා නමැති පුද්ගලයාගේ හොම්බ තැලිය යුතු යැයි කිසිවෙක් යෝජනා කරතොත් අප එයට එරෙහි නොවෙමු.
  3. මීට පැය 48 කට පෙර පානදුරේ සංචාරක හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පැවැත්විණ. තරුණියන් දහ දෙනෙක්ද පිරිමින් තිස් එක් දෙනෙක්ද ඊට සහභාගි වූහ. පොලිසිය මේ සාදය වැටලූ අතර ගංජා, අයිස් සහ මත්පැන් තොගයක්ද සැකකරුවන්ද හෝටල් අයිතිකාරයාද උන්දෑගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට හැකි විය. සාදය අතරතුරේදී ගාල්ලෙන් පැමිණ සිටි දැරියක් හෝටලයේ කාමරයකට ගෙනගොස් දෙදෙනකු විසින් දූෂණය කරනු ලැබ ඇත. සාදයට සහභාගි වූ වැඩි දෙනෙක් බාල වයස්කරුවන් බව හෙළිවී තිබේ.
  4. ත්‍රිකුණාමලය උප්පුවේලි කින්නියා සර්දාපුර මාර්ගයේ වල්ලුවර්කෝට්ටන් නිවාස සංකීර්ණය අසල දමා ගිය එක් දිනක් වයසැති බිලිඳකු පොලිසිය විසින් තම භාරයට ගනු ලැබ ඇත. පොහොර බෑගයක් එලා, ඒ මත රෙදි කඩක්ද එලා බිලිඳා තබා තිබූ අතර මහ වැසි වසින්නට පටන්ගත් බැවින් යාබද නිවසක සිටි අම්මා කෙනෙක් දැරිය තම ගෙදරට ගෙන ගොස් පොලිසිය එන තුරු ආරක්ෂාව ලබාදී ඇත. මේ බිලිඳා ගැන ආරංචි වීමත් සමගම ඔහු හදා වඩා ගැනීමට ඉල්ලා මව්වරු තිදෙනක් පොලිසියට පැමිණියහ. ඒ අතර තවත් මව්වරු දෙදෙනෙක් දුරකථනයෙන් කතා කර පොලිසියෙන් දරුවා ඉල්ලා ඇත. එහෙත් ඒ ආකාරයෙන් දරුවන් දීමට පොලිසියට බලතල නැති බැවින් අධිකරණය හරහා දරුවාගේ භාරකාරත්වය සුදුසු මවකට ලබාදීම ඉදිරියේදී සිදුකරනවා ඇත. අප මීට පෙර සඳහන් කළ සියලුම අපරාධ සිදුවීම් අතුරින් ලොකුම අපරාධය මෙය ලෙස සැලකිය හැකිය. මෙය දරුණු සමාජ ප්‍රශ්නයකි. නිසි පියකු නැතිව උපදින දරුවා ශ්‍රී ලංකාව වැනි රටකදී යෝධ සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙයි. එහෙත් නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වැනි රටවල මෙවැනි දරුවන් සමාජ ප්‍රශ්නයක් ලෙස නොව සමාජය විසින් ලබන ත්‍යාග ලෙස සලකනු ලැබේ. පෙරකී රටවල්වල මෙවැනි දරුවන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ ඇත. ඉන් එකක් නම් එවැනි දරුවන් රජය මගින් භාර ගැනීමය. එසේ දරුවන්
  5. භාරගන්නා මධ්‍යස්ථානවල තිර රෙදි යෙදු ජනෙල් කවුළු ඇත. එම ජනෙල් කවුළු ඉදිරිපිට වේවැල්වලින් තැනූ බාස්කට් තබා ඇති අතර ඒවා කුඩා කොට්ට සහ මෙට්ට යොදා පහසුවට සකස් කර ඇත. මවකට හෝ පියකුට සිය දරුවා අනවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ එම දරුවා පෙර කී ජනෙල් කවුළුව වෙත ගෙන ගොස් එය ඉදිරිපිට ඇති බාස්කට් එක තුළට දමා තිර රෙද්ද ඈත්කර බාස්කට් එක කවුළුව ඇතුළෙන් තැබීමය. එකෙනෙහිම කාරුණික සහ වගකිව යුතු දෑත් සිය ගණනක් මගින් එම දරුවා සහිත බාස්කට් එක භාරගන්නා අතර ත්‍යාගයක් සේ සලකා කටයුතු කරනු ලැබේ. මෙහි ඇති එකම කොන්දේසිය නම් කිසිදු ආකාරයකින් එම දරුවා නැවත වතාවක් දෙමාපියන්ට භාර නොදීමය. ඩී. එන්. ඒ. පරීක්ෂණ 100 ක් කරගෙන දරුවා පිළිබඳ මාතෘත්වය හෝ පීතෘත්වය ඔප්පු කළද එම දරුවා ආපසු දෙනු නොලැබේ. ශ්‍රී ලංකාවද එවැනි වගකිව යුතු ක්‍රම වෙත ගමන් කළ යුතුය. ප්‍රසූත කළ ගමන් පණ පිටින්ම වළ දමන දරුවන් ගැන අපට නිතර අසන්නට ලැබේ. ශ්‍රී ලංකාව සාපරාධී රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ දුර දැකීමේ ප්‍රඥාව නැති නිසාය.
advertistmentadvertistment
advertistmentadvertistment