60 සීමාවෙන් රජයේ ඉංජිනේරුවෝ සියයට 33 ක් විශ්‍රාම යති

189

50ක් රට හැර යන්න හදති

වයස අවුරුදු 60 න් විශ්‍රාම ගැනීමේ රජයේ යෝජනාවට අනුව රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන්ගෙන් 1/3ක් (සියයට 33ක්) විශ්‍රාම ගැනීමට නියමිත අතර පනස් දෙනෙකු රට හැර යෑමට ඉල්ලා තිබෙන බව විශේෂඥ ඉංජිනේරුවෝ පවසති.

ඔවුන්ගේ සේවය රටට අහිමිවීමෙන් ආර්ථික, සංවර්ධන සහ අධීක්ෂණය අකර්මණ්‍ය වනු ඇති බවට අනතුරු අඟවති. රාජ්‍ය සේවයට අනුමත ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 1565ක් වන අතර දැනට පුරප්පාඩු 261ක් පවතී.

අතුරු අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් මස 31දා වනවිට ඉංජිනේරුවන් 112ක් විශ්‍රාම ගත යුතුය. 2023 වසරේදී 22 දෙනකු විශ්‍රාම ගතයුතු අතර 50ක් රට හැර යෑමට ඉල්ලා තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තොරතුරුවලට අනුව විශේෂඥ මට්ටමේ ඉංජිනේරුවන් 47 දෙනකුගෙන් 20 ක් දෙසැම්බර් මස 31දා වනවිටත්, ලබන වසරේදී 05 දෙනකුත් විශ්‍රාම ගත යුතුය. අධීක්ෂණ, අංශ ප්‍රධානී මට්ටමේ අනුමත ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 250කි. පුරප්පාඩු 40ක් පවතී. ඉන් 17 දෙනකු දෙසැම්බර් මස 31දා වනවිටත් 10 දෙනකු ලබන වසරේදීත් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

1267ක් අනුමත පළාත්/දිස්ත්‍රික්/ප්‍රාදේශීය මට්ටමේ ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාවෙන් 221ක් පුරප්පාඩු පවතී. දැනට සේවයේ නියුතු 1043 කගෙන් 25 ක් දෙසැම්බර් මස 31දා වනවිටත් 07 ක් ලබන වසරේදීත් විශ්‍රාම ගත යුතුය. ඒ අනුව දැනට සේවය කරන 1300ක් වන ඉංජිනේරුවන්ගෙන් 445ක් පමණ විශ්‍රාම ගැන්මට නියමිතය.

ඉංජිනේරු සේවාව සැපයෙන මහාමාර්ග, වාරිමාර්ග, දුම්රිය, පළාත් සභා, පළාත්පාලන, ගොඩනැඟිලි ඇතුළු අංශවල බිඳ වැටීමක් ඉදිරි වසරේ සිට සිදුවීම වැළැක්විය නොහැකි බවටත්, එය රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් ඇති කරන බවටත් ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment