පුත්තලමේ ඖෂධහල් දෙකක් වටලයි

225

ලක්‍ෂ 30ක ඖෂධ අත්අඩංගුවට

පුත්තලම නගරයේ පවත්වා ගෙන ගිය බලපත්‍ර නොමැතිව හා ආණමඩුව නගරයේ පවත්වාගෙන ගිය බලපත්‍ර අලුත් නොකළ ඖෂධ අලෙවි කළ ස්ථාන දෙකක තිබූ ලක්ෂ 30 අධික ඖෂධ 25 දින සවස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආණමඩුව නගරයේ වසර 05කට ආසන්න කාලයක් බලපත්‍ර අලුත් නොකොට පවත්වාගෙන ගිය ඖෂධ වෙළද සලක් වටලා ලක්ෂ 05කට ආසන් ඖෂධ අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව ඖෂධ වෙළෙඳසල සහ ගබඩාවට උපක්‍රමශීලී නියෝජිතයකු යවා ඖෂධ ලබාගෙන පුත්තලම නගරයේ පිහිටි වෙළඳ සැලක් හඳුනා ගැනීමට හැකි විය. ගබඩාකර තිබූ ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 25 පමණ වන බවයි වෙළඳසල් හිමියා සඳහන් කරන්නේ. බලපත්‍රයක් නොමැතිව ඖෂධ ගබඩා කිරීම සහ අලෙවි කිරීම ජාතික ඖෂධ නියාමන පනත උල්ලංඝනය කිරීමක් බව සලකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර සහා ඖෂධ පරික්ෂක අමිත් පෙරේරා මහතා සඳහන් කරන්නේ.

කඩ හිමියාට සාමාන්‍ය වෙළඳසලක් පවත්වාගෙන යෑමට අවසර දී (ගොසරියක්) ඖෂධ අලෙවිසලක් පවත්වාගෙන යෑම තහනම් කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ඇතුළු නිළධාරීන් පියවර ගෙන තිබුණි.

වැටලීමේදී බලපත්‍ර නොමැති ඖෂධ අලෙවි සලක් පවත්වා ගෙන ගිය පුත්තලම ඖෂධ වෙළෙඳසල් හිමියාට ලබන 06 දා පුත්තලම අධිකරණයේ පෙනී සිටින ලෙසත්, බලපත්‍ර අලුත් නොකළ ආණමඩුවේ ඖෂධ වෙළෙඳසල් හිමියාට ලබන 13 ආණමඩුවේ අධිකරණයේ පෙනී සිටින ලෙසත් දැනුම් දී ඇත.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන ප්‍රදීප් අබේරත්න හා වසන්ත ජයලත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර සහා ඖෂධ පරික්ෂක අමිත් පෙරේරා මහතා මෙම වැටලීමක් සඳහා සම්බන්ධ වූ අතර මෙම වැටලීමට පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුරේ දෙවන අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න, පො.සැ. (6691) විජේරත්න, පො.කො. (84767) සුජීව පො.කො (93093) සෝමරත්න පො.සැ.රි. (12947) බංඩාර යන නිලධාරීන් ආරක්ෂාව ලබා දුන්නේය.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment