ලෝකයේ ආරම්භය කෙසේ සිදුවීද?

465

පෙරදිග පුරාතන ආගමික සිද්ධාන්ත වලට අනුව ද ද්වාපර යුගයේ විසූ පංච අභිඥාලාභී අෂ්ට සමාපත්තිලාභී සෘෂි උතුමන් වහන්සේලාගේ අනාවරණයන් අනුව ද බුදුන් වහන්සේ විසින් දේශනා කිරීමට යෙදුන ඇතැම් සූත්‍ර ධර්මයන්ට අනුව ද ලෝකයේ ආරම්භය එකම ලෙසකට සිදුවී ඇත. මෙය ජ්‍යොතිෂ විද්‍යාත්මක ගණනයන් තුළින් විමසන කල ද සත්‍ය හා නිවැරදි බව පෙනී යයි. විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ සඳහන් ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝක ආරම්භයේ තතු මනාව විස්තර වේ.

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු වලට අනුව ලෝක විනාශයෙන් පසු නැවත ලෝකයේ ආරම්භය මෙසේ සඳහන් වේ. ලෝක විනාශයත් සමඟ, ලෝක විනාශයට පෙර තිබූ පෘථිවිය හා එය පිහිටි චක්‍රාවාටය යන සියල්ල හිරුත්, සඳුත් සමඟම විනාශ විය. මෙලෙස ලෝක විනාශයෙන් පසු දීර්ඝ කාලයක් හිස්ව පැවැති අජටාකාශයේ පෘථිවිය පිහිටි තැන කර්මානුරූපව මහ පොළොව හටගත්තේය. එහිදී මුලින්ම දිය කඳ සෑදුන බව සඳහන්ය. ඉන් අනතුරුව ඒ දියකඳ මත රස පොළොව හටගත් බව කියැවේ. මේ වන විට හිරු, සඳු, තරු ආදිය නොතිබීමෙන් පෘථිවිය මත තද ගන අඳුරක් පැවතුණි. බුද්ධ දේශනාවට අනුවත් සෘෂිවරුන් වහන්සේලාගේ අනාවරණයනට අනුවත් මේ සමයේ කිසිදු සත්ත්වයෙක් පෘථිවිය මත වාසය කළේ නැති බව සඳහන්ය. කෙසේ නමුත් ලෝක විනාශයට පෙර මහත් වූ පුණ්‍ය මහිමයකින් යුතු සත්ත්වයෝ ද්විතීය ධ්‍යාන භූමියක් වූ ආබස්සර නම් බඹ ලොව ඉපදුනහ. එසේ ආබස්සර නම් බඹ ලොව උපන් සත්ත්වයෝ එම කුසලය ක්‍ෂය වී ආබස්සර බඹ ලොවින් චුතව බ්‍රහ්මයන් හා සමාන ක්‍යාම ප්‍රභාව ඇතිව ආකාශචාරීව හැසිරෙන සත්ත්ව කොට්ඨාසයක් සේ ඉපදුණි. මොවුන් බ්‍රහ්මයන් හා සමාන වූයෙන් ප්‍රීතියම ආහාරය කොට ගත්හ. ධ්‍යාන බල අතින් ද ඉතා උසස් තලයක සිටි මෙම සත්ත්ව විශේෂය පෘථිවිය මත වූ අහසේ සෘද්ධියෙන් එහා මෙහා සැරිසැරූහ. මෙලෙස එහා මෙහා සැරිසැරීමේදී රස පොළොවේ වර්ණය හා සුවඳ දැනුණි.

මෙම රස පොළොවේ වර්ණයට හා සුවඳට ආශාව ඇතිවූ එම ආකාශානුචාරී එක සත්ත්වයකු තම ඇඟිල්ලෙන් රස පොළොව් රස බැලූ බව සඳහන්ය. මෙලෙස රස පොළොවේ රසට වශීව අනෙක් සියලු සත්ත්වයෝ ද රස පොළොව ආහාරයට ගත්හ. මෙලෙස බොහෝ කාලයක් රස පොළොව ආහාරයට ගන්නා විට ඉතා සියුම් ශරීර දැරූ බ්‍රහ්මයන් හා සමාන වූ එම සත්වයන්ගේ ශරීර රළු විය. එලෙස ශරීර රළු වෙත්ම ක්‍යාම ප්‍රභව ක්‍රමයෙන් අතුරුදන් විය. එනිසා එතෙක් තම ශරීර ආලෝකයෙන් ජීවත් වූ මෙම සත්ත්වයන්ට ආලෝකය අවශ්‍ය විය. එනිසා මොවුන් ආලෝකය ලැබෙන්නට සූර්යයකු පැතීය. මෙම සත්ත්වයන් මහා පුණ්‍ය මහිමයකට හිමිකම් කියූ නිසාවෙන් සූර්යයකු පහළ විය. එවිට අඳුර නැති විය. නමුත් දිවා කාලයේ පායන සූර්යයා සවස් වෙත්ම බැස යන නිසා නැවත පසුදා උදය වනතුරු අඳුර ඇතිවිය. මෙයට විසඳුමක් ලෙස මෙම සත්ත්වයෝ රාත්‍රි කාලයට නැවත සෞම්‍ය ආලෝකයක් පැතීය. ඒ අනුව චන්ද්‍රයා පහළ විය. මින් අනතුරුව සෙසු ග්‍රහලෝක ආදියත් තාරකා ආදියත් පහළ විය. මෙලෙස ඉර, හඳ ප්‍රමුඛව ආකාශ වස්තූන් පහළ වීමේ දී රෑ,දවල්, දින, මාස, සෘතු, වසර ආදී ලෙස කාලයේ බෙදීම් ඇතිවිය.

බුද්ධ දේශනාවේ සඳහන් උත්පාද, තිථි, භංග යන නියමයනට අනුව ලෝකයේ ඇතිවීම, පැවතීම හා නැතිවීම සිදුවේ. මෙය හුදෙක් කාලානුරූපව සිදුවන සදාතන ධර්මතායවකි. කාලයේ චක්‍රීයතාව මෙම ධර්මතාවයට සෘජුවම බලපාන බව ද මෙහිදී කිව යුතුමය. රස පොළොව ආහාරයට ගනිමින් මෙසේ දීර්ඝ කලක් ගතවන විට එවක විසූ බ්‍රහ්මයන් හා සමාන වූ සත්ත්වයෝ තම ගුණදහම් පිරිහී මාන්නාධික වීමෙන් රස පොළොව ක්‍රමයෙන් අතුරුදන් විය. ඒ සමගම සත්ත්වයන්ගේ ආහාරය සඳහා මිහිරි රසැති බිම්මල් විශේෂයක් පහළ විය. එම ප්‍රණීත වූ බිම්මල් ද දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් එම සත්ත්වයන්ගේ ශරීර තව තවත් දැඩි විය.

මෙහිදී ද මෙම සත්වයන්ගේ ගුණයහපත්කම් තවදුරටත් පිරිහී මාන්නාධික වීමෙන් එම බිම්මල් විශේෂය ද ක්‍රමයෙන් අතුරුදන් විය. ඉන් අනතුරුව සත්ත්වයන්ගේ ආහාරය උදෙසා මිහිරි රසැති වැල් විශේෂයක් පහළ විය. මෙම වැල් විශේෂය ද බොහෝ කලක් පැවැත සත්ත්වයන්ගේම අයහපත්කම් හේතුවෙන් කලින් වතාවලදී සේම ක්‍රමයෙන් අතුරුදන් විය. මින් අනතුරුව සත්ත්වයන්ගේ ආහාරය උදෙසා කුඩු දහයියා ආදියෙන් තොර සුවඳවත් රසවත් සහල් විශේෂයක් පහළ විය. මෙම සහල්වල විශේෂත්වය වූයේ මේවා උදයට නෙළාගත් විට නැවත සවසට හට ගැනීමයි. මෙම සහල් විශේෂය සත්ත්වයන් දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීර වඩ වඩාත් රළු විය. ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මේ දක්වා මෙම සත්ත්වයන්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නොතිබුණි. එහෙත් සියුම්ව තිබූ ශරීර ක්‍රමයෙන් රළු වෙත්ම ඔවුනොවුන් ඔවුනොවුන්ගේ ශරීර දෙස බලා සිටීමෙන් ක්‍රමයෙන් රාගය පහළ විය. ඒ අනුව ලෝක විනාශයට පෙර සිටි ලෙසටම මෙම සත්ත්වයන්ට ස්ත්‍රී පුරුෂ බව පහළ විය. ස්ත්‍රී පුරුෂ බව පහළ වීමත් සමගම රාගයෙන් භරිත වූ මෙම ස්ත්‍රී පුරුෂයෝ ප්‍රසිද්ධියේ මෛථුන සේවනයේ යෙදීමට පටන් ගත්හ. එම තත්ත්වය පිළිකුලටත්, පරිභවයටත්, නින්දාවටත්, හිංසාවටත් හේතු වූයෙන් මෙම ස්ත්‍රී පුරුෂයන්ට ආරක්‍ෂා සහිත වාසස්ථානයක අවශ්‍යතාව ඇතිවිය. ඒ නිසා ඔවුන් වාසස්ථාන සකසා ගත්තේය. මෙලෙස වාසස්ථාන සකසා ගැනීමත් සමග එක වේලකට සෑහෙන සේ නෙළාගෙන ආ සහල් තෘෂ්ණාවෙන් යුතුව වේල් කිහිපයකට, දින කිහිපයකට ආදි ලෙස රැස්කර ගබඩා කිරීමට පෙලඹුණි. මෙලෙස මෙම සත්වයන්ට තණ්හාව ඇතිවූ නිසාවෙන් සහල් නෙළාගත් කල නැවත සහල් හටගැනීම ක්‍රමයෙන් නැතිවිය. තව ද සහල්වල කුඩු දහයියා පවා ඇතිවිය. මෙලෙස සහල් හිඟ වූයෙන් සහල් වැවී ඇති පොළොවේ කොටස් නියර ආදිය බැඳ තමාගේ අයිතිය පවසමින් වෙන්කර ගැනීමට යෙදුණි. මෙලෙස සහල් හිඟ වූයෙන් මිනිසුන් ඉදිරි පරිභෝජනය සඳහා සහල් හා අනෙකුත් ධාන්‍ය ආදිය රැස්කර ගබඩා කිරීමට පුරුදු විය. මේ අතර මෙම මනුෂ්‍යයන්ගෙන් කෙනෙක් මෙම සහල් ධාන්‍ය ආදිය සොරකම් කළේය. ඒ සමග සොරකම ආරම්භ විය. මෙනිසා මෙම අසාධාරණ අකටයුතුකම විනිශ්චය කොට ඊට සුදුසු දඬුවම් ලබාදීමට පුද්ගලයකුගේ අවශ්‍යතාව ඇතිවිය. එහිදී එකල විසූ මනුෂ්‍යයෝ එක්ව සැවොමගේම සම්මතයෙන්, කවුරුත් පිළිගත් පුද්ගලයකු ඒ සඳහා පත්කර ගත් අතර, ඔහු සපයන මේ සේවාව වෙනුවෙන් ඔහුට සැවොම එක්ව ධාන්‍ය කොටසක් පිරිනැමීමට සම්මත කරගත්හ. මෙලෙස මෙම පුද්ගලයා සැමගේ සම්මතයෙන් පත්වූ බැවින් මහා සම්මත නමින් ද, කෙතට අධිපති වූ බැවින් ක්‍ෂත්‍රිය නමින් ද, දැහැමින් සාධාරණව කටයුතු කළ බැවින් රජ නමින් ද ප්‍රකට විය. මේ අයුරින් ක්‍ෂත්‍රිය කුල පරම්පරාව ඇරඹුණි.

මෙලෙස ක්‍රමයෙන් ප්‍රජාව ඇතිවීමත් සමඟ තවත් කුලයන් ඇතිවිය. විශේෂයෙන් මිනිසුන් තුළ සොරකම, මුසාවාදය, ගැරහුම ආදී ළාමක ධර්ම පහළවීමත් සමඟ ඒ පිළිබඳ පහන් සංවේගය උපදවාගත් තවත් පිරිසක්, එම අකුසල ධර්මයන්ගෙන් වැළකී පින් කිරීම, ධ්‍යාන වැඩීම ආදී උසස් කුසල කර්මවල යෙදීමට පෙලඹුණි. බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ ඔවුන්ට බ්‍රාහ්මණ යැයි ව්‍යවහාර විය. මෙලෙස බ්‍රාහ්මණ කුලය ආරම්භ විය. තවද ගව පාලනය ආදී වූ නොයෙක් කර්මාන්ත කිරීමට පෙලඹුණ පිරිස වෛශ්‍ය ලෙස හැඳින්විය. ඒ අනුව එලෙසට වෛශ්‍ය කුලය ආරම්භ විය. මේ අතර තවත් ඉතාම සුළුතර පිරිසක් ඉතා පහත් අධම දීන නපුරු ක්‍රියා කිරීමට පෙලඹුණි. සමාජයෙන් ගැරහීමට ලක්වූ ඔවුන් ශුද්‍රයන් ලෙස හදුන්වන ලදී. එලෙසට ශුද්‍ර කුලය ඇතිවිය. මේ අයුරින් එකල ජීවත් වූ මනුෂ්‍යයන්ගේ ක්‍රියාව අනුව බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර යන කුල සතර ඇතිවිය. මෙලෙසට මෙම කුල බෙදී යෑමේදී ධර්මය හා අධර්මය බොහෝදුරට උපමානයක් ලෙස භාවිතා වුණි. කෙසේ නමුත් උතුම් සම්බුද්ධ දේශනාවට අනුව යම් මනුෂ්‍යයකු බ්‍රහ්මණයකු හෝ වසලයකු වන්නේ තම ක්‍රියාවෙන් මිස අන් දෙයකින් නොවේ. මේ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ (සුත්ත නිපාතයේ) වසල සූත්‍රයේ සඳහන්ය. සම්බුද්ධ දේශනාවට අනුව ඉහත සඳහන් කවර කුලයකට අයත් වූව ද සිත, කය, වචනය යන තිදොරින් අයහපත් වූ කාය, වචී, මනෝ කර්ම ආදිය කරයි නම් එය ස්ථිරවම දුක පිණිස හේතු වන බවත්, එසේම තිදොරින් යහපත් වූ කාය, වචී, මනෝ කර්ම ආදිය කරයි නම් එය ස්ථිරවම සැප පිණිස හේතුවන බවත් එසේම තිදොරින් යහපත් හා අයහපත් කාය, වචී, මනෝ කර්ම ආදිය සිදුකරයි නම් එය සැප හා දුක අඩු වැඩි වශයෙන් ගෙනදීමට හේතුවන බවත් සඳහන්ය. එය එසේ මුත් සතර කුලයෙන් කවර කුලයක මනුෂ්‍යයකු හෝ සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරයෙන් සංවර වී බෝධිපාක්‍ෂික ධර්ම වඩා සියලු කෙලෙසුන් නසා උතුම් රහත් පදවියට පත්වන්නේ ද හෙතෙම සියල්ලන්ගෙන්ම අග්‍ර වන්නේය. ඒ අනුව වටින්නේ අධර්මය නොව ධර්මය යනු සම්බුදු දෙසුමයි. එනිසා අපත් හැකිතාක් උපරිමයෙන් ධාර්මික වෙමු. රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය වළකාගමු. යහපත් මනුෂ්‍යයන් වී සොබාදහම තුළින්ම ආරක්‍ෂා වෙමු. සැනසිල්ලේ ප්‍රීතියෙන් සතුටින් ජීවත් වෙමු.

ලෝකයේ ආරම්භය කෙසේ සිදුවීද?

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment