අධර්මයට එරෙහිවන ඊශ්වර දෙවියෝ

698

ඊශ්වර හෙවත් සිව දෙවියන් ලෝකයේ යහපත් ජනයන් රැකදෙමින් අධර්මයට එරෙහි වන්නා වූද ලෝකාවසානයේ ලෝකවිනාශය සිද්ධකරන්නා වූද දෙවියන් ලෙස හැදින්වේ.

නර්තනයට අධිපතිත්වය දරන සිවදෙවියන් නටරාජා නටේෂ මහාදේව ‘පසුපති’ මහේශ්වර’ යන නාමයන්ගෙන්ද හැඳින්වේ. ඉන්දු නදිය ආශ්‍රිතව ගොඩනැගී තිබුණ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයතුළ ඇදහීම්වල පළමු දේවාත්මය ලෙසද ඊශ්වර දෙවියන් සැලකේ.

ලෝකයේ ඉතාම පැරණි ග්‍රන්ථයක් වන වේද සාහිත්‍ය ග්‍රන්ථවල ශිව හෙවත් ඉසුරු දෙවියන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. හින්දුනිම්න ශිෂ්ටාචාරයේ මුල් යුගයේ වැසියන් ශිව දෙවියන් පශුපති’ රද්‍ර’ අග්නි ලෙසත් හැඳින්වූ බව පැවසේ. පුරාවිද්‍යා සාධකවලින් හෙළිවන ආකාරයට මෙම ශිෂ්ටාචාරය ක්‍රි. පූර්ව 2000 – 3000 අතර අවධියේදී ගොඩනැගී තිබුන බවත් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පසුකාලීනව විනාශ වී ගියද ශිවදෙවියන් ඇදහීම දිගින් දිගටම පැවත ආ බව පෙනේ.

හින්දු ධර්මයට අනුව ලෝකයේ ඇතිවීම පැවතීම නැතිවීම ඇතිවන්නේ ත්‍රීමූර්තියෙන් බවත් ඒ අනුව ලෝකයේ මැවීම මහාබ්‍රහ්මයා අතින් සිදුවන අතර විෂ්ණු මූර්තියෙන් ලෝකයේ පැවත්මත් ඊශ්වර මූර්තියෙන් ලෝකයේ නැතිවීම සිදුවන බවත් පැවසේ. ඊශ්වර දෙවියන් නැකැත් ශාස්ත්‍රයට යන්ත්‍ර මන්ත්‍ර ආදියට මෙන්ම භූමිගත වස්තූන්ට අධිපතිත්වය දරනු ලබන බව පැවසේ. (“දෙවිවරු ගැන කතා”මිස්සකසූරිය බණ්ඩාර)

දිවිසමක් ඇද දිවිසමක් මත ධ්‍යානයට සමවැදෙන ශිව දෙවියන්ගේ ආයුධය ත්‍රීශූලය වන අතර උඩැක්කිය වාද්‍ය භාණ්ඩය ලෙසද ව්‍යාඝ්‍රයෙකු වාහනය ලෙසද සැලකේ.

සතත තිසුලත් ගත්
කොතත විදුරවි රත්ගත්
වතත සොමි පත්මත්
සතත සතරැක මෙසුර සෙත්දෙත්

සඳකිඳුරු ජාතකයේ එන මෙම පද්‍යයෙන් ත්‍රිශූලායුධය දරන්නේ ඊෂ්වර බවත් සියලු සතුන් රැකදෙමින් සතහට සෙත සලසන බවත් එහි කියවේ. ඊෂ්වරට මුහුණු පහක් සහ නෙත් තුනක්ද ඇති අතර ත්‍රිශූලය, වජ්‍රය, කඩුව, පොරව, නාගයෙක්, පාශය, ඝණ්ඨාව, ඩමරුව, අකුස්ස යන මේවා දරන බවද කෛලාසකූට පර්වතය වාසභවනය කොටගෙන වෙසෙන බවද පැවසේ.

කඳකුමරු සහ ගණේෂ ඉසුරු දෙවියන්ගේ පුත්‍රයන් බවත් උමයංගනාව, පාර්වතිය සහ ගංගා දේවිය බිරියන් බවත් ජනවිශ්වාසයේ පවතී. උමයංගනාව ලෝකයේ පහලවුන රූපශ්‍රීයෙන් අගතැන්පත් දෙවඟන බව පැවසේ. (“හෙළබිම පුද ලබන දෙවිවරු” විජය ශ්‍රී ජයසිංහ) පාර්වතිය නෘත්‍ය ගීතාදියෙහි නියුක්ත දෙවඟනක් බවද ශිව දෙවියන්ගේ ජටාවෙන් ඇදී එන ජලධාරාව ගංගා දේවිය ලෙසද හැඳින්වෙන අතර තෙවන බිරිඳ වූ ගංගා දේවිය සංකේතයක් පමණක් බවද එම ග්‍රන්ථයේ සඳහන් වේ.

උඩරට නර්තන කලාවේ දහඅට වන්නමෙහි එන සුරපති වන්නමෙන් කියවෙන්නේ නර්තනයට අධිපති ඊශ්වර දෙවියන් ගැනය. ඊශ්වර දෙවියන් පිළිබද භක්තියෙන් රචනාකර ඇති සුරපති වන්නමෙන් ඊශ්වර සිය බිරිඳ වන උමයංගනාව නැතිව ඇතිවන ශෝකයෙත් ලජ්ජාවත් නිසා උපන් ද්වේශයෙත් ඇය නැවත හමුවීම නිසා ඇතිවන සතුටත් එම සතුට නිසාම රංගනයක යෙදුන බවත් විස්තර වේ. උමයංගගනාව සතුටට පත් කිරීම සඳහා ඊෂ්වර දෙවියන් නර්තනයේ යෙදුන බවට රසවත් කතා ප්‍රවෘත්ති පවතී. ඊෂ්වර තම උමයංගනාව පිනවීම සඳහා නර්තනයේයෙදී සිටියදී රාවනා රජු විහිළුවක් කිරීමට සිතා මහා මේරුවට අත තබයි. මෙහිදී ඊෂ්වරගේ නර්තනයේ කේන්ද්‍රීය ස්ථානය වෙනස්වීම නිසා නර්තනය නිවරදිව කිරීමට නොහැකි වෙයි. ඊෂ්වර මේ පිළිබඳව විමසිලිමත් වෙයි. ඊෂ්වර රාවණා කෛලාසයට අත තබා සිටින අයුරු දැක වහා රාවණාගේ අත ගලවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්කරයි. මෙහිදී රාවණා ඊෂ්වරගේ කරුණාව අපේක්‍ෂාවෙන් ගීතිකා කීපයක් ගායනා කරයි. ගීතිකා ශ්‍රවණය කරන ඊෂ්වර මහත් ලෙස සතුටට පත්ව රාවණාගේ අත කෛලාසයෙන් ගලවා ගැනීමට සලස්වා රාවණාට සියලු ශාෂ්ත්‍ර දුන් බව නර්තන ඉතිහාසයෙහි සඳහන් වේ. (“වන්නම් ගීත සාහිත්‍ය විචාරය” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඥානසිරි පීරිස්) ඉසුරු දෙවිඳුන් උමයංගනාව දෑතින් ගෙන වම්පයේ මහපටඟිල්ල ලක්‍ෂිය කරගනිමින් භ්‍රමණය වනවිට ශරීරයෙන් අර්ධයක් පූරුෂ වෙසින්ද අර්ධයක් ගැහැනු වෙසින්ද දර්ශනය වනබව පැවසේ.

පැහැදුළ තුගු පළහෙළ පවුර අබියස
රළ පෙළ වතල කල ලෙල දියගල විලස
ගතඔල වෙසින් රගදෙන වරැදළ දළස
සුළකළ අහස් ගග හුණුවැනි වට කෙළෙස

ඉසුරු නර්තනයෙහි යෙදෙන වෙලාවේ ශරීරය වේගයෙන් භ්‍රමණය වන විට අහස් ගඟෙහි දියදහර ඉසිරී ගොස් කෛලාසකූට පර්වතය වටා වැටෙන්නා වැනි යැයි සැවුල් සංදේස කතුවරයා පවසයි. ශිවගේ නර්තනය තාණ්ඩවයි. ශිව සමග නර්තනයේ යෙදෙන උමයංගනාවගේ නර්නය ලාස්‍යයි. ඊෂ්වර දෙවිඳු පිළිබඳ ලියවුණු රසවත් කතා රාශියක් හින්දුදේව කතාවල සඳහන් වෙයි. පැහැපත් සිරුරක් ඇති මෙම දෙවිදුන්ගේ ගෙල නිල්පාට වර්ණයෙන් යුක්ත වේ.

ලංකාවේ ශිවදෙවියන් ඇදහීම රාවණා යුගයේ සිට පැවැති බව එෛතිහාසික තොරතුරුවලින් හෙළිවේ. තොටගමුවේ සිරි රහල් හිමියන්ගේ සැළලිහිනී සංදේශ කාව්‍යයෙහි මුල්යුගයේ පැවති ශිව දේවාලයක් පිළිබඳව ගොරතුරු සඳහන් වේ.

ඊෂ්වර දෙවියන් රාවණා යුගයේ සිටි දිව්‍යඥාන බලසම්පන්න දෙවියෙකු ලෙස පැහැදිලි වන අතර රාවණා රජු ඊෂ්වර දෙවියන් ඉතාම භක්තියෙන් ඇදහූ බව පෙනේ. විශේෂයෙන් රාවණා රජුට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව සහ ආයුර්වේදය ජ්‍යොතිෂය වැනි ශාස්ත්‍රයන් ප්‍රගුණ කිරීමෙහි ඥානබල ශක්තීන් ඊෂ්වරගෙන් ලැබුණු බව පැවැසේ. ඉන්දියානු සම්භවයක් ඇති දෙවිකෙනෙකුන් ලෙස සැලකෙන ඊෂ්වර දෙවියන් රාවණා යුගයේදී භාරතයේත් ශ්‍රීලංකාවේත් සැබවින්ම ජීවත් වූ ධ්‍යාන බල සම්පන්න දෙවියෙකු ලෙස සැලකේ. සතුරන් මර්දනය කරගැනීමටත් නඩුහබ වලින් යුක්තිය සාධාරණය ඉටුකර ගැනීමටද සෙත්ශාන්තිය ආරක්‍ෂාව ඇතිකර ගැනීමටද බොහෝ බැතිමත්හු ඊශ්වර දෙවියන්ට බාරහාර වෙති.

අධර්මයට එරෙහිවන ඊශ්වර දෙවියෝ

කලාභූෂණ’විශ්වාභිනන්දන’
සියැනෑගෞරවකීර්ති සාමවිනිසුරු
සරණපාල නුවරපක්‍ෂ
පූගොඩ. 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment