පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඕනෑ – සජිත්

48

ඇත්ත හෙළි නොකරන්නේ පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවේ අය හවුල් නිසාද

වත්මන් ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් බලයට පැමිණි බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ එම ආණ්ඩුව සත්‍ය හෙළිදරව් නොකරන්නේ සහ ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් නොපවත්වන්නේ ඊට සම්බන්ධ පිරිස් ආණ්ඩුවේ සිටින නිසා ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (06දා) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

“පාස්කු ප්‍රහාරය ගැන විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් අප රටේ පවත්වන ලෙස පුන පුනා ඉල්ලා සිටියා. ඒ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා ජීවිත රාශියක් අහිමි වුණා. මේ ම්ලේච්ඡ කුරිරු නීච හිංසනකාරී ප්‍රහාරය එදත් අදත් හෙට දවසේත් අපිත් සමස්ත ජනතාවත් තරයේ හෙළා දකිනවා” යැයි ද විපක්ෂ නායකවරයා කීය.

“මේ මොහොත වන විට අප රටේ මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සාධාරණ දේශීය පරීක්ෂණයක් සිදු නොවූ බවට අතිමහත් බහුතර ජනතාව පිළිගන්නවා. ප්‍රහාරයෙන් මිය ගිය අපේ රටේ ජනතාවට සාධාරණයක් හිමිවිය යුතුයි” යනුවෙන් ද විපක්ෂ නායකයා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටු කරනවා යැයි බිහි වූ ආණ්ඩුව මේ ප්‍රහාරයට සම්බන්ධ ද කියා සත්‍ය වශයෙන් දැන ගත යුතු බවත් ප්‍රහාරය පිළිබඳ කළ සෑම පරීක්ෂණයක්ම මේ වන විට හංගා යට ගසා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ කතෝලික ප්‍රජාව ප්‍රමුඛ රටේම ජනතාවට විශාල හානියක් මෙයින් සිදු වුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය මුල් කර ගෙන ඉස්ලාම් ජනතාවට එල්ල කළ ආගම්වාදී ජාතිවාදී ප්‍රහාර අමතක කළ නොහැකි යැයි ද ජාතිවාදය ආගම්වාදය පතුරවා ජාතික සමගිය පෙන්වා මැති ඇමැතිකම් ලබා ගත් පිරිස මෙහි මහ මොළකරුවන් හෙළිදරව් කරන්න අපොහොසත් වී ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය. “ආණ්ඩුවට මේ සම්බන්ධ ඇත්ත හොයන්න කොන්දක් නැති වුණාට ජාත්‍යන්තරය එහි ඇත්ත හෙළිදරව් කරනවා” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීය.

කාදිනල්තුමා විවේචනය කරන අය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරනවා යැයි කීම හොරාගේ අම්මාගෙන් පේන ඇසිල්ලක් යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය. “ලේ පිපාසිත රජයට සත්‍ය හෙළිදරව් කරන්න හැකියාවක් නෑ. ඒ නිසා සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි’ යැයි ද විපක්‍ෂ නායකවරයා කීවේය.

සමගි ජන බලවේග රජයක් යටතේ මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර සහයෝගීතාවෙන් යුත් සාධාරණ පරීක්ෂණ පවත්වා යුක්තිය ඉටු කරන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment