පොලිසිය ගඳගස්වන අපතයෝ

703

රට තුළ භීෂණයෙන් සහ අපරාධවලින් තොරව සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම (Vision) ලෙස සඳහන් කර ඇත.

පොලිසියට අනුයුක්ත සියලුම නිලධාරීන් සහ බලධාරීන් ක්‍රියාකළ යුත්තේ ඉහත සඳහන් කළ දැක්මට අනුවය. එහෙත් වත්මන් ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ මෙය ක්‍රියාත්මක ද නැද්ද යන්න විමසා බැලීම කාලෝචිතය. මෙය විමසා බැලීම සඳහා පසුගිය දින කීපයේ සිදුවූ සිදුවීම් කීපයක් අපගේ අවධානයට යොමු වෙයි.

පසුගියදා ජාඇල පොලිසිය මගින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියෙන් ඉවතට ගෙන එන අවස්ථාවේදී අසල තිබූ ඇළකට පනින්නේ පලා යෑමේ අදහසිනි. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 26 හැවිරිදි පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණාමුර්ති සැකකරු අල්ලා ගැනීමට ඇළට පනින්නේ තම ජීවිතය පරදුවට තබමිනි. ඊයේ (24දා) සවස් වනවිට ඔහුගේ මළසිරුර සොයාගෙන තිබිණි. තමන්ගේ ජීවිත අවදානම ද නොතකා තම සේවය ඉටුකළ මෙම පොලිස් විරුවාගේ ක්‍රියාකලාපය පොලිස් සේවයේ ගෞරවය ආරක්‍ෂා කළ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.

මෙවන් පොලිස් නිලධාරීන් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තුළින් වාර්තා වුවද පොලිසියේ ගරුත්වය කෙලෙසන මහජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු පොලිසිය ගඳගස්වන අපතයන් පිළිබඳව වාර්තා වීම ඉතාමත් කනගාටුදායකය. එවන් සිද්ධීන් කීපයක් පසුගිය දිනවල අපට අසන්නට ලැබුණි. එක් සිද්ධියක් වාර්තා වන්නේ අනුරාධපුරයෙනි. මරංචි ජාවාරම්කරුවකු සමග එක්වී මැදිරිගිරියේ ව්‍යාපාරිකයකු පැහැරගෙන සිරකර පහරදී එම ව්‍යාපාරිකයාගෙන් ලක්‍ෂ 25ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑවයි චෝදනා ලැබූ අනුරාධපුර පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකුව සිටි පොලිස් පරීක්ෂක වරයකු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හොරුන් ඇල්ලිය යුතු පොලිසියේ ලොක්කන් මහ දවල් මෙවැනි අපරාධ කරයි නම් අහිංසක ජනතාවගේ ආරක්‍ෂාව සලසන්නේ කවුද?

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කෙකු පිළිබඳව කල්මුණේ පොලිසියෙන් පසුගියදා වාර්තා විය. තම ඥාති දියණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කර දඬුවම් ලබා ඇපමත සිටින 33 හැවිරිදි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ කල්මුනේ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයායි. අදාළ කාන්තාවට පොලිස් පොතේ සතියකට වරක් අත්සන් තැබීම මාසයකට වරක් කර දීමටත් අදාළ නඩුවෙන් ඇයව නිදහස් කර ගැනීමටත් පොරොන්දු වී තමන් සමග යහන්ගත වන ලෙස මෙම පොලිස් නිලධාරියා අදාළ කාන්තාවට යෝජනා කර තිබේ. සිද්ධිය පිළිබඳ අල්ලස් කොමිෂන් සභාවට අදාළ කාන්තාව වාර්තා කිරීම නිසා හෝටලයකදී මෙම පොලිස් නිලධාරියා කොටුවී තිබේ.

13 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකළ වලස්මුල්ල පොලිසියේ සැරයන්වරයකු තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වැඩ තහනමට ලක්කළ පුවතක් ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ පොලිස් කොස්තාපල්වරයකු ගැන පාදුක්ක පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ 11 වැනි වසර ඉගෙනුම ලබන දැරියකට ලිංගික අපරාධයක් කිරීමේ චෝදනාව මතයි.

මේ අයුරින් පොලිස් නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ දැරියන් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නම් ඔහුට රජ කාලයේ දඬුවම් දිය යුතුය. සෑම පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා කාර්යාංශයක් ක්‍රියාත්මක වන අතර ඉන් සිදුවන්නේ දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සහ වෙනත් අඩන්තේට්ටම් සොයා බැලීමයි. සමාජයේදී මවකට දියණියකට සිදුවන ලිංගික අතවර හා බලපෑම් ගැන පොලිසියට ගොස් සාධාරණය ඉටුකර ගැනීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් එම අපරාධ පිළිබඳව සොයා බැලීමට සිටින පොලිස් නිලධාරීන් මේ අයුරින් ක්‍රියා කරයි නම් මවකට දියණියකට බියෙන් සැකයෙන් තොරව පොලිසියට යෑමේ අවස්ථාව අහිමි වනු ඇත. එනිසා මහත් ඕනෑකමින් බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ මෙවැනි දූෂිත සහ අශීලාචාර පොලිස් නිලධාරීන් පිළිබඳව දැඩි තීන්දු ගන්නා ලෙසයි. නීතියට ගරුකරන, සැබෑ ලෙසම ජනතාවට සේවය කරන පොලිසියේ මහත්වරුන් මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුය. තම වරිගයාගේ නම කෙලෙසන සතුන් පොලිසියෙන් පන්නා දැමීමට සැබෑ පොලිස් නිලදරුවන් ඉදිරියට ආ යුතුය. මහජනතාව වෙනුවෙන් කැපවුණු ගෞරවණීය පොලිස් සේවයක් ස්ථාපිත කිරීමට මේ මොහොතේ පොලිසිය පොලිෂ් කළ යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment