මගේ ලයිෆ් එක හරි සරලයි – දිල්හානි ඒකනායක

255

දවසින් ජනප්‍රිය වෙන්න හැදුවෙත් නෑ;
දවසින් බෙන්ස්වල යන්න හැදුවෙත් නෑ
”අපේ ප්‍රින්සිපල් සෑහෙන කට්ටක් කෑවා”

යසපාලිත නානායක්කාරගේ “දේදුන්නෙන් සමනළියක්” චිත්‍රපටයේ 1989 දී ශ්‍රී ලාංකේය සිනමාවට එක්වෙද්දී ඇය පාසල් වියද ඉක්මවා තිබුණේ නැත. දඟකාර ළමාවියෙන් මිදී තාරුණ්‍යයට පා තබද්දී ඇගේ රුව සිනමාවට නැතිවම බැරි චරිතයක් විය. මේ වනවිට ඇය සිනමාවේ දැවැන්ත පෙරළියක් කළ චරිතාංග නිළියක් නමින් දිල්හානි ඒකනායක වූ ඇයව අද දවසේ අපට මුණගැසෙන්නේ ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ලද “අපේ ප්‍රින්සිපල්” සිනමා නිර්මාණය හරහායි. සැවෝයි සිනමා වසන්තය අභිනව මහා තිර මංගල්‍යය ලෙසින් පසුගිය 14 වැනිදා ආරම්භ කළ සිනමා උළෙලේදී “අපේ ප්‍රින්සිපල්” තිරගත කිරීම ආරම්භ කළා. ඉතින් දිල්හානි සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

මගේ ලයිෆ් එක හරි සරලයි - දිල්හානි ඒකනායක
  • ඔබ රංගනයෙන් දායක වුණු “අපේ ප්‍රින්සිපල්’‘ තිරගත කිරීම ආරම්භ කළා නේද?

ඒක ඇත්තටම අඩු කාලයකින් අඩු පිරිවැයකින් කරපු චිත්‍රපටයක්. මම තවමත් ඒ චිත්‍රපටය නරඹලා නැහැ. නරඹපු අය ටිකක් කැමැති වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ චිත්‍රපටය තිරගත කිරීමටත් අවස්ථාවක් උදා වෙලා තිබෙන්නේ. මේක ඇත්තටම දරුවන්ගේ කතාන්දරයක්. අනික දමිළ චිත්‍රපටයක අනුකරණයක් කියලයි මට හිතෙන්නේ. මමත් ඒ වගේ එකක් දැකලා තිබෙනවා. ඒ තරමට ලොකුවට වියදම් කරලා කරන්න බැරි වුණත් හොඳට කරලා තිබෙනවා.

  • මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කරන විදුහල්පතිනියගේ භූමිකාව තමයි ඔබේ නියෝජනය?

මට මේකේ ලොකු දෙයක් කරන්න තිබුණා. ඇත්තටම කිව්වොත් තනියෙන් ගේම් එකක් ගහන්න තිබුණ ඉතින් පුළුවන් උපරිමයෙන් කළා. මම ඉතින් සමාජයක් එක්ක ඉන්න හින්දා ඔය වගේ දේවල් ගැන හොයලා බලනවා. ඇත්තටම “අපේ ප්‍රින්සිපල්” චිත්‍රපටයේ තිබෙන කතාන්දර සියල්ලම වගේ අද පාසල් ඇතුලේ තිබෙනවා. මේ ඔය චිත්‍රපටය තුළින් ඉගෙන ගත්තු හඬම තමයි. කොහොමද දරුවන්ව දිනා ගන්නේ කියලා. දරුවන්ට ආදරෙන් කතා කළොත් සැලකුවොත් තමයි ඒ ගොල්ලොන්ගේ ප්‍රශ්න හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි සමාජය නිවැරදි කරගන්න පුළුවන්. චිත්‍රපටයේ ඕක කතන්දරයකට තිබුණට සම්පූර්ණයෙන්ම ඕක ඇතුලේ තියෙන්නේ ඇත්ත තමයි.

මගේ ලයිෆ් එක හරි සරලයි - දිල්හානි ඒකනායක
  • වර්තමාන තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ගිලගෙන තියෙන්නේ. රංගන ශිල්පිනියක් විදිහට ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මත්ද්‍රව්‍ය ගෙන්වන්නේ කවුද? නමුත් අහුවෙන්නේ පොඩි එවුන් විතරයිනේ. මේ රටේ හැම දෙයකටම හාල්මැස්සොනේ අහුවෙන්නේ. තෝරු මෝරු අහුවෙන්නේ නැහැනේ. ඕකනේ ක්‍රමය. ඒවාට කවුරුවත් අත තියන්නේ නැහැනේ. මේ රටේ හැම දෙයම පහත් තැනින් තමයි ගලාගෙන යන්නේ. සමාජයේ මිනිස්සු ඔතනට වැටෙන්න ලොකු ලොකු හේතු තිබෙනවා.

  • රූගත කිරීම් කළ කාලයේ මොනවගේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ?

ඇත්තටම මම අතිදුෂ්කරව වැඩ කරපු චිත්‍රපටයක්. මම ඕකට සෑහෙන කට්ටක් කෑවා. ඒ කියන්නේ පාසල ඇතුලේ සමහර වෙලාවට ඇඳුම් මාරු කරන ඒවා. මේකප් දාන ඒවා කරන්න වුණා. වැසිකිළි පහසුකම් පවා නැහැනේ. හරිම ඉවසීමෙන් මම දැඩිව මුහුණ දුන්නා.

මගේ ලයිෆ් එක හරි සරලයි - දිල්හානි ඒකනායක
  • අවසානයේ චිත්‍රපටය තිරගත වෙනවා කියලා දැනගත්තහම මොකද හිතුණේ?

මම මගේ කාර්යභාරය කළා තිරගත කළහම ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද කියලා බලන්න ඕනෑ. අඩුපාඩු දකින අය ඉන්නත් පුළුවන්. හොඳයි කියන අය ඉන්නත් පුළුවන්. ඔය දෙකටම ලෑස්ති වෙලා තමයි දෙයක් කරන්න ඕනෑ.

  • පසුගිය දවස්වල ඔබ රංගනයෙන් දායක වුණ කොඩිගහයට ටෙලිනාටය ගැන හැමෝම කතාබහ වුණා?

ඔව්. ඒක අනිවාර්යයෙන් කතාබහට ලක්වුණු නාට්‍යයක්. නාට්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝම ඉහළට ආපු නාට්‍යයක්. ඒකෙ තිබුණ වටිනාකම තමයි එහි හිටපු නළු නිළි කැල. එහෙම අය ඉන්නකොට රඟපාන්න හරි ලේසියි.

  • මගතොටේදී දිල්හානිව දැක්කහම කට්ටිය මොනවද කිව්වේ?

කොඩිගහයට විකාශනය වෙන කාලේ ඉතාම ඉහළින් කතාබහ කළා. මම කොහොමත් පාරේ බැහැල යනකොට රසිකත්වයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන්නේ ගරුත්වයක්. මා කෙරෙහි සමාජය තුළ ගෞරවයක් තිබෙනවා. ඉතින් ඒකෙ පිහිටලා තමයි ගොඩක් දෙනෙක් කතාබහ කරන්නේ. එහෙන් මෙහෙන් නිකම් ප්‍රතිචාර මට එන්නේ නැහැ. හරි ගෞරවයෙන් තමයි මට මේ රටේ මිනිස්සු කතාබහ කරන්නේ.

  • මේ දවස්වල මොනවද කරන්නේ?

හර්ෂ උඩකන්දගේ “රෙඩ්” කියන චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය 9 වැනිදා තමයි අවසන් කළේ. ඊට පස්සේ අද රිදී රැයක් තියෙනවා ඒ වෙනුවෙන් මම පසුගිය දවස්වල මහන්සි වෙන්න එපායැ. දෙසැම්බර් මාසය කියන්නේ හරියට කාර්යබහුල මාසයක්. මේ මාසය ඔය විදිහට ටිකක් දුෂ්කරව ගලාගෙන යනවා.

  • අද වෙනකොට ඔබේ රංගන පරාසය ගැන හැමෝම වගේ කතාබහ කරනවා?

ඕක ඇත්තටම ලොකු ගමනක කතාන්දරයක්. හරි දුෂ්කර ගමනක් තමයි මම ඇවිත් තියෙන්නේ. අපි ටිකක් වයසට යනකොට මාර්ගය වෙනස් කරගෙන පොඩි අවබෝධයකින් යන්න ඕනෑ ගමනක් තිබෙනවා. වයසට ගියත් අදටත් මම ලොකුවට වැඩ කරනවානේ. එතකොට බොහොමයක් අයට ඔය අවස්ථාව උදා වෙන්නේ නැහැ. එතැනදී දක්ෂතාවය තමයි පවතින්න බලපාන්නේ. ඒ කියන්නේ කොච්චර ලස්සනට අපි සිනමාවේ නැටුවා කළා වුණාට දීර්ඝ කාලීනව පවතින්න රංගනය දියුණු වෙලා තියෙන්න ඕනෑ. රංගනය දියුණු වුණහම චරිත හොයාගෙනම එනවා. දැන් මට තවම නිදහසක් නැහැනේ. සමහර අය මගේ වයසටත් හරියන්නේ නැති චරිත ලියනවා. මාව ඕනෑ කියලා.

  • ඕක ගොඩක් දෙනෙකුට නොලැබෙන අවස්ථාවක්?

ඔව්. ඇත්ත ඇත්ත. මම කියපු ටික තමයි ඔතැන තියෙන්නෙ. ටැලන්ට් වෙනස් කර ගන්න විදිහ. ඒ කියන්නේ අපි වයසට යනකොට පෙනුමත් එක්ක අපි කොහොමද වෙනස් වෙන්නේ. ජීවිත අවබෝධය තමයි ඔතැන තියෙන්නේ. වයසට යනකොට අපි ජීවිතයත් පොඩ්ඩක් උපේක්ෂාවෙන් ගන්න ඕනෑ. කොණ්ඩේ සුදු වෙනවා. හම රැලි වැටෙනවා. ඉතින් ඔය ටික හරියටම අල්ල ගන්න ඕනෑ නැති නම් අපි හදන්නේම ලස්සනට ඉන්නනේ.

  • දිල්හානි කියන්නේ යථාර්ථය තේරුම් ගත් පොළොවේ පය ගහලා ජීවත් වෙන ගැහැණියක් එහෙමද?

ඔව්. ඒ කියන්නේ මම සරලයිනේ. මගේ ලයිෆ් ස්ටයිල් එක හරි සරලයි. තවමත් අපි හරි දුෂ්කර ජීවිතනේ ගත කරන්නේ. මම දවසෙන් ජනප්‍රිය වෙන්න හැදුවෙත් නැහැ. දවසින් බෙන්ස්වල යන්න හැදුවේ නැති කට්ටිය. අපි අදටත් කටුනේ කන්නේ. ඉතින් ඒ ඔක්කොටම මේ ගමන ඇතුලේ හරි වටිනාකමක් තිබෙනවා. අදටත් මම ඉන්නවානේ හරියට වාහනයක් ගන්න විදිහක් නැතිව. අපිත් එකපාරටම දේවල් කරලා එහෙම වුණා නම් මම ඉන්න තැනත් වෙනස් වෙන්න තිබුණා. හැබැයි මට ඊට වඩා ආඩම්බරයි රුපියලක්වත් ණය නැතිව මම ගෙවන ජීවිතයට.

  • රංගනයේදී ඔබට ලැබෙන වටිනාකම ගැන ඔබ තෘප්තිමත්ද?

රංගනයේදී මගේ වටිනාකම ඕක නෙමෙයි. නිෂ්පාදකවරුන්ට ගෙවන්න පුළුවන් වටිනාකමේ තමයි මම ඉන්නේ. මේ රට ඇතුලේ ලොකුවට වියදම් කරලා ලොකුවට ලාභ ලබන්නත් බැහැනේ. අපි හැම කෙනෙක් ගැනම හිතලා ඕනෑ වැඩ කරන්න. නැති නම් ඒක මගේ වැලිව් එක නෙමෙයි. දැන් මම ඉන්දියාවේ එහෙම හිටියා නම් මගේ වැලිව් එක ඕක නෙමෙයිනේ.

  • ඉස්සරහට මොන නිර්මාණවලින් ද දකින්න පුළුවන්?

ඉස්සරහට කරපු චිත්‍රපට කිහිපයක්ම තිබෙනවා. ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි. නෙළුම් කුලුන කියලත් හොඳ චිත්‍රපට කිහිපයක් තිබෙනවා. ඉදිරියේදී නම් මම සෑහෙන දුරට ටෙලිනාට්‍යවලින් ඈත් වේවි. චිත්‍රපට ක්‍ෂේත්‍රයට තමයි ටිකක් බර.

  • දිල්හානි ටෙලිනාට්‍ය රංගනයෙන් සමුගන්න අදහසක් තිබෙනවාද?

සමුගන්නවා කියන එකක් නැහැ. දැන් හිතන්නකෝ කොඩිගහයට වගේ එකක් මනුවර්ණ කළොත්. මම ඒකට සහභාගි වෙයි. අන්න ඒ වගේ දෙයක් කරන්න තිබුණොත් කරනවා. නැතිව දීර්ඝකාලීනව යන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒක ටිකක් දුෂ්කරයි.

  • මෙගා වැඩ භාරගන්න සූදානමක් නැහැ?

නැහැ. නැහැ. කිසිසේත්ම කරලත් නැහැ. කරන්නෙත් නැහැ. මට දැන් ඒ දුක විඳින්න බැහැ.

  • ඔබේ පුතා සිල්වින් ගැන කතා කළොත්?

එයාගේ ගමන එයා යනවා. මම ඒවට එච්චර ලොකුවට ඇඟිලි ගහන්නේ නැහැ. මොකද දැන් ඔහු විවාහ වෙලා ඉන්නේ. ඒ ගොල්ලො දැන් වෙන පවුලක්. එයාට මොනවා හරි උදව්වක් ඕනෑ වුණොත් අපි දෙන්නා ඉන්නවා. ඒ ඇරුණු කොට ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ගේ ගමන යන්න දීලා අපි දෙන්නා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.

  • ප්‍රියංකරගේ කලා කටයුතුවලට ඔබෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ප්‍රියංකර දැනට නම් කලා වැඩවල නියැලෙනවා හරිම අඩුයි පොඩි අසනීප තත්ත්වයක පසු වෙනවා. මම එයාට කියලත් තියෙන්නේ එයාට වැඩිය එළියට යන්න එපා කියල. අපි ඉතින් පාඩුවේ ඉන්නවා.

  • ප්‍රියංකරගේ අසනීප තත්ත්වය එහෙම කොහොමද?

ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳ පොඩි පොඩි ගැටලු ටිකක් තිබෙනවා. නැත්නේ නැහැ. ඒ ටික ඉතින් පාලනය කරමින් තමයි යන්න තියෙන්නේ.

  • ලංකාවේ සිනමාව ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

ලංකාවේ සිනමාව තියෙන්නේ රටේ ආර්ථිකය තියෙන තත්ත්වය උඩනේ. සිනමාව විතරක් නෙමෙයි මම මේ කියන්නේ හැම දෙයක්ම එහෙමයි. කොටින්ම කෘෂිකර්මාන්තයේ ඉඳලා. කොතැනද රට තියෙන්නේ එතැන තමයි සිනමාව තියෙන්නේ.

  • දේශපාලන භූමිකාවෙන් දැන් ඈත් වෙලාද?

එහෙම නැහැ. මම කොහොමටත් දේශපාලන වේදිකාවල හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි මම අරගලවලට සම්බන්ධ වෙලා රට වෙනුවෙන් කතා කරන තැන්වල ඉන්නවා. හැමවෙලේම මම යන්නේ නැහැ. ඒකට මට හිතෙන්නෙ ඕනෑ මේක තමයි අවස්ථාව කතා කරන්න කියලා. එහෙම වුණහම මම කතා කරනවා. ඒකට මම බය නෑ. වැරදි දේ අපි කොහොමත් වැරදියි කියලා කියන්න ඕනෑ. නැති නම් හොඳ පුරවැසියෝ වෙන්නේ නැහැනේ. මම හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. එතැනදී මට ලාභයක් වෙන්නේ නැහැ. පාඩුවක් මිසක. අපේ රටේ මිනිස්සු හින්දනේ අපි මෙහෙම ඉන්නේ. ඉතින් අපි මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න එපායැ.

දිනේෂ් විතාන
Photos by- Chinthana M. Herath
Dressed by- Michelle Vanlangenberg

advertistmentadvertistment
advertistmentadvertistment