මිතුරෝ

මට මිත්‍රයෝ නෑ. මිත්‍රයෝ ඇති කරගන්න මං අකමැති නෑ. ඒත් ඇති කරගන්න ඕනම මිත්‍රයෙක් මා එක්ක දවසකට දෙකකට වැඩිය ඉන්නෙ නෑ. දැන් සමහර මිනිස්සු ඔවුන්ගේ හිතමිතුරන්ට නිකන් වැඩ කරලා දෙනවා මං දැකලා තියෙනවා. ඒත් මට කවදාවත් වැඩ කරලා නෑ මගෙ මිත්‍රයෙක් නිකන්. කවුරු නමුත් මට වැඩ කරන්නෙ මුදලට. මට තියෙන්නෙ මහ මුස්පේන්තු මුහුණක් කියල සමහර වෙලාවට මගෙ බිරිඳ කියනවා. ඒක ඇත්ත වෙන්න ඕන. ඒකයි මට මිත්‍රයො නැත්තෙ. ඒත් සමහර මිනිස්සුන්ට කොච්චර මුස්පේන්තු මුහුණක් තිබුණත් ඔවුන් එක්ක මිනිස්සු ගැවසෙනවා මං දැකලා තියෙනවා. ඔවුන්ට හැටහතර ලක්ෂයක් ඡන්දෙ වුණත් දෙන්න පුළුවන්. දැන් අපේ ලොක්කාට ඕල්වේස් බ්‍රේක් ඩවුන් මුහුණක් තියෙන්නෙ. ඒත් මිනිහා එක්ක මිනිස්සු ඉන්නවා ඕන තරම්. මිනිහා එක්ක හැබැයි මිනිස්සු ඉන්න ගත්තෙ ලෝකෙ පෙරළිලා මිනිහාගේ පැත්තට බෝලෙ පෙරලුණාට පස්සෙ බවත් කියන්න ඕන. ඇත්ත වශයෙන් මිනිහා බිංදුවේ ඉඳලා මිත්‍ර සමාගම් ඇති කරගත්තු එකට ජීවමාන සාක්ෂියක්. ඒත් මට කවදාවත් බිංදුවේ ඉඳලා උඩට යන්න බෑ. බිංදුවෙන් ඍණ වෙන්න විතරයි පුළුවන් මට. දැන් මහ බැංකුවේ මං හිටියා නම් මායි කබ්රාලුයි අතර වෙනසක් නැති වෙන්න තිබුණා. මොකද මට කවදාවත් ඍණ ධන කරගන්න බෑ. ධන කරගන්න හිතලා බහින හැම වැඩක්ම මගෙ කෙළවර වෙන්නෙ ඍණ වෙලා. හැබැයි ධන – ඍණ දන්නෙ නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා කවුන්සිලේ. ඔවුන් කවුන්සිලේට එද්දි ඍණ. කවුන්සිලේ ටික දවසකින් ධන. තමුන් විතරක් නම් මදෑ. පවුල් පිටින් ධන කරගෙන. ඒවා එහෙම තමයි.

මිත්‍රයො මට නැති එක ගැන හරි සතුටුයි කියල මගෙ ඉස්සර මිත්‍රයෙක් ළඟකදී මට කිව්වා. මං ඇහුවා ඇයි ඒ කියල. ඔහු කියනවා මිත්‍රයො හරි කුහකයි කියල. මිත්‍රයො කුහකද? කුහක කියන වචනෙට මං ආස නෑ. මං ඒකෙ තේරුම දන්නෙත් නෑ. ඒත් මං දන්නවා එකට කෑවත් බොක්ක වෙනස් කියන කතාව. මං කාලයක් ලේඛකයෙක් ළඟ වැඩ කළානෙ. ලේඛකයා සේවකයන් ආණ්ඩු මට්ටු කරන්න කළමනාකාරවරයෙක් පත් කරලා තිබුණා. මේ කළමනාකාරවරයා හැම තිස්සෙම ලොකු බයකින් සිටියෙ මං මිනිහාගේ පුටුවේ වාඩි වෙයි කියල. මිනිහාට හැත්තෑව පැනලා. ඒත් මිනිහා පණ බයේ හිටියේ මං එයාගෙ පුටුව උදුර ගනීවි කියල. ඉතින් මිනිහා තමන් හම්බෙන්න එන හැම මිනිහාටම මගේ වැරදි කිව්වා. මට සහයෝගයක් දෙන්න එපා කිව්වා. මිනිහා මං ඉස්සරහා රඟපෑවේ දවල් මිගෙල් රෑ දනියෙල් භූමිකාවක්. මං එතනදී තේරුම් ගත්තා එකට කෑවත් බොක්ක වෙනස් මිත්‍රයො ඉන්නවා කියල. එක අතකට එකට කෑවත් බොක්ක වෙනස් නොවෙන මිනිහෙක් කොයින්ද ලෝකෙ? හැම මිනිහාම තව මිනිහෙක්ගෙන් වෙනස් දශමෙකින් හරි. වෙනස් හින්දා තමයි මිනිහෙකුට පුළුවන් එක තැනකින් ආප්ප කාලා තව තැනකින් කෝපි බොන්න. දවල් මිගෙල් රෑ දනියෙල් වෙන්න. කටින් වගේම අනික් පැත්තෙනුත් කථා කරන්න.

මිත්‍රයො හතර වර්ගයක් ගැන බුදු හාමුදුරුවො දේශනා කරනවා. ඒ හතර වර්ගෙන් මට හොඳට මතක එක මිත්‍රයෙක් ගැන. ඒ, අපායසහාය මිත්‍රයා. අපායසහාය කියන්නෙ අපායට යන්න සහාය දක්වන්නාට. එතකොට මට අපායට යන්න සහාය දුන්නේ කවුද? මං එතනදි එක මිනිහෙක් දිහාට ඇඟිල්ල දික් කරද්දි ඒ මිනිහා කරන්නෙ තව මිනිහෙක් දිහාට ඇඟිල්ල දික් කරන එක. ඊළඟට ඒ මිනිහාත් කරන්නෙ තව මිනිහෙක් දිහාට ඇඟිල්ල දික් කරන එක. අන්තිමේ බැලුවාම මාව අපායට යවලා තියෙන්නෙ මංමයි. ඒක නිවැරදියි. මිනිහෙක් කරන කියන දේට වගකියන්න ඕන තමන්ම මිස වෙන කවුරුවත් නෙවෙයි. දැන් පහුගිය සතියේ අපට කරන්ට් ගියා. කවුද වගකියන්න ඕන? කවුරුවත් නෙවෙයි මම. මොකද මං තමයි ගෙදරට ලයිට් ගත්තෙ. එතකොට ලයිට් ගිය එකට වගකියන්න ඕන ලයිට් ගත්තු එකා.

ඔන්න දැන් මතක් වුණා තවත් මිත්‍රයෙක් ගැන. කළ්‍යාණ මිත්‍රයා. කළ්‍යාණ කිව්වාම මට මතක් වෙන්නෙ නාග ලෝකයෙන් ආපු ධාතු. මොකද වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරලයි ජීවිතේ. හැබැයි නාලොවින් ධාතු වැඩම කරපු දවසේ ඉඳලා මං කැලණි යන්නෙ නෑ. කැලණියේ නායක උන්නාන්සෙ හම්බෙන්න යන්නෙම නෑ. ගියොත් උන්නාන්සෙගේ නහය දික් වෙනවා මට පේනවා. ඒක සමහර විට මගේ අක්ෂි දෝෂයක් වෙන්න ඇති. ඒ හින්දා දැන් මං යන්නෙ මහමෙව්නා අසපුවටයි උමංදාවටයි විතරයි. උමංදාවට ගියොත් මහෞෂධ පණ්ඩිතයෝ හම්බෙන්න වගේම ඕන නම් සූකර මද්දව ටිකක් රස විඳින්නත් පුළුවන්.

මොනවා වුණත් මගෙ ජීවිතේ කළ්‍යාණ මිත්‍රයෙක් ඉඳලා නෑ කවදාවත්. කළ්‍යාණයි කියල ඇසුරු කරන්න ගත්තු හැම මිත්‍රයාම අන්තිමට කරලා තියෙන්නෙ මගෙ පසුම්බියට විදපු එක. ඇත්ත වශයෙන් අද කාලෙ කළ්‍යාණ මිත්‍රයො බලාපොරොත්තු වෙන්න එපා. අපායසහාය මිත්‍රයො සොයාගන්න පුළුවන්. කළණ මිතුරො සොයාගන්න නැහැ. අනෙක් අතට කළණ මිත්‍රයෝ බලාපොරොත්තු වෙන්න මං අනුන්ට කළණ මිතුරෙක් වෙලා තියෙනවාද? දං පිළිගැන්වූ අතක් ඕනලු දං ටිකක් බලාපොරොත්තු වෙන්න. මං කවදාවත් දං පිළිගන්නලා නෑ කාටවත්. බලු කපුටු දානයක්වත් දීලා නෑ. බල්ලො මට පේන්න බෑ. කපුටොත් එහෙමයි. කපුටු කාක් ගාද්දි මගෙ ඇඟේ මාළු නටනවා. ඉතිං මං කළණ මිත්‍රයෙක් වෙලා නෑ කිසිම මිනිහෙකුට. ඒත් එක් කෙනකුට මං කුලුණුබර වුණා. ඒ, අපේ හිටපු ජනාධිපතිතුමාට. එතුමාට මං මගේ වරම දුන්නා. ඒත් එතුමාණන් වහන්සේ වරමට පයින් ගහලා මාව වළපල්ලට යැව්වා.

මිතුරුතුමෝ දුක් සැප දෙකෙහිම පැවතී – බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිතී කියල කවියක් මං අහලා තියෙනවා. ඒ කියන මිතුරුතුමාලා දැන් ඉන්නවාද කියල මං දන්නෙ නෑ. ඒත් මිතුරුතුමාලාට ඕන වෙලාවක හතුරුතුමාලා වෙන්න පුළුවන් අද කාලෙ. හතුරු – මිතුරු සමාගම් නැතිව මිතුරු – මිතුරු සමාගම් විතරක් ඇති තැනුත් මේ රටේ තියෙනවා. ඒ, වෙන කොහෙවත් නෙවෙයි, පාර්ලිමේන්තුවේ. ඔවුන් අපට පෙන්වන්නෙ නම් ජන්මාන්තර වෛරකාරයො කියල. ඒත් ඔවුන් අතිජාත මිත්‍රයො. මිත්‍රයො හින්දා තමයි ඔවුන් ගෙම්බො වගේ එහාට මෙහාට පනින්නෙ. හැබැයි ඒ පනින්නෙත් විනෝදෙට නෙවෙයි, සල්ලිවලට. සල්ලි නිසාම සමහර දෙනා ගජ මිතුරු සමාගමුත් ඇති කරගෙන තියෙනවා. විශේෂයෙන් ඡන්දයක් තියෙනකොට වගේම ඡන්දයක් දින්නාමත් මේ කියන ගජ මිතුරු සමාගම් කලඑළි බහිනවා. ඒවා එදාත් එහෙමයි, අදත් එහෙමයි. එදා එක පිරිසක් ගජ මිතුරො. අද තව පිරිසක් ගජ මිතුරො. ඔවුන්ගේ ගජ මිතුරුකම කොච්චරද කියනවා නම් තවමත් අපි හිඟා නොකා හිඟාකන්නෙ ඔවුන් හින්දා.

මං හිතන විධියට නම් මිත්‍රයො නැතිව ඉන්න එකයි වඩා හොඳ. මිත්‍රයො ඉන්නකොට හැම මිත්‍රයාටම උදේ හිට හැන්දෑ වෙනකන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා. මිත්‍රයො නැති වෙනකොට අපට කැමති විධියට ජීවත් වෙන්න පුළුවන්. දැන් පහුගිය කාලෙ අපි කබලෙන් ලිපට වැටුණු වෙලාවේ මිත්‍රයො ඇසුරු කළා නම් එකක් කොරෝනා හැදිලා මැරෙන්න තිබුණා. නැත්නම් හිඟන්නාගේ පාත්තරේට හෙණහුරෙක් වහන්න තිබුණා. ඒත් දැන් අපේ පාත්තරේට ආයෙත් හෙණහුරෙක් වහන්න යනවා. ඒ, බදු හින්දා. දැන් කාලෙක ඉඳලා අපි කඩේකට ගියාම ගන්නෙ බඩු නෙවෙයි, බදු. බදු කන්න බෑ. කන්න පුළුවන් බඩු විතරයි. බඩු නැති වුණොත් බඩු බනිස් තමයි. දැන් අපි හැමෝටම බඩු බනිස්.

ඒත් මිත්‍රයො නැතිවත් ජීවත් වෙන්න ලේසි නෑ. මිත්‍රයෙක් හිටියා නම් අඩු ගානෙ පොලියට හරි ණය තුරහක් වෙන්න තිබුණා. ණය තුරුස් ගෙවන්න අද හුඟක් අය ඉදිරිපත් වෙනවා. අපි ඔබේ උකස් කළ රන් බඩු බේරා දී සල්ලි අතටත් දෙනවා කියනවා. ක්ෂුද්‍ර මූල්‍යකාරයො වැහි වැහැලා. ඒත් මොවුන් මිතුරු වෙසින් ඉන්න හතුරෝ. මිතුරෝ නෙවෙයි. මිතුරෝ හොයාගන්න පුළුවන්. ඒත් කළණ මිතුරො හොයාගන්න අමාරුයි. දෙකටම උත්තරේ මොකෙක්වත් නැතුව ඉන්න එක තමයි. දැන් අපි ජීවත් වෙන්නෙ කොහොමද? මොකෙක්වත් රට කරනවා පේනවාද? පේන්න නෑ. ජීවත් වෙන්නත් ඕන එහෙම තමයි. තමයි කියන්නෙ අපි ජීවත් වෙන්නෙ එහෙම. සුක්කානම වැඩ. ඒත් කරකවන්නෙ මොකාද කියල පේන්නෙ නෑ. ලොරිය දුවනවා බැරි බර ගාතෙ. සුක්කානමත් කරකැවෙනවා. එළවන එකෙක් නෑ.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment