මට හැටයි වැඩ ගොඩයි

159

දෙකයි පනහට රඟපාන්න බෑ…
අලුත් පරපුර ටෙලි පස්සේ දුවනවා

ප්‍රවීණ ශිල්පි සුනිල් කොස්තා මාර්ගයෙන් මීගමුව විවෘත නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වී පසුව නවසිය අසූ එකේ දී ඇන්ටන් කොළඹගේ ගේ ‘රූකඩ නළුවෝ’ වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසි රිචඩ් මානමුදලි වසර හතළිස් තුනක් පුරා වේදිකාව” සිනමාව මෙන් ම පුංචි තිරයේ ද දස්කම් දක්වමින් සිටී.

අනතුරුව කොළඹ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට එක්වූ රිචඩ් අනතුරුව බර්ට්‍රම් නිහාල්ගේ ‘ආශිර්වාද’ ටෙලි නාට්‍යයේ රඟමින් රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසියේය.

උදයකාන්ත වර්ණසූරියගේ ‘ගින්දරී’ චිත්‍රපටයේ කළ රංගනයෙන් ඉහළ ප්‍රතිචාරයක් ලද රිචඩ් සමග කළ සාකච්ඡාවක සටහන මතු දැක්වේ.

මට හැටයි වැඩ ගොඩයි

බේ අලුත් වේදිකා නාට්‍යය මේ දිනවල රංගගත වෙනවා.?

ඔව්..“ ආයෙත් ඇවිත්”. මගේ රංගමාන ඇකඩමි එකේ ළමයින්ට ප්‍රායෝගික අභ්‍යාසයක් විදිහට තමයි මේ නාට්‍යය කළේ. දැනට දර්ශන වාර දහයක් විතර පෙන්නලා තියෙනවා.

වේදිකා නාට්‍යවලට අලුත් පරපුර සහභාගී වෙනවා ද..?

දැන් ඉතිං බොහෝ දෙනෙක් එන්නේ ටෙලි නාට්‍යවල රඟපාන්න. වේදිකාවට එතරම් කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍ය පස්සේ දුවනවා. ඒකට හේතුව විදිහට මම නම් දකින්නේ ඉක්මනින් ම ජනප්‍රිය වීමේ කැමැත්ත. මුහුණ පෙන්නලා ඉක්මනට ජනතාව අතරට යන්නනෙ බලන්නේ. ඒ කාලේ අපි වේදිකාවේ කාපු කට්ට කන්න දැන් කවුරුත් කැමැති නැහැ. ඒ අයට එහෙම කැප කිරීමක් කරන්න දැන් කාලෙකුත් නැහැනේ. අනෙක දැන් වේදිකාව ඇකඩමික් වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාලවලින් බිහිවෙන නාට්‍ය හුඟක් සාමාන්‍ය ජනතාව ඇසුරු කරනවට වඩා ඒ අයගේ විෂය කරුණුවලට අදාළ නිර්මාණ බිහි වෙන්නේ. එතකොට සාමාන්‍ය ප්‍රේක්ෂකයාගෙන් ඒ නාට්‍ය ගිලිහෙනවා. ඉස්සර ප්‍රේක්ෂකයා මුල්කරගෙන සෑම වර්ගයේම නාට්‍ය නිර්මාණය වුණා.

මට හැටයි වැඩ ගොඩයි

“ආයෙත් ඇවිත්” ප්‍රවීණයන් සමග කරන නිර්මාණයක් නොවේ. අදහසක් නැද්ද ප්‍රවීණයින් යොදාගෙන වේදිකා නිර්මාණයක් කරන්න?

ප්‍රවීණ අය එක්ක මේ දවස්වල මම හාස්‍යොත්පාදක නාට්‍යයක් කරනවා” ‘ඇත්තට ම බොරු. කියලා. දර්ශන වාරයක් ආවම ඒ අයගෙන් දින ගන්න හරිම අමාරුයි. ඒ නිසා දර්ශන වාර හතරක් පහක් අවලංගු කරන්න වුණා. දැන් පුහුණුවීම් පවා කරන්න අමාරුයි. දවසක සියලුම දෙනා එකට එකතුවෙලා ස්ක්‍රිප්ට් එක කියවා ගන්නවා. ඉන් පස්සේ එක දවසක් පුහුණු වෙලා නාට්‍යය පෙන්වනවා. ඉස්සර එහෙම නෙවෙයි” පුහුණුවීම් හැටක් විතර කරනවා. මට මතකයි ‘බරණිය. කරද්දී අපි පුහුණුවීම් හැටහයක් කළා. මම හැටපහකට ම ගියා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර. පේරාදෙණිය වළේ තිබුණ නිසා එක පුහුණුවකට යන්න බැරි වුණා. දැන් ඉතිං වේදිකාවට තියෙන අගය කිරීම” ප්‍රතිචාර” ප්‍රතිලාභ සහ ශිල්පීන්ගේ කාර්ය බහුලත්වය නිසා මේ තත්ත්වය උදාවෙලා තියෙනවා.

ඔබ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරමින් ඉන්නේ..?

ඔව්. ‘වක්‍ර’ ගයාන් ගණකධාර සංගීත නිර්මාණයක් ඉවර කළා. දැන් අවසන් සංස්කරණයේ ඉන්නේ. දැනට කොටස් පහළොවක් විතර කළා. ශ්‍රියානි අමරසේන” ක්ලීටස් මෙන්ඩිස්” නිරෝෂන් විජේසිංහ” උදයන්ති කුලතුංග” එස්. අයි.සමරක්කොඩි ඇතුළු ජනප්‍රිය තලයේ කීපදෙනෙක්ම ඉන්නවා. මගේ පිටපත සහ මගේ අධ්‍යක්ෂණය. කැමරාව චන්දන ජයසිංහ.

ඇයි ඔබ මෙහි රඟපාන්නෙ නැද්ද?

මම රඟපෑවොත් වැඩේ අවුල් වෙනවා. මට ලොකු දැනුම් සම්භාරයක් නැහැ අධ්‍යක්ෂණය පිළිබඳව. අවුරුදු හතළිස් තුනයිනේ මගේ කලා ජීවිතේට. ඒ තුළ ලබාගත් දැනුම තමයි මේකට එකතු වෙන්නේ. ඉතිං මමත් රඟපෑවොත් අනෙක් අයව මෙහෙයවා ගන්න එක අමාරු වෙයි කියලා මට පොඩි බියක් තිබුණා. අනෙක දැන් මට රඟපාන්න පෙරේතකමකුත් නැහැ. නැත්නම් මට ම හොඳ චරිතයක් ලියාගෙන රඟපාන්න තිබුණනේ. මම ම ලියලා” අධ්‍යක්‍ෂණය කරමින් රඟපාන එක කරන්න අමාරුයි.

රංගනයෙන් දායකවූ ටෙලි නිර්මාණ ඉදිරියේ විකාශය වෙන්න තියෙනව ද?

අවුරුදු තුන හතරකට කලින් කළ නිර්මාණ හුඟාක් තියෙනවා. ඒ අතර කපිල කුමාර කාලිංගගේ සම්මාන ගත් නවකතාව පාදක කරගෙන චන්දන හේවාපතිරණ නිර්මාණය කළ, කුමාරි පණ්ඩිතරත්න නිෂ්පාදනය කළ ‘අදිසි නදිය’ හොඳ පිටපතක්. අනෙක දැන් චැනල්වලින් කියන්නේ ගමේ කතා ගේන්න එපා කෙල්ලෙක් කොල්ලෙක් දාලා කතා හදන්න කියලා. ඒ නිසා ද දන්නේ නැහැ මම රඟපෑ ටෙලිනාට්‍ය රැසක් හිරවෙලා තියෙනවා. දැන් ටෙලිනාට්‍යවල ප්‍රවණතාවය ඒකනේ. ප්‍රචණ්ඩත්වය” සටන් තියෙන්න ඕනෑ. භාෂාව ගැනත් සැලකිල්ලක් නැහැ. ඉස්සර ටෙලි නාට්‍යවල අපිට තමුසෙ කියලවත් කියන්න දෙන්නේ නැහැ. දැන් කාලෙ තාලෙ වෙනස්.

චිත්‍රපටවල තත්ත්වය මොකද්ද..?

මම රඟපෑ චිත්‍රපටත් කීපයක්ම තියෙනවා. මේ දවස්වලත් චිත්‍රපටවලට කතා කරනවා. අන්තිමේ දී මගේ මිල කතා කළාට පස්සේ ඒ අයගෙන් ප්‍රතිචාර නැහැ. එහෙමයි කියලා දෙකයි පනහට රඟපාන්න යන්න බැහැනේ. සමහරුන්ට උදව්වක් විදිහට මම නොමිලේ රඟපාලා තියෙනවා.

ඔබේ පළමු චිත්‍රපටයේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නා?

ඔව්. සුදත් දේවප්‍රියගේ ‘එළිවෙන දවස’ තමයි පළමු චිත්‍රපටය. ඒත් එය තිරගත වුණේ නැහැ. එහි දර්ශනයක් රූගත කළා මම කොටුවේ දුම්රිය පොළේ ඉඳලා මල්වත්ත පාරට බෑග් එකක් උස්සගෙන දුවනවා. එතැන හිටපු පොලිස් නිලධාරියෙක් මම දුවනවා දැකලා හොරෙක් කියල හිතලා මට වෙඩි තියන්න හදද්දි වසන්ත විට්ටච්චි කෑගහලා රූගත කිරීමක් කියලා.

රංගනය ඔබේ වෘත්තිය ද?

මම මේකෙන් යැපෙන්නෙ නැහැ. මම ගුරු වෘත්තිය කළේ. දැන් විශ්‍රාමිකයි. අපේ ජීවිත සරලයි. කැමරාව ඉදිරියේ විතරයි මම නළුවා වෙන්නෙ. මගේ බිරිඳ උදේනි. පෙර පාසල් ගුරුවරියක්. දුවලා දෙන්නත් ගුරුවරියන්. පුතාත් රැකියාවක් කරනවා. හෙට මැරෙන නිසා අද මගෙන් කෙරෙන්න ඕනෑ දේ කරනවා. ලබන අවුරුද්දට මට වයස අවුරුදු හැට ලබනවා. ‘මට හැටයි වැඩ ගොඩයි’ කියලා ප්‍රසංගයකටත් ලෑස්ති වෙනවා.

අජිත් අලහකෝන්
නිව්යෝර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment