2024 නව වසර නාඩි සිද්ධාන්ත තුළින් ඔබට සහ රටට කෙසේද?

8098

2024 වර්ෂය තුළ ග්‍රහ මාරුවීම්, ග්‍රහ යුද්ධ, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ කීපයක් ද, විෂ කන්‍යා දෝෂයක් ද පවතින වර්ෂයකි. මෙම වර්ෂය තුළ මිනිසුන්ගේ ගුණධර්ම, ආකල්ප එකසේ ශුභවාදී ලෙස පැවතිය යුතු අතර එසේ නොවුණොත් ස්වභාව ධර්මයෙන් මිනිසාට යස පාඩම් කියා දෙයි. විෂ්ව කේන්දරයට අනුව ලෝකවාසී ජනතාවට මහත් කරදකාරී බව මෙන්ම, ගැටුම්කාරී බව ඉහළ යයි. උග්‍රවෙයි. බලවත් රාජ්‍ය බිඳ වැටෙයි, දරිද්‍රතාවය ඉහළ යයි. ස්වාභාවික විපත් එනම් ගංගා, ඇළ දොළ පිටාර ගලයි. මහවැසි සහ සමහර ප්‍රදේශවලට තද නියං තත්ත්වයන් ද ඇතිවෙයි. කඳු කඩාවැටේ, නායයෑම් වැඩිවෙයි. පොළොවේ ඉරිතැලීම් මෙන්ම භූ කම්පන තත්ත්වයන් ද, සුනාමි තත්ත්වයන් ද ඇතිවෙයි. ලෝකයේ ප්‍රධාන පෙළේ අයට ද තරමක අශුභ කාල ගතකරන්නට සිදුවන අතර ඔවුන්ගේ මරණ පවා සිදුවීමට නියමිතයි.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ තත්කාල සටහන මේ. වයස අවුරුදු 1, 12, 14, 20, 23, 31, 32, 35 යන වයස්වල සිටින අය තරමක් කල්පනාකාරී ලෙස තම දිවිපැවැත්ම ගතකරන්නට උත්සාහ ගන්න. මේ තරුණ ප්‍රජාවයි. එබැවින් නීති විරෝධී කිසිම දෙයකට යොමු නොවන්න. විශේෂයෙන්ම උසාවි, පොලිසි සහ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. වයස 01, 12 යන වයස්වල සිටින දරුවන් ද හොඳින් බලාගන්න.

තවද අවුරුදු 16, 19 පාසල් යන දුවා දරුවන් ප්‍රේම සම්බන්ධතාවලට ලක් නොවන්න. මේ අලුත් විදිහට ගමන් කරන අලුත් වර්ෂයක්. අපේ සිතුවිලිත් අලුත් විය යුතුයි. එසේම තරුණ දූ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවීමට වාසනාව පවතියි. රැකියා සඳහා විදේශගතවන අයට ද මේ කාලය ශුභදායකයි. හැබැයි සුළු සුළු බාධාවීම් ප්‍රමාදවීම් පැවතිය හැක. නමුත් ගමන සාර්ථක වෙයි.

නව නිවාස කටයුතුවලටත්, ඉඩම් මිලදී ගැනීමටත්, ඉඩම් නිවාස විකිණීමටත් හොඳ කාලයකි. විවාහවී සිටින අය විවාහ ජීවිතයේ නව බලපොරොත්තු බිඳගන්නේ නැතුව තම පවුල් ජීවිතය අවුල් නොකර, අන් සතු දේ ළං කර නොගෙන ගෙනියන්නට සිතට ගන්න.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහනයි මේ. වයස අවුරුදු 5, 9, 12 යන වයස්වල සිටින දරුවන් ගැන විමසිලිමත් වීමටත්, එවැනි දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳවත්, අධ්‍යාපන කටයුතු පිළිබඳවත් දෙමාපියන්ට විශාල වගකීමක් තම දරුවන් වෙනුවෙන් දරන්නට සිදුවන කාලයකි. මෙම කාලය තුළදී යහපත් ගුණධර්ම කියා දෙන්න. විශේෂයෙන්ම අවුරුදු 12 ගතකරන ගැහැනු දරුවන්ගේ මල්වරවීම් මෙන්ම, පිරිමි දරුවන් ද ඔවුන්ගේ සිත් දුවන ගතිය නිසා ඇතිවිය හැකි කරදරවලින් ද ප්‍රවේශම් කරගන්න. මීට අමතරව 16 සහ 20 යන වයස් කාණ්ඩවල සිටින දරුවන් අයාලේ නොයවන්න. නීති විරෝධී දේට ඉඩ නොතබන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දරුවන්ට ඉදිරි අනාගතය ශුභදායකයි. විවාහයට, විවාහ ගිවිස ගැනීමට හොඳ කාලයකි. නමුත් අවබෝධයක් නැත්නම් විවාහය ප්‍රමාද කරන්න.

විදේශගතව අධ්‍යාපනය ලබන දරුවන්ට තමන්ගේ ඥාන ශක්තිය වර්ධනය වෙයි. එමෙන්ම උසස් තත්ත්වයක් කරා යෑමට ද හැකියාව ලැබේ. නව රැකියා මාර්ග විවර වෙයි. අලුත් වසරට නව බලාපොරොත්තු පොදි බඳින්නට හොඳම අවස්ථාවයි. ඔබේ වටිනාකම ඔබ හඳුනාගෙන ඉදිරියට යන්න.

ලෙඩ රෝග ලෙස ගතහොත් තද හිසේ වේදනාවත්, සිතේ වේදනාවත්, කොඳු නාරටිය ආශ්‍රිත රෝග, සෙම් දෝෂ ඇතිවිය හැකි කාලයකි. විශේෂයෙන් 51, 55 59, 67, 69 යන වයස්වල පසුවන අය තරමක් ලෙඩ රෝගවලින් ප්‍රවේශම් වන්න.

මිථුන


මිථුන ලග්න හිමියන්ගේ තත්කාල සටහනයි මේ. වයස අවුරුදු 23, 34, 46 යන වයස් සීමාවේ පසුවන ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම රැකියාව සම්බන්ධව ශුභ දෙයක් අසන්නට ලැබේ. නව රැකියා මාර්ග ඇතිවන කාලයකි. ආයෝජන මාර්ගවලට මග පෑදේ. එමෙන්ම විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයටත් මේ කාලය ශුභදායකයි. අවුරුදු 16 පසුවන දරුවන්ගේ මනස මේ කාලයේදී විසිරී යන ගතියක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම බාහිර දේට වඩා පොතපතේ දැනීම ගන්නා තරමට ඉදිරි අනාගතය දියුණු කර ගත හැක. එසේ වූ දරුවන්ගේ උසස් අධ්‍යාපනය, විදේශගත අධ්‍යාපනය යන සියල්ලම හොඳ වෙයි. ඒ වගේම ලංකාවේ සිටින දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ දක්‍ෂකම් දැක සතුටු විය හැකි කාලයකි. ඒ වගේම සහෝදර සහෝදරියන් මෙන්ම හිතමිත්‍ර සමාගම්වලින් ද උදව් උපකාර ලබාගත හැකි කාලයකි.

අසනීප තත්ත්වයන් පිළිබඳ විමසීමේදී කලින් තිබූ තත්ත්වයන්ට ඩවා සුවදායක බවක් පෙන්වයි. නමුත් 43, 44, 47, 59 යන කාලවලදී ලේ සම්බන්ධ, හෘද රෝග සම්බන්ධ හෝ ක්‍ෂණිකව වැටීමක් වැනි දෙයකින් පීඩා විඳින්නට සිදුවෙයි.

විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට තරමක් විවාහය ප්‍රමාද වුණත් අවුරුදු 20, 22 කාලයත් 28, 30, 32 යන කාලයත් ශුභදායකයි. විවාහ වූ අයට වාසනාවන්ත දරුවන් ලැබීමට සුදුසුම කාලය මේ කාලයයි. ඔබේ පෙර පින් ද මතුකරගෙන ඒ සඳහා මුහුණ දෙන්න දරුවන්ගේ කටයුතු වෙනුවෙන් උත්සව පවත්වන්නට ද අවස්ථාව උදාවෙයි.

කටක


කටක ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් තිබුණත් නාඩි සිද්ධාන්තවලට අනුව අලුත් ව්‍යාපාර කීපයකුත් තිබේ. දැනට කරගෙන යන කටයුතුවලටත් නවතාවයක් ඔබ කරා පැමිණෙන කාලයකි සතුරු කරදර බොහෝදුරට අඩුවී යන කාලයකි. අවුරුදු 22, 34, 46 යන වයස්වල සිටින අයගේ රැකියාවේ වෙනසක් සිදුවෙයි. එය බොහෝ විට ස්ථාන මාරුවක්, උසස්වීමක්, පඩි වැඩිවීමක් වැනි දෙයක් විය හැක.

එවැනි වයසේ සිටින අයට රැකියාවක් සම්බන්ධව විදේශගත වීමට ද පුළුවනි. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ද ඉහත දැක්වූ කාරණය ඒ අයුරින්ම සිදුවෙයි. තවද 16, 17 සහ 19, 20 යන වයසේ අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම කිව යුතුයි, ඔබට විභාග කඩඉම සමත් විය හැක. හැබැයි උනන්දුව උත්සාහය හීනවී යන කාලයක් මේ. එම නිසා පුළුවන් තරම් බාහිර දේ පසෙකලා අධ්‍යාපන කටයුතුවල පමණක් නිරත වන්න ඕන කාලයකි. නිදිමත, කම්මැලිකම දුරුකර ගන්න.

අවුරුදු 23, 28, 31, 32 යන වයස්වල පසුවන කටක ලග්න හිමියන්ට විවාහ වීමට ශුභ කාලයකි. නමුත් ආදරය, ප්‍රේමය යන තැනදී කල්පනාකරී විය යුතුයි. මන්ද වේදනාව, සංතාපය, ආදරයත් සමගම ඔබ සොයා පැමිණෙන නිසයි. මුලාවේ වැටීමට ඇති ඉඩ ද වැඩියි. එම නිසා හැම විටම ගන්නා තීරණ නිවැරදි කර ගන්න. වාසනාවන්ත ප්‍රීති උත්සව පවත්වන්නටත්, ඒවාට සහභාගි වීමටත් අවස්ථාව උදාවෙයි.

සිංහ


සිංහ ලග්න හිමියන්ගේ අවුරුදු 18 ත් 23 ත් අතර සිටින දරුවන්ට ඉතාම ශුභදායකයි. ඒ වගේම 29, 34 යන වයස්වල අයටත් මේ කාලය ශුභදායකයි. එනම් මෙතෙක් විදේශ ගමනක් බලාපොරොත්තුවෙන් සිටි ඔබට රැකියාවකට හෝ උසස් අධ්‍යාපනයට හෝ වේවා විදේශගත වීමක් පෙන්නුම් කරයි.

ඒ වගේම දුර බැහැර ගමන් බිමන් කීපයක් ද යෙදේ. විභාගවලින් ජය ලැබීමට වාසනාව පවතියි. ඒ වගේම විදේශගතව සිටින අයටත් මේ කාලය ඉතාම ශුභදායකයි. ඔබට අන්‍ය ජාතිකයන්ගෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක. තෑගි බෝග ද මිල මුදල් ද ලබාගත හැකි කාලයකි. ඔබේ පෙර පින් ද මතුවන කාලයකි. අවුරුදු 6, 9 යන වයස්වල සිටින දරුවන්ට හොඳින් අධ්‍යාපනය දෙන්න. ශක්තිමත් පසුතලයක් නැතිනම් ශක්තිමත් අත්තිවාරමක් ගොඩනඟා දෙන්න අධ්‍යාපනය වෙනුවෙන්.

විවාහ වීමට ශුභ කාලයකි. අවුරුදු 28, 29, 32 තවමත් විවාහ නොවුණු ඔබට විවාහයට සුදුසු සහකාරයෙක්, සහකාරියක් ලැබේ. එමෙන්ම විවාහයට හොඳම කාලයක් ලෙස ද දැක්විය හැක. ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධ අලුත් අලුත් යාළු මිත්‍ර සංගම් ඇතිවෙයි. සමහර විට ආදර බන්ධන දෙකක් හෝ එකවර කරන්නටද පුළුවනි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට වාසනාවන්ත දරු ලාභයක් පෙන්නුම් කරයි. පෙර පිනට පහලවන දරුවෙකි.

කන්‍යා


කන්‍යා ලග්න හිමියන්ට මේ තත්කාලයට අනුව නාඩි සිද්ධාන්තවලින් කිවයුතු ප්‍රධානම දේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ කාලය තුළදී පෙර සූදානමක් නැතිව සහ කාලය කළමනාකරණය නොකළොත් ඔබට දුක් විඳීමට සිදුවෙයි. පුංචි දෙයකින් ඔබේ මුළු ජීවිතයම වෙනස් විය හැකි කාලයකි. අපේ පුංචි හපන්නුත්, උ/පෙළ ලියන දරුවනුත් ඉහත කී දේ හොඳින් සිහිතබා ගන්න. විශේෂයෙන් අවුරුද 8, 12, 18, 19 යන වයස්වල දරුවන්ටයි මේ පණිවිඩය, 27, 28 යන වයස්වල විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සිහිබුද්ධියෙන් මුදල් ගනුදෙනු කළ යුතුයි. එසේම බාධක සමග විදේශ ගමන්. ඔබ මේ කාලයේ තරමක් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. ඒ වගේම මුලාවේ නොවැටී ඉදිරියට යා යුතු කාලයකි. තරමක් අපලදායක කාලයකි.

ලෙඩ රෝග ලෙස අර්ශස් රෝගවලින් පෙළෙන අයටත්, ගුද මාර්ගයේ දෝෂත් ශරීර ශක්තිය අඩු ගතියකුත් ඇතිවෙයි. විශේෂයෙන් පපුවේ තද ගැස්මක් මෙන්ම ශල්‍යකර්මයක් පවා කිරීමට සිදුවන කාලයකි.

තුලා


තුලා ලග්න හිමියන්ගේ නව වසර ආරම්භ වන්නේ දියුණුවකට මග පාදමිනි. අනුමානය කරන දේත්, ඔබේ බලාපොරොත්තුත් ඉටුවන කාලයකි. අවුරුදු 22, 34, 46 යන වයස්වල සිටින අයගේ රැකියා ස්ථිර වෙයි. නැතිනම් උසස්වීමක්, ස්ථාන මාරුවක් බලාපොරොත්තු වූවා නම් එය ඉටුවන ලකුණු පහළ වෙයි. ශුභදායකයි.

අවුරුදු 20, 32, 44 යන වයස්වල අයටත් 16, 23, 24, 28 යන වයස්වල සිටින අයටත් විදේශ රැකියා සඳහා ද, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එනම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද විදේශගත වීමට වාසනාව පවතියි. මිත්‍ර ඇසුරත්, කලින් ආශ්‍රය කළ මිත්‍රයොත් ඔබව සොයා එන වසරකි. වයස 16, 17, 19, 20 යන වයස්වල සිටින දරුවන්ට ප්‍රේම සම්බන්ධතා වැඩි වශයෙන් ඇතිවෙයි. මොන දේ කළත් ඔබේ පරිස්සම ඔබම තියාගත යුතුයි.

වෘශ්චික


වෘශ්චික ලග්න හිමියන් මෙම සටහනට අනුව නාඩි සිද්ධාන්ත ඔස්සේ වයස අවුරුදු 8, 9 යන වයස්වල සිටින දරුවන් ගැන විමසිලිමත් වෙන්න. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට පමණක් නොවේ, හික්මීම පවා ඇති කළ යුතුයි. මෙම වයසේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් දෙන අතර නවීන තාක්‍ෂණික උපකරණ බැහැර කරන්න. ඔබේ ජීවිතයේ මෙතෙක් නැවතී තිබුණු සියලුම කටයුතු නැවත ආරම්භ කිරීමට 2024 වර්ෂය සමත්වී තිබේ.

ඔබේ ජීවිතයේ අඳුරු වළාකුළු මැකී යන කාලයකි. වයස 22 කියන්නේ ඇත්තෙන්ම ඔබ ජීවිතයේ තබන මුල්ම පා සටහන මෙනි. හේතුව ඔබ නැඟිටින්න පටන් ගන්නා වයසයි. මෙම වයස ඔබ නිසියාකාරව තේරුම් ගතහොත් ඔබම ඔබව ඔසවා තබන්නටත් නැතිනම් ඔබම ඔබව පහළට ඇද දමන්නටත් සමත් වෙයි.

විවාහයට පුරුෂයන්ට ප්‍රියකරු ස්ත්‍රීන් ද ස්ත්‍රීන්ට ප්‍රියකරු පුරුෂයන් ද ලැබෙන කාලයකි. 28, 31, 34 යන කාලවලදී විවාහයට හොඳම කාලයයි. විවාහයෙන් පසු ජීවිතය ශුභදායකයි. වාසනාවන්ත තත්ත්වයකට යාමට ඉඩ ලැබේ. දරුවන් බලාපොරොත්තුව සිටින මව්වරුන්, දරුවන් හදන්නට සිටින මව්වරුන් තරමක් පරිස්සම් විය යුතුයි. ඒ වගේම උදරාබාධයකට ඉඩ ඇති කාලයකි.

ධනු


ධනු ලග්න හිමියන් මේ කාලයේ වයස අවුරුදු 5 සහ 8 යන වයස්වල දරුවන් හොඳින් රැකබලා ගන්න. හදිසි අනතුරු, කරදර වැනි දේ ඇති වෙයි. විශේෂයෙන් අන් අයට දරුවන් බලාගැනීමට දීමේදී කරදර ඇති විය හැක. ආයෙ 21, 33 යන වයස්වල සිටින අය තමන් ගැන මහ ලොකුවට හිතන්නට ගොස් අමාරුවේ.

රැකියාව සම්බන්ධව ගතහොත් විදේශගතව සිටින අයත් ලංකාවේ සිටින අයත් මේ කාලය තුළදී ඔබේ රැකියාව ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ ගන්න. රැකී රක්‍ෂා තනතුරු කඩාවැටේ. ඔබේ බලාපොරොත්තු බිඳවැටෙයි. නමුත් මිල මුදල් ලාභ ලැබීමට වාසනාව පවතියි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ද ඉඩ සැලසේ.

මේ කාලය තුළදී ඔබට ලෙඩ රෝග ද ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ කාලයේදී හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වීමටත් හිසේ වේදනාවන්, හිස සම්බන්ධ ශල්‍යකර්ම කිරීමට හෝ ඒ හා සමාන බෙහෙත් හේත් ගැනීමට සිදුවෙයි.

මකර


මකර ලග්න හිමියන්ගේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයේ අවසන් අදියරයි මේ. 2025 න් මෙම අපලය අවසන් වෙයි. නාඩි සිද්ධාන්තවලට අනුව අවුරුදු 5, 9, 12, 17 යන වයස්වල සිටින දරුවන්ට බාධක පෙන්වයි. මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වෙනදාට වඩා උනන්දුවක් දක්වන්නට උපදෙස් දෙන්න. නිසියාකාරව ඔවුන් ගැන සොයා බලන්නට උනන්දු වෙන්න.

23, 28 යන වයස්වල සිටින අයට ආලය, ප්‍රේමය වැනි දේ පිළිබඳව උනන්දුව උත්සාහය ගෙනදෙන කාලයකි. නමුත් එවැනි කටයුතුවලදී ඔබ ඔබේ ජීවිතය ගැන හිතන්න. විශ්වාසය නැති කිසිම තැනක රැඳෙන්නට උත්සාහ නොකරන්න. රැකියාව සම්බන්ධ 22, 34, 46, 58 යන වයස්වල පසුවන අයට ශුභදායකයි. ඒ

රැකියාව සම්බන්ධව උසස් වීමක් ඇතිවිය හැක. ඔබ බලාපොරොත්තු වූ ස්ථාන මාරුව ලැබෙන්නට පුළුවනි. අන් අයගේ ආදායම් තත්ත්වය පහළ බසියි. ණය වීමට පවා සිදුවන කාලයකි.

කුම්භ


කුම්භ ලග්න හිමියන්ගේ ද ශනි ලග්නයේ ගමන් කිරීමෙන් ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් පෙන්නුම් කරයි. ඒ වගේම නාඩි සිද්ධාන්තවලට අනුව අවුරුදු 24, 36 යන වයස්වල සිටින අයට රැකියා අවස්ථාවක් උදාවෙයි. මොනයම් හෝ අයුරින් මුදල් හම්බ කරන පැත්ත හොඳ වෙයි. නමුත් මේ කාලයේ ස්ථානයේ හෝ පදිංචිය පිළිබඳව වෙනසක් ඇති වෙයි. කලින් රැකියාව කළ හෝ පදිංචිවී සිටි ස්ථාන ඔබට එපාවෙයි. ගෙදර ද ඔබට පීඩා ගෙනදෙන ස්ථානයක් වෙයි.

කෙසේ හෝ අවුරුදු 18 දී ඔබ තරමක් දඩබ්බරයි. ඔබට ලැබෙන මුදල් නාස්ති කරයි. හැබැයි මොන තරම් අපල තිබුණත් 2024 වර්ෂය ඔබට යම් තරමක ශුභදායක බවක් නාඩි සිද්ධාන්තවලට අනුව පැවසිය යුතුයි. ආදර සම්බන්ධතාවලදී ඔබට ගැළපෙන හරිම සහකරු හෝ සහකාරිය ලැබෙයි. නමුත් සිතේ සන්සුන්කම අඩුවී යයි. හැබැයි සමහර කුම්භ ලග්න හිමියන්ගේ මංගල සීනු හැඬවෙන කාලයකි. විවාහය ස්ථිර වෙයි. තීන්දු තීරණවලට පැමිණෙයි. කෙසේ හෝ සුළු සුළු අපල සහගත බවක් පෙන්නුවත් මේ ඔබට ගෞරව ලැබෙන වසරකි.

මීන


මීන ලග්න හිමියන්ට ද මේ ගෙවෙන්නේ ලග්න ඒරාෂ්ටකයයි. මෙය අවුරුදු 7 1/2 ක කාලයක් ඉදිරියට ඇත. නමුත් නාඩි සිද්ධාන්තවලදී බොහෝ ශුභ කාල ඔබට පසුකරන්න සිදුවෙයි. බලමු 2024 වර්ෂය ඔබට කෙසේද කියා. මීන ලග්න අවුරුදු 01, 08, 12 යන වයස්වල සිටින දරුවන් විශේෂයෙන්ම රැක බලා ගත යුතුය. 6, 12 දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදුවෙයි. සුළු සුළු බාධක ද කරදර ද මතක ශක්තිය අඩුකම ද මේ කාලයේ සිදුවෙයි. අන් අයගේ මතක ශක්තිය වැඩිවෙයි. ඥානය දියුණු වෙයි.

අවුරුදු 21, 22, 23, 24 යන වයස්වල සිටින අයට විදේශ ගමන් බිමන් පෙන්නුම් කරයි.

රැකීරක්‍ෂා ආදියට හොඳ අවස්ථාවක් උදාවෙයි. නමුත් තරගකාරීත්වයට මුහුණ දෙන්නට සිදුවෙයි. සමහර අයගේ රැකියාවෙන් පඩි වැඩිවීමක් පෙන්නුම් කරයි. සමහරවිට ගරු නම්බුනාම පවා ලැබෙන්නට පුළුවනි.

මේ කාලයේ විවාහ යෝජනා ස්ථිර වෙයි. විවාහය සිදුවෙයි. පවුලට පිරිස වැඩිවෙයි. සමහර විට දරුවන් ද ලැබේ. ගෙදර දොර වාසනාව ද ඇතිවෙයි. ඒ අතරම තරමක අසනීප තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙයි. හදිසි අනතුරුවලින් ද ප්‍රවේශම් විය යුතු කාලයකි. බොහෝ අවස්ථාවලදී ඔබේ ඇසුරට එන අයගෙන් ප්‍රවේශම් විය යුතුයි. සමහර විට බොරු චෝදනාවන්ට ලක්වීමට ද පුළුවනි.

2024 නව වසර නාඩි සිද්ධාන්ත තුළින් ඔබට සහ රටට කෙසේද?

නාඩි ජ්‍යොතිෂවේදී
ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක
0715723434 – 0777901702

advertistmentadvertistment
advertistmentadvertistment