සන්ධාන හා මැතිවරණ ගැන මැති ඇමැතිවරුන්ගේ රසබර කතා…

458

පසුගිය සතියම වැහිබර සතියක් විය. විශේෂයෙන්ම ලංකාවේ දකුණු පළාතට සබරගමුවට මෙන්ම බස්නාහිරට ලැබුණු අධික වැසි නිසා ජන ජීවිතය ද තරමක් අඩාල වන්නට පටන් ගත්තේය. දේශපාලන අධිකාරියට වැඩ වැඩි වන්නට වූයේ මේ පළාත් වල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තම තමන්ගේ සාමාජිකයෝ අයහපත් කාලගුණික තත්ත්වය නිසා විපතට පත්ව සිටි නිසාය.

මේ අතරතුරේ ශ්‍රී ලාංකීය දේශපාලන කරලියේ තත්ත්වය ද සංකීර්ණ අඩවියකට පැමිණ තිබිණි. ලංකාවේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇතුළු රැස්වීම් කීපයකට සහභාගි වීම සඳහා ළඟ ළඟ විදේශගතවීම් කිහිපයකට සම්බන්ධ වී ලෝකයේ බලවත් රටවල රාජ්‍ය නායකයන් ගණනාවක් හමු වී රටේ ප්‍රශ්න ගණනාවකට සතුටුදායක උත්තර රැගෙන පැමිණ සිටියේය. මේ නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ආණ්ඩුවේ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු තබාගෙන සිටියේය. ඒ අතරම ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ වලට ද යම් සූදානමක් ඇති කර ගනිමින් සිටියහ.

මේ අතර මැතිවරණ සම්බන්ධයෙන් කෙරුණු යම් යම් මත විමසීම් රාශියක් ද විය. ඒ ඒ පක්ෂ තම තමන්ගේ ශක්තිය කෙරෙහි දක්වන්නට වූ ආකල්ප විකල්ප මුල් කොට ගනිමින් මත පළකළ සමහර නිරීක්ෂකයෝ දළ වශයෙන් සමීක්ෂණ ප්‍රතිඵල ද නොනිල මාර්ගවලින් ඉදිරිපත් කර තිබිණි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා කරන ලද සමීක්ෂණයක් ගැනද තොරතුරු හෙළි විය. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ එකට රැස්වූ අඩු රැස් වූ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ. මේ තත්ත්වය යටතේ ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වුව හොත් ආණ්ඩුවට ඉන් අවාසිදායක ප්‍රතිඵල අත්වන නිසා කිසි ලෙසකත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩක් නැතැයි ඇතැමෙකු තර්ක කළහ.

“ජනාධිපතිවරණයක් නෙවෙයි, මේ සිටුවේශන් එකේ මහමැතිවරණයක් තිව්වත් වාසි වෙන්නේ විපක්ෂයෙන් හැදෙන සන්ධානයකට තමයි.” මන්ත්‍රීවරයෙක් කීය.

“බැසිල් මහත්තයා නම් කියලා තියෙන්නේ පළාත් පාලන ඡන්දය තියලා ඉවර කරන්න කියලායි. එහෙම වුණොත් ජාතික දේශපාලනයට වඩා ගමේ අයගේ ඥාති මිත්‍ර හිතවත්කම් බලපාන හින්දා පොහොට්ටුවටත් ආණ්ඩුවටත් වඩා වාසි වෙයි කියලයි බැසිල්ගේ මතය.”

“ජාත්‍යන්තරයත් මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණය ගැන අහන හින්දා ලබන අවුරුද්දේ ඉස්සෙල්ලම අපිට මහන්සි වෙන්න වෙන්නේ පළාත් පාලන මැතිවරණයකට තමා.” කියමින් මන්ත්‍රීවරු සාකච්ඡා කර සිටියහ.

● අයි එම් එෆ් වාරිකය තවමත් ස්ථිර නැහැලු…

ඒ එක් සාකච්ඡාවකි. මීට අමතරව තවත් තැනක තවත් පිරිසක් එක්වී කතාබහ කරමින් සිටියේ මේ දිනවල ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලංකාව සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් හා මතවාද කීපයක් ගැන ය. ඒ සාකච්ඡාවේ චම්පික රණවක මන්ත්‍රීවරයා ද විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලබාදීම පිළිබඳ සලකා බලන්නට පැමිණි කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය කෙරෙහි සතුටුදායක ස්ථාවරයක නොවූ බව පළ කරමින් චම්පික කතා කළේය.

“දේශීය ණය කළමනාකරණය කරගැනීම සතුටුදායක අන්දමින් සිදු වෙලා නෑ කියන එක තමයි ඒ ගොල්ලන්ගේ මතය. එයාලා කියන විදියට බදු ආදායම තවම ඉහළ නැගලා නෑ. බදු එකතු කිරීම තවමත් සතුටුදායක නැහැලු. රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩියි. නාස්තිය සහ දූෂණය පාලනය වෙලා නැහැ කියලා ඒ ගොල්ල යෝජනා කරනවා. ඔය විදියට ගියාම ඔයා ඩොලර් මිලියන 300 ගන්න තව කාලයක් ගත වේවි.”

“ඔව් ඔව්… තව මොන මොනවා විකුණන්න වෙයිද දන්නේ නෑ. කොහොමටත් ඒ ගොල්ලන්ගෙ කොන්දේසිවලට යටත් වෙලා අපට වැඩ කරන්න බෑ.” මන්ත්‍රීවරයෙක් කීවේය. ඒ එක් තැනකය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරය තුළ තවත් මන්ත්‍රීවරු පිරිසක් කතාබහ කරමින් සිටියහ. අනුර යාපා, ඩිලාන් පෙරේරා, උපුල් ගලප්පත්ති හා මරික්කාර් එතන සිටියහ. මේ කණ්ඩායම ද කතාබහ කළේ ඉදිරි වසර වන විට ඇතිවිය හැකි සන්ධාන හා ඒවා මැතිවරණයකට පිවිසියහොත් ලබා ගනිවි යැයි විශ්වාස කළ හැකි ප්‍රතිඵල ගැනය. අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය කෙරෙහි රටේ ලොකු උනන්දුවක් ඇතැයි අයෙක් කියද්දි බහුතරයක් දෙනාගේ මතය වූයේ ඔවුන් සමාජ මාධ්‍ය යොදාගෙන මවා පෙන්වන්නට උත්සාහ කරන බලය තවමත් මහ පොළොවේ නොමැති බවයි. එම සංවාදය ඇදී යමින් තිබියදී එතනට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ආවේ මොකක්ද ඔය අනුර ගැන කතාව… කියා අසා ගෙන ය.

නෑ මේ අපි කිව්වේ අනුර කුමාර දිසානායකලාගේ අනාගතය ගැන.

“ඒගොල්ලන්ගෙ අනාගතය කොයි හැටි වෙතත් ඒ ගොල්ලො අනාගතය දිහා බලලා අනාවැකි කියන්න නම් දක්ෂයො”… කියමින් කිරිඅල්ල කතාවට වූයේ ය. ඒ සඳහා ඔහු අතීත කතාවක් මතක් කළේ මෙසේය.

“මහින්ද රාජපක්ෂ යුද්ධය දිනල දෙවන වතාවටත් ජනාධිපති වෙලා ඉන්න කාලේ අපි අතර කතාබහක් ඇතිවුණා මහින්ද රාජපක්ෂ පරාජය කරන්න නම් ඊළඟට දාන්න ඕන ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. අනුර කුමාර කිව්වා විපක්ෂය එකතුවෙලා මෛත්‍රිපාල සිරිසේනව දැම්මොත් තමයි 2015 දී මහින්දව පරද්දන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කාලේ මහින්දත් එක්ක මෛත්‍රිපාල දැඩි සම්බන්ධයකින් හිටියේ. ඒ සම්බන්ධය අතෑරලා සිරිසේන එලියට ඇවිත් අපිත් එක්ක එකතුවෙලා මහින්දට විරුද්ධව ඡන්දෙ දෙයි කියලා අපි හීනෙන්වත් නොහිතන කාලේ අනුර කුමාර විශ්වාස කළා…” ඔය ආකාරයට කිරිඇල්ල කියූ කතාව ගැන සිටි බොහෝ දෙනා මත පළ කළහ.

“එහෙනම් අනුර හොඳ අනාගත අනාගතවක්තෘ කෙනෙක්. එයා මොනවද දන්නෑ මේ දවස්වල කියන්නේ නේද…” කියමින් මන්ත්‍රීවරු කිරිඇල්ලට විහිළු කරන්නට පටන් ගත්හ.

“මම නං අනුර සම්බන්ධයෙන් එහෙම පටුවෙන් හිතන්නේ නෑ.. ඔයාට හොඳ tinking පවර් එකක් තියෙන බව මම දන්නවා..” ඩිලාන් කීවේය.

● විවේකයක් නැතිවම රනිල් වැඩ අරඹයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පහුගිය ඉරිදා අලුයම ලංකාවට පැමිණියේය. ඔහු කියුබාවට හා ඇමරිකාවට ගොස් පැමිණි දීර්ඝ ගුවන් ගමනකින් පසුව වුවත් විවේක ගන්නට අවස්ථාවක් උදා වූයේ නැත. ඔහුට දිගින් දිගටම වැඩ රාජකාරි රැසක් තිබිණි.

ජනාධිපතිවරයා ඉරිදා දහවල් ම සිය වැඩ රාජකාරි ආරම්භ කළේය. ඔහු කාර්යාලයට ගොස් වහාම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් හමුවූයේ මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡාවන්හි ප්‍රගතිය දැනගැනීම සඳහාය. මන්ද ඔවුන් සමග ඊළඟට ජනාධිපතිවරයාට ද විශේෂ සාකච්ඡාවක් යෙදී තිබිණි.

“ඒ ගොල්ල කියන්නෙම රාජ්‍ය ආදායම තවමත් මදි කියලා. තව තවත් බදු අය කරන්න කියල තමයි කියන්නේ…” නිලධාරීන් පෙන්වා දුන්නේය.

“රජයේ ආදායම අඩු වෙන්න විවිධ හේතු බලපානවා. අපිට ඒ ගොල්ල කියන කියන විදියට මේ රටේ ජනතාව පෙළන්න බෑ. ඒගොල්ලො කියන කියන විදිහට ජනතාව මත බදු පනවන්න අපට බෑ…” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ලියන ලද පොතක් පිටවීමේ උත්සවයකට සහභාගි වන්නට කොළඹ ලොකු හෝටලයකට ගියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මැති ඇමැති වරු කීපදෙනෙක් ද උත්සවයට පැමිණ සිටියහ. ද රයිට් අයි නමින් මේ පොත ලියා තිබුණේ මනුෂ නානායක්කාර යි.

සම්භාෂණය අතරතුර රනිල් රැඳී සිටි මේසයේ අගමැති දිනේෂ්, ටිරාන්, වජිර හා මනුෂ්‍ය වාඩි වී සිටියහ. ඒ අවටම මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ආශු මාරසිංහ ඇතුළු පිරිසක් ද සිටියහ.

● චීන ආධාර බෙදන්න රනිල් දිනේෂ් එක්ව ගිහින්

පසු දින පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ගියේ ය. ඒ එම විදුහලේ “සීතාවක සිසු අරුණලු” යනුවෙන් සංවිධානය කර තිබූ 12,000ක් සීතාවක සිසු දරු දැරියන් ට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීමේ උත්සවයකට සහභාගි වන්නටය. ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන්, මෙරට චීන තානාපති ඇතුළු අමුත්තන් රැසක් මීට සහභාගි වූහ. උත්සවය අමතමින් කතාකළ චීන තානාපතිවරයා විශේෂ කරුණක් සිහිපත් කළේය.

“අතීතයේ ඉඳන් තිබුණ චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙනයන්න වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් පිලිප් – කුසුමා ගුණවර්ධන යුවළ 1940 දශකයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය සඳහා දැමූ අඩිතාලම ඉතා ම ශක්තිමත්”

මෙම සියලු පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දී තිබුණි. ඒ, පිලිප් ගුණවර්ධන චීනය හා බැඳුණු ඓතිහාසික කලණ මිතුදම මෙන්ම, මහජන චීනය හා ශ්‍රී ලංකාව අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ කළ කුසුමා ගුණවර්ධනයන්ට පිදෙන ගෞරවයක් ලෙසය.

“සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි” ජනපති මෙහිදී කියා සිටි කරුණද බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්විය.

සීතාවක දරු දැරියන් වෙනුවෙන් චීනය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් දිනේෂ්, චීන තානාපතිවරයාට සිය කෘතවේදීත්වය පළ කර සිටියේය

ඒ අතරතුර, අඟහරුවාදා (26දා) බණ්ඩාරනායක ගුණ සමරුවට එක්වීමට දිනේෂ්, හොරගොල්ලට ගියේ හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ආරාධනයෙනි. එහිදී චන්ද්‍රිකා-දිනේෂ් අතර මෙන්ම මෛත්‍රිපාල-දිනේෂ් අතරද යම් කෙටි කතාබහක් ඇතිවනු එහි සිටි අයට අයට දක්නට ලැබිණි.

1956 ආණ්ඩුව බිහි කිරීමට නායකත්වය ගෙන තිබුණේද චන්ද්‍රිකාගේ පියා, බණ්ඩාරනායකයන් මෙන්ම දිනේෂ්ගේ පියා, පිලිප්ය. චීන-ලංකා මිතුදම ඇතිකර ගැනීමට පිලිප් ගුණවර්ධන, චීනයට ගියේ 56 ආණ්ඩුව බිහිකිරීමට සූදානමින් සිටි පසුබිමකය.

● පුතාව නාවන අතරතුර නාමල්ට අකරතැබ්බයක්

පසුගිය සතියේ නාමල් රාජපක්ෂ සිටියේ කාර්යබහුලවය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති පිහිටුවීම ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර නාමල් හැම දිස්ත්‍රික්කයටම ගොස් ශාඛා සමිති පිහිටුවීමට පැමිණෙයි. කාර්යබහුල නිසා නාමල් එක් දිනක් තම පවුල සමග නිවසේ සිටීමට යොදා ගත්තේය.

එහෙත් ඔහුගෙ ජංගම දුරකථනය වැඩ කළේ නැත. විවිධ පාර්ශ්වයන් නාමල්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබිණි. එදිනම සවස මාධ්‍යවේදීන් හිතවතුන් පිරිසක් මුණ ගැසීමටද නියමිතව තිබිණි. කෙසේ හෝ සවස් වරුවේදී නැවත දුරකථනය වැඩ කරන්නට විය. මාධ්‍යවේදීන් එදිනම හමුවූ අතර ඔවුන්ගෙන් නාමල්ට එල්ලවූයේ චෝදනාවකි.

කෝ ඔයාගෙ තාත්තා මහින්ද මහත්තය නම් එක කෝල් එකෙන් ආන්ස්වර් කරනවා ඔයාගෙ ෆෝන් එක ඕෆ්.

අනේ නෑ මට මාර වැඩේ වුණේ මේ දවස්වල එක දිගටම කෝල් එනවා. මම පොඩ්ඩක් ගෙදර අයත් එක්ක ඉන්න වෙලාවක් හදා ගත්තා ඉතින් එදා මට පුතාව නාවන්න වුණා. එහෙම යනකොටත් කෝල් එකක් ආවා මම ඒකත් ආන්ස්වර් කරගෙනම තමයි ගියේ. ඔහොම කෝල් එකේ ඉන්න ගමන් තමයි පුතාව නෑව්වෙ. පුතා ෆෝන් එක ඇද්දා. ඇද්ද පාර ෆෝන් එක බේසමේ. ඒත් මම ඉක්මනින්ම ෆෝන් එක හදා ගත්තා නාමල් එහෙම කියද්දී මාධ්‍යවේදීන් පිරිසට සිනා නොවී සිටිය නොහැකිවිය.

කමක් නෑ අන්න එහෙම පාක්ෂිකයන්ගෙ ඇමතුම්වලට උත්තර දෙන්න. මහින්ද මහත්තයගෙ ලොකුම හයිය බිමේ ජනතාව. ඔයත් ඒ පාරෙ යනවා. ඒක හොඳයි මාධ්‍යවේදීන් නාමල්ට පැවසීය.

පසුගියදා ඩී. වී. චානක රාජ්‍ය ඇමැතිතුමාට ඉතාමත්ම කනගාටුදායක සිද්ධියකට මුහුණ දීමට සිදු විය. ඒ ඔහුගේ මාමණ්ඩිය පාතාලයේ වෙඩි තැබීමක් නිසා ඝාතනය වීමයි.

මෙම සිදුවීම සිදුවෙන විට නාමල් රාජපක්ෂ සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. නාමල්ට ඉතාමත්ම හිතවත් ඩී. වී. චානකගේ මාමණ්ඩියට සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම නාමල්ට පැවසුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

නාමල් තංගල්ල සිට කෙළින්ම පැමිණියේ ගාල්ල කරාපිටිය රෝහලටය. තේනුක විදානගමගේ හා මොහාන්ද සිල්වා මේ වනවිටත් ගාල්ල කරාපිටිය රෝහලට පැමිණ තිබිණි. නාමල් දින තුනක්ම එක දිගට තමාගේ හිතවතා වූ ඩී. වී. චානක සමග ගාල්ලේ කාලය ගත කළේය.

මෙහිදී මරණ ගෙදරට පැමිණි බොහෝ දෙනකු කතාකළේ පාතාලයේ කප්පම් ගැනීම් පිළිබඳවය. කප්පම් නොදීම නිසා ඝාතනය කළාදැයි සැකයක් ඔවුන් අතර කතාබහ කෙරිණි.

“පුතා ඔයාගෙ මාමණ්ඩි මගේ ඉතාම සමීපතමයෙක් මේක මට ලොකු පාඩුවක්. මම මේ ගැන ජනාධිපතිතුමා එක්ක කතාකරනවා. ඊට පස්සෙ බලමු. ඔයා කලබල නොවී ඉන්න.” මළ ගෙදරට ආ වජිර කීවේය.

● ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදෙන ලකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතළ අර්බුද විසඳන ලකුණක් මේ සතියේත් දක්නට ලැබුණේ නැත. තමන්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් ගනු ලැබූ අත්තනෝමතික තීරණවලට එරෙහිව දයාසිරි ජයසේකර පසුගිය දා අධිකරණයේ පිහිට පැතීය. එහෙත් අවසානයේ ඉන් වාසි සැලසුණේ මෛත්‍රී පිලට මිස දයාසිරිට නොවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් එක්ව දයාසිරිට එරෙහිව ගොනු කරන ලද චෝදනා පත්‍රය ක්‍රියාත්මක කරන්නට තීන්දුවක් ගනු ලැබීය. එමගින් නිසැකව ම දයාසිරිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යන්නට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි ආරංචි මාර්ග පවසන්නට විය.

මේ අතරවාරයේ තිලංග සුමතිපාල හා දයාසිරි ජයසේකර අතර වෙනමම මිත්‍රත්වයක් හා එකඟතාවක් තිබෙන බවට කතාවක් පැතිර

ගියේ තවත් ආරංචියකට පියාපත් ලබා දෙමිනි. එමඟින් කියැවුණේ දැනටමත් ඒ දෙන්නා හෙලිකොප්ටර සන්ධානයේ මතයත් ඉක්මවමින් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමග එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බවයි. තතුදත් ආරංචි මාර්ග පවසමින් සිටියේ අනාගතයේ දී එනම් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඡන්දවලදී නිසැකයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල රනිල් වික්‍රමසිංහ හා එක්ව කටයුතු කිරීමට තීරණයක් ගනු ඇති බවයි. ඒ අතර දයාසිරි හා තිලංග ඇතුළු කණ්ඩායම බොහෝවිට හෙලිකොප්ටරයක් සමඟම හෝ තනිවම සමගි ජන බලවේගය හා එක්වීමට එක් වීමට ඉඩ ඇති බව හෙළිවිය.

තත්ත්වය මෙසේ තිබියදී අනාගතයේදී අපේ දේශපාලන කරලියේ නිර්මාණය විය හැකි සන්ධාන ගැනද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතර කතාබහක් ඇතිවිය. ලබන වසර වන විට දේශපාලන කරලියේ ඉතුරු විය හැක්කේ එජාපය පොහොට්ටුව හා මෛත්‍රී පිල එක්ව පිහිටුවන ලද සන්ධානයකුත් සමගි ජන බලවේගය දයාසිරි – තිලංග පිල හා අනිකුත් දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව පිහිටුවන ලද සන්ධානයකුත් ජාතික ජන බලවේගයත් පමණක් බවය. ඩලස්ලාගේ නිදහස් ජනතා සභාව බොහෝවිට ජාතික ජන බලවේගය සමග හෝ ඔවුන් ඊට එකඟ නොවන්නේ නම් සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණවලට තරග වදිනු ඇතැයි සාකච්ඡාවට ලක් වූහ.

කවුරු කෙසේ කීවත් ජාතික ජන බලවේගය තනිව තරග කිරීමට වැඩි නැඹුරුවක් ඇති දේශපාලන බලවේගයක් ලෙස පසුගිය කාලයේ ප්‍රචලිත විය.

මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභිමානවත් නායකයා වන මහින්ද රාජපක්ෂගේ ඇවතුම් පැවතුම් වල පුළුල් පරිවර්තනයක් පසුගිය සතියේ දක්නට ලැබුණි. ඒ ඔහු වෙනදාට වඩා ගමන් බිමන් යමින් සමාජයේ යම් දේශපාලන පෙරළියකට සූදානම් වෙමින් සිටින බව පෙන්නුම් කරන ගමන් බිමන් කීපයක් නිසාය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මේ ගැන කතාබහ වූයේ ලබන වසරේ එළඹීමට නියමිත මැතිවරණවලදී මහින්ද රාජපක්ෂත් යම් තීරණාත්මක භූමිකාවක් රඟ දැක්වීමට ඉඩ ඇති බවකි.

පොහොට්ටුව හෙවත් පොදු ජන පෙරමුණ වේදිකාවට නැංවීමට හැකි හා ඇති හොඳම තුරුම්පුව තවමත් මහින්ද රාජපක්ෂ බව සැකයක් නොවීය. ඔහුගේ නායකත්වයෙන් මැතිවරණ සටන ක්‍රියාත්මක වන බව ජන සමාජයේ ප්‍රචලිත වුවහොත් නිසැකවම එය ඔවුන් හා සටන් වදින්නට බලා සිටින අනෙකුත් බලවේගවලට බලවත් අභියෝගයක් වන බව දේශපාලන කරලියේ කතාබහට ලක්විය.

● රනිල් සැරසෙන්නේ ජාත්‍යන්තර පදවියකට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන වසරේ යම් කිසි තීරණාත්මක මැතිවරණයකට සූදානම් වන බව දේශපාලන කරලියේ බොහෝ දෙනකුගේ මතය වූහ. ඔහු ඒ සඳහා කල් යල් බලමින් රටේ ආර්ථිකය පෙළගස්වමින් එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරමින් සිටින බව ඔවුන් විශ්වාස කළහ. ඒ බවට සාක්ෂි බොහොමයක් තිබිණ.

මේ අතර තතුදත් මන්ත්‍රීවරු පිරිසක් රනිල් ගැන තවත් කතාවක් සාකච්ඡාවකට ලක් කරමින් සිටියහ.

“ලොක්කා හදන්නේ ආයිත් පාරක් ජනාධිපති වෙන්න නෙවෙයි. ජාත්‍යන්තර තලයේ තරගයකට යන්න…”

“ඒ මොකද එහෙම කියන්නේ කියන්නේ මොකක්ද තියෙන ජාත්‍යන්තර තරගය” අනෙකුත් මන්ත්‍රීවරු විමසූහ.

“යූ එන් එකේ පදවියක්… ඒකනේ එයා කියුබාව වගේ රටවල් වලටත් යන්නේ. ඔච්චර රට රටවල ඇවිදින්නේ. විශේෂයෙන්ම වමේ කඳවුරේ රටවල් වල විශ්වාසය ඇති කර ගන්න උත්සාහ කරන්නේ…” කියමින් ඔහු සාධක සපයන්නට උත්සාහ කළේ රනිල් පසුගිය කාලයේ හමු වූ රාජ්‍ය නායකයන් හා ඔහු සංචාරය කළ රටවල් ආදී උදාහරණ රාශියක් ගෙනහැර පාමිනි…

“ඔය කතාව මටත් අහන්න ලැබුණා. රනිල් ජනාධිපතිතුමා මීට ගොඩක් කලින් දවසක ඔය කතාව චතුර සේනාරත්න මන්ත්‍රීතුමා එක්ක කතා කළා කියලා එයා දවසක් මට කිව්වා…”

ඒ තරුණ මන්ත්‍රීවරයා එසේ කීවේ අනාගතයේදී ඇතිවිය හැකි පෙරළියකට අදාළ සාක්ෂියක් පළමුවරට සමාජගත කරමිනි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment