උරුමයක් ඇති ජීවත්වන බිමට අයිතියක් නැති ගාන්ධි නගර් මිනිස්සු

656

ත්‍රිකුණාමලය කලාපයෙන් බිහි වූ ප්‍රථම ඉංජිනේරුවරයා ගාන්ධි නගර් පවුලක සාමාජිකයෙක්…

ගාන්ධි නගර් ගමේ හිටපු නායකයා කාර්මේඝම් මෙරට ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිඩකයෙක්…

ගාන්ධි නගර් මිනිසුන්ට ප්‍රජා අයිතිය ලබා දීලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිවරයා…

ඉන්දියන් දෙමළ මිනිස්සු කියලා දෙමළ සමාජය කොන් කරනවා…

ඡන්ද ගන්න බොරු කියන දෙමළ දේශපාලනඥයො ගාන්ධි නගර් මිනිසුන්ගේ ඉඩම් ගැටලුව පල් කරනවා…

පුංචි නිවාස, පටු මං මාවත්, මඟ දිගට සෙල්ලම් කරන කොල්ලො කුරුට්ටො ඇස රැඳෙනවිට සිතේ ඇදෙනුයේ මස් වත්ත, පරිප්පු වත්ත, කොන්ක්‍රීට් වත්තය. එහෙත් මේ කොළඹ වත්තක් නොවේ. ත්‍රිකුණාමල නගරය සමීපයෙහි පිහිටි ගාන්ධි නගර් ගමය. ඉංග්‍රිසී පාලන සමයේ ඉන්දියාවේ සිට පැමිණි දෙමළ ජනතාව ජීවත් වන ගම්මානයකි.

පෙනුමැති එකදු නිවසක් හෝ ඇස නොරැඳෙන ගාන්ධි නගර් නෙත් පිනවන සුන්දර ගම්මානයක් නොවේ. පුංචි කඳු ගැටයක් මත පිහිටි අසුන්දර ගමකි. නිවාස පේළි අතරින් වැටුණු, කොන්ක්‍රීට් පටු මාර්ගය ඔස්සෙ ඇවිද ගිය අපි පාර අවහිර කර පුටු තබාගෙන හිඳගෙන සිටි කාන්තාවන් පිරිසක් අසල නතර වීමු. වියපත්, මැදිවිය, තරුණවිය ළමාවිය සියලු වයස් කාණ්ඩ නියෝජනය කරමින් එක්රොක්ව සිටි එම කාන්තාවන් සමඟ කතා කිරීමට භාෂාව ගැටලුවක් විය. එතැන සිටි එකදු කාන්තාවකටවත් හරිහැටි සිංහල කතා කිරීමට නොහැකි විය. සමන් මල්ලවආරච්චි දෙමළ බසින් කතා කර අපගේ අනන්‍යතාවය පැහැදිලි කළේය. ඔහු සමඟ සුහද කතාබහක නිරත වූ එක් කාන්තාවක් කාසිනාදන්ගේ නිවස පෙන්නුවාය.

ගාන්ධි නගර් ගමේ නායකයා කාර්මේඝම් කාසිනාදන් ය. ඉංග්‍රීසි පාලන සමයේ මෙරටට පැමිණි කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කර ඇත්තේ ඔහුගේ සීයාය. ගමේ නායකයා වුවද, ඔහුට ද මහ මන්දිර නැත. ඔවුන් ජීවත් වන්නේ ද කුඩා නිවසකය. එම නිවස ඉදිරිපිට තබා තිබූ පුටු කිහිපයක් මත අපි හිඳගත්තෙමු. කාසිනාදන්ට ද සිංහල කතා කිරීමට නොහැකිය. ඔහු සමඟ සම්මුඛ වීමට සමන් මල්ලවආරච්චි භාෂා පරිවර්තකයෙක් විය.

උරුමයක් ඇති ජීවත්වන බිමට අයිතියක් නැති ගාන්ධි නගර් මිනිස්සු

“උතුරු ඉන්දියාවේ ඉඳලා මුලින්ම පවුල් තිස්පහක් මේ ගමට ඇවිත් තියෙනවා. ඒ කණ්ඩායමේ නායකයා අපේ සීයා. අපේ මිනිස්සුන්ව ත්‍රිකුණාමලයට ගෙනත් තියෙන්නෙ සුද්දන්ගේ බංගලාවල වැඩ කරන්න. ආයතනවල වැසිකිළි, කැසිකිළි පිරිසිදු කරන්න. ඒ පැමිණි සියලු පවුල් පැල්පත් හදාගෙන පදිංචි වෙලා ඉඳලා තියෙන්නෙ මේ වත්තෙ. ‘කසළ ශෝධකයො’ කියලා ඉස්සර අපේ ළමයින්ව අවට දෙමළ පාසල්වලට ඇතුළත් කරගෙන නෑ. අපේ ගමේ මිනිස්සුන්ව කිසිම පොදු කටයුත්තකට සම්බන්ධ කරගෙනත් නෑ. දෙමළ සමාජයෙන් අපිව කොන් කරලා. ඒත් මේ අවට පදිංචි සිංහල මිනිස්සු එහෙම කරලා තිබුණේ නෑ. පස්සෙ ගමේ ග්‍රාම සංවර්ධන කාර්යාලයේ පාසලක් පවත්වාගෙන යමින් අපේ ළමයින්ට ඉගෙනගන්න පහසුකම් ලබා දීලා තියෙනවා. අඩු පහසුකම් යටතේ අපේ ළමයි හොඳට ඉගෙනගෙන. ඒත් උසස් අධ්‍යාපනයට යනකොට කුල ප්‍රශ්න මතු වෙලා බොහෝ අයගේ ඉගෙනීම කඩාකප්පල් වෙලා තිබුණා. ඉගෙනගත්ත අයටත්, අධ්‍යාපනයක් නැති අයටත් සේරම නගර සභාවේ කුණු අදින රස්සාව, රාජ්‍ය ආයතනවල වැසිකිළි, කැසිකිළි පිරිසිදු කරන රස්සාව තමයි උරුම වෙලා තිබුණේ. එහෙම රස්සාව කරගෙන ඉන්නකොට 1990 අවුරුද්දෙ එල්.ටී.ටී.ඊ. කලබල වැඩි වෙලා අපිටත් ලොකු කරදරවලට මුහුණ දෙන්න වුණා. පස්සෙ අපේ ගමේ සියලුම දෙනා පවුල් පිටින් ඉන්දියාවට ගියා. 1992 අවුරුද්දෙ නැවත ලංකාවට ඇවිත් අපේ ගෙවල්වල පදිංචි වෙලා පුරුදු රස්සාව කරගෙන
ගියා…” කාසිනාදන්ගේ කතාවට මම බාධා කළෙමි.

1993 වර්ෂයේදී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ගාන්ධි නගර් පදිංචිකරුවන්ට ප්‍රජා උරුමය ලබාදීමත් සමඟ එම ගමේ නැවුම් පිබිදීමක් ඇති විය. එගම්වාසීන්ට ඡන්ද අයිතිය හිමි විය. ජීවත්වීමේ උරුමය හිමිවීමත් සමඟ ගාන්ධි නගර් ළමයි කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින්, ශිෂ්‍යත්ව විභාග, සාමාන්‍ය පෙළ විභාග සමත් වෙමින් උසස් අධ්‍යාපනයේ දොරගුළු විවර කරගෙන ඉහළට ඉගෙනගැනීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබේ. ඒ අවසරයෙන් ගාන්ධි නගර් ළමයින්ට උසස් රැකියාවලට යොමුවීමට අවස්ථාව ලැබී තිබේ. මේ වන විට ගාන්ධි නගර් පුංචි පාසලෙන් මුලකුරු ඉගෙනගෙන ඉංජිනේරුවෝ, ගුරුවරු, ග්‍රාම සේවක මහත්වරු සහ රාජ්‍ය ආයතනවල ලේකම්වරු ඇතුළු විවිධ ඉහළ තනතුරු දරන පුද්ගලයන් විශාල පිරිසක් සිටින බව කාසිනාදන් සතුටින් පැවසුවේය. ගාන්ධි නගර් ගමෙන් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වී ඇත්තේ ද කාසිනාදන්ගේ බාල සහෝදරයෙකි. හේ මේ වෙනකොට මෙරට ප්‍රසිද්ධ ඉංජිනේරුවෙකි. ත්‍රිකුණාමලය කලාපයෙන් බිහි වූ ප්‍රථම ඉංජිනේරුවරයා ද ඔහුය. ඉන්දියාවෙන් මෙරටට පැමිණ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතරින් ප්‍රථමයෙන් ඉංජිනේරුවෙක් බවට පත් වී ඇත්තේ ද ඔහු ය. හේ දැන් ගාන්ධි නගර් ගමේ නැත. පදිංචිය කොළඹ ය. එහෙත් ගාන්ධි නගර් ගම දියුණු කිරීමට හේ දැඩි සේ ප්‍රයත්න දරමින් සිටින බව කාසිනාදන් අප සමඟ පැවසුවේය. එමෙන්ම ගාන්ධි නගර් මිනිසුන්ට ප්‍රජා අයිතිය උරුම වී ඇත්තේ කාසිනාදන්ගේ පියා කර්මේඝම් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සම්බන්ධ වී ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වැඩ කරගෙන ගිය නිසාය.

‘කාර්මේඝම්’ යනු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කර ඇති දක්‍ෂ ක්‍රීඩකයෙකි. පාපන්දු තරග ජයග්‍රහණය කර මෙරටට කීර්තියක් අත් කරදීමට දායක වී සිටින ක්‍රීඩකයෙකි. එහෙත් ඔහු රැකියාව කර ඇත්තේ නගර සභා කම්කරුවෙක් විදිහටය. පිරිමි දරුවන් තිදෙනෙකුගේ සහ එක් ගැහැනු දරුවකුගේ පියෙක් වූ කාර්මේඝම්ගේ එකම සිහිනය වී ඇත්තේ තම දරුවන්ට මෙන්ම ගාන්ධි නගර් ගමේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පසුබිම සකස් කිරීමය. ඔහුගේ එක් සිහිනයක් සැබෑ කරමින් ගාන්ධි නගර් ගමේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට ගිය ද පදිංචි ඉඩම්වලට අයිතිය ලබාගැනීමේ සිහිනය තවම දුරය. එමෙන්ම ගාන්ධි නගර් ගමේ බොහෝ වැඩිහිටියන් මේ වනවිටත් රැකියාව කරනුයේ රාජ්‍ය ආයතනවල පිරිසිදු කරන සේවකයන් ලෙසය. කාසිනාදන් ද ත්‍රිකුණාමලය ජාතික රෝහලේ පිරිසිදු කරන්නෙකි. වයස අවුරුදු පනස් තුනකි. ඔහුට පිරිමි දරුවන්ම දෙදෙනෙකි. නැවත අපි කාසිනාදන්ට සවන් දුන්නෙමු.

උරුමයක් ඇති ජීවත්වන බිමට අයිතියක් නැති ගාන්ධි නගර් මිනිස්සු

“ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇවිත් තමයි එවකට හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර නලින් සෙනෙවිරත්න මහත්තයට කියලා අපේ ගමේ මිනිස්සුන්ට ඉඩම් බෙදලා දුන්නෙ. ඔප්පු දෙන්න ඉස්සෙල්ලා ප්‍රේමදාස මහත්තයා නැති වුණා. එතුමා ජීවතුන් අතර හිටියා නම් අපිට ඔප්පු ලැබිලා. මේ රටේ පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්න සොයා බලා විසඳුම් ලබා දුන්න එකම ජනාධිපති ප්‍රේමදාස මහත්තයා විතරයි. එතුමා මිය ගියාට පස්සෙ කිසිම දේශපාලනඥයෙක් අපේ ගමේ මිනිස්සුන්ට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කළේ නෑ. ඉඩම් අයිතිය ලබාගන්න අපේ තාත්තා පුදුම විදිහට වළි කෑවා. ඒත් ඡන්දෙ කාලෙට ඇවිත් ‘ඉඩම් අයිතිය’ අරගෙන දෙනවා කියලා බොරු කියන දේශපාලනඥයො දින්නට පස්සෙ පැත්ත පළාතකට ආවේ නෑ. මුණගැහෙන්න අපි ගියත් මඟහැරියා. අපි හැමදාම රැවටුණා. අපිට ඉඩම් අයිතිය ලබාදෙන්න නගර සභාව උනන්දු වෙන්නෙත් නෑ. පදිංචිය සනාථ කිරීමට අපිට තිබෙන එකම ලියවිල්ල ප්‍රේමදාස මහත්තයා ඉඩම් දෙනකොට දීපු ලියැවිල්ල විතරයි. ඒ ලියුමට අනුව ගෙයක් හදාගන්න පුළුවන්, ජලය, විදුලිය ගන්න පුළුවන්. ඒත් ඉඩම්වලට අයිතිය නෑ. අපි පදිංචි ඉඩම්වලට නගර සභාව බදු අය කරන්නෙත් නෑ. ආණ්ඩුවට ඉඩම් පවරගත්තොත් අපිට යන්න වෙනවා…” කාසිනාදන් දිගු සුසුමක් පිට කළේය. ඔහුගේ පියා සේම කාසිනාදන් ද ගාන්ධි නගර් ගමේ පවුල්වලට ඉඩම් අයිතිය ලබාදීමට නොසෑහෙන්න කැප වී වැඩ කරන බව එගම්වාසීහු ද අප සමඟ පැවසූහ. එසේ අදහස් ඉදිරිපත් කළ පුද්ගලයන් අතරින් කනගසිංහම් කෙනෙකි. ඔහුට වයස අවුරුදු හැටතුනකි. ත්‍රිකුණාමලය රෝහලේ කම්කරුවෙක් ලෙස සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් කල් ගත කරන පැරැන්නෙකි. ඔහුගේ එකම දියණිය ද ගුරුවරියකි. පුතා රජයේ රැකියාවක නිරතව සිටින්නේය. මේ කනගසිංහම් කියන කතාවය.

උරුමයක් ඇති ජීවත්වන බිමට අයිතියක් නැති ගාන්ධි නගර් මිනිස්සු

“ගමේ සමිති සමාගම් හදාගෙන ඉඩම්වල අයිතිය ගන්න නොගිය තැනක් නෑ. ප්‍රේමදාස මහත්තයාගෙන් පසුව මෙරට ජනාධිපති වෙච්ච හැම කෙනෙක් ළඟටම අපේ ඉඩම් ගැටලුව අරගෙන ගියා. ඒත් කවුරුවත් විසඳුමක් දුන්නෙ නෑ. ඉඩම්වලට අයිතියක් නැති නිසා ගමේ කිසිම කෙනෙක් පිළිවෙළට, ලස්සනට නිවසක් ගොඩනඟන්න උනන්දු වෙන්නෙ නෑ. ගමේ අනෙකුත් අඩුපාඩු හදාගන්න උනන්දු වෙන්නෙත් නෑ. පදිංචි ඉඩම්වලට අයිතිය ලබාදෙනවා නම් ඒ සියලු අඩුපාඩු අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. මගේ වගේම මේ ගමේ සියලු වැඩිහිටියන්ගේ එකම බලාපොරොත්තුව මැරෙන්න ඉස්සෙල්ලා ජීවත්වන ඉඩම් කෑල්ලට අයිතිය ලබාගැනීමයි. අපේ දරුවන්ගේ, දරුවන්ටත් මේ ගැටලුව ඉතිරි කරන්න අපි කැමැති නෑ. බැංකු ණයක් ගන්න බෑ. ගමේ දරුවෙක්ට නගරයේ ජනප්‍රිය පාසලකට යන්න බැරි වෙලා තියෙන්නෙත් පදිංචි ඉඩම්වලට ඔප්පු නැති නිසයි. ඉහළට ඉගෙනගත්ත හැම දරුවෙක්ම ජනප්‍රිය පාසල්වලට ගියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා. නැති නම් අපේ දරුවන්ට ගමේ පාසලෙන් එහාට යන්න බෑ…” ඉඩම් අයිතිය අහිමිවීම ගැන හේ කතා කළේ ද දැඩි කනස්සල්ලෙනි.

උරුමයක් ඇති ජීවත්වන බිමට අයිතියක් නැති ගාන්ධි නගර් මිනිස්සු
භාවිතා කරන හැදුනුපත

මෙරට ඉන්දියන් දෙමළ ජනතාව ජීවත්වන වතු ආශ්‍රිත ගම්මාන, කොළඹ පැල්පත්වලට සාපේක්‍ෂව ගාන්ධි නගර් මිනිසුන්ගේ ජීවන තත්ත්වය දියුණු බව පෙනේ. පුංචියට හෝ ගොඩනඟාගෙන තිබෙන තනි නිවස පිරිසිදුව නඩත්තු කරගෙන යන බව පෙනේ. එමෙන්ම ගාන්ධි නගර් ගමේ ජීවත්වන බහුතරය හින්දු භක්තිකයන්ය. විවිධ වරදානවලට ලොල් වී පවුල් කිහිපයක් ක්‍රිස්තියානි ආගම වැළඳගෙන සිටින බව පදිංචිකරුවන්ගේ අදහසය. ඒ කිහිපදෙනා වෙනුවෙන් පල්ලියක් ද ඉදිකර තිබෙන බව පෙනේ. එමෙන්ම ගාන්ධි නගර් ගමේ ළමයි ඉංග්‍රිසි මවු බස කරගෙන ඉගෙනගන්නා බව ද දැනගැනීමට ලැබිණි. ත්‍රිකුණාමලයේ වෙනත් ප්‍රදේශවලට සාපේක්‍ෂව ගාන්ධි නගර් ගමේ දරුවන් අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියෙන් සිටින බව ප්‍රදේශයේ අධ්‍යාපන නිලධාරීහු ද අප සමඟ පැවසූහ. තම දරුවො දෙදෙනාම අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බව කේ. කන්දරාසා ද අප සමඟ පැවසුවේය. ඇය හතළිස් හත්හැවිරිදි දෙදරු මවකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඇයගේ මුල් ගම මඩකලපුවේය. විවාහයෙන් පසු ගාන්ධි නගර් පදිංචියට පැමිණ සිටින ඇය ගමට යන ප්‍රධාන පාර අද්දර හැඩට නිවසක් හදාගෙන, සැපට ජීවත් වන බව පෙනේ. එහෙත් ඔවුන්ට ඇති එකම ගැටලුව පදිංචි ඉඩමට ඔප්පු කඩදහියක් නැතිකමය. මම ඇයට පැනයක් ඉදිරිපත් කළෙමි.

මේ ගමේ ළමයි සිංහල භාෂාවක් විදිහට ඉගෙනගන්නෙ නැද්ද?

“ඉස්සර නම් සිංහල ඉගෙනගත්තෙ නෑ. දැන් ළමයි සිංහල ඉගෙනගන්න උනන්දුයි. ඒත් දෙමළ භාෂාවටත් වඩා මූලිකත්වය දෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට. පිටරටකට හරි යන්න පුළුවන් ඉංග්‍රිසී ඉගෙනගත්තොත් විතරයි. ඉදිරියේදී ඉංග්‍රිසි දැනුම නැතිව මේ රටේ ගනුදෙනු කරන්නත් බැරිව යනවා. රට සිංහල වුණාට. භාවිතය ඉංග්‍රීසි…” ඇයගේ කතාව පංකාදුය. නමට සිංහල වුවද, රාජ්‍ය ආයතනවල සිට සියලු තැන්හි වැඩ ඉංග්‍රීසියෙනි. දකුණේ ගම්වල මිනිසුන්ට වඩා නැගෙනහිර ගාන්ධි නගර් ගමේ මිනිස්සු එය හොඳින් අවබෝධ කරගෙන කාලයට ගැලපෙන විදිහට තම දරුවන්ට අධ්‍යාපනය ලබාදෙති. ඔවුන්ට ඇති පොදු ගැටලුව පදිංචි ඉඩම්වලට අයිතියක් නැතිකමය. මේ පෙළගැසුනයේ ගාන්ධි නගර් ගමේ පොදු හඬය.

“මේ ජීවත් වෙන්නෙ අපේ ගමේ තුන, හතර පරම්පරාව. දැන් පරම්පරා හතරක් පුරාවට පදිංචි ඉඩම්වලට ඔප්පු ඉල්ලනවා. අද දෙන්නම්, හෙට දෙන්නම් කියලා මඟහරිනවා. අයිතිය දෙන්නෙ නෑ. මේ අහල පහල ගම්වල මිනිස්සුන්ට ඔප්පු දෙනවා. අපිටම විතරයි නොදෙන්නෙ. වෙන ගම්වල මිනිස්සු වගෙ අපි සමෘද්ධිය ඉල්ලගෙන දුවන්නෙ නෑ. ගෙවල් හදාගන්න ණය ඉල්ලන්නෙත් නෑ. අපිට ඒ මොනවත් ඕන නෑ. ඉඩම්වලට අයිතිය දුන්නොත් ඇති. පරම්පරා හතරක් පුරාවට අපි පදිංචි වෙලා ඉන්න මේ ඉඩම් වෙන අයට දෙන්න දෙන්නෙත් නෑ. අපි ඉල්ලන්නෙ ගේ ඩිංග හදාගෙන ඉන්න බිම් කැබැල්ලට අයිතිය දෙන්න කියලා විතරයි…” අසරණ ඉල්ලීමකි.

උරුමයක් ඇති ජීවත්වන බිමට අයිතියක් නැති ගාන්ධි නගර් මිනිස්සු

ඉංග්‍රීසි පාලනය යටතේ ගාන්ධි නගර් ගමට පැමිණි ඉන්දීය ජාතික පවුල් තිස්පහ විකාශනය වී මේ වන විට පවුල් හාරසීය නවයක් බවට පත් වී තිබේ. දැන් එම පවුල්වල සාමාජිකයන් විවිධ රැකියාවල නිරත වී සිටින මෙරට පුරවැසියන්ය. කාලයක සිට මෙරට ජීවත්වන ඔවුන්ට ද ජීවත්වන බිම් අඟලට අයිතියක් හිමි විය යුතුය. එහෙත් දෙමළ ජනතාව නියෝජනය කරන කුල මල භේද මත ජනතාව බෙදන දමිළ දේශපාලනඥයන් නම් ගාන්ධි නගර් පදිංචිකරුවන්ට පිහිට නොවන බව සත්‍යයකි. මෙරට ආණ්ඩුවේ අදාළ බලධාරීන් සහ නිලධාරීන් මැදිහත් වී ගාන්ධි නගර් පීඩිත මිනිසුන් පදිංචි බිම් අඟලට අයිතිය ලබාදීමට කටයුතු කළ යුතුය. ඉන්දියාවෙන් පැමිණ සිටිය ද ඔව්හු දැන් මෙරට පුරවැසියෝ ය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment