අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෝ ලක්‍ෂ 146ක් උපයති

251

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා පැවසීය.

කිසිදු රසායනික පොහොරක් භාවිතා නොකර අහස් වැස්සෙන් පමණක් අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුර තුළ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක වී වගාව සිදු කර ඇති අතර මේ වන විට එහි අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.

වාර්ෂිකව මෙම ආකාරයට කාබනික වී වගාව රැඳවියන්ගේ සහායෙන් සිදු කරනු ලබන අතර මීට අමතරව පලතුරු සහ එළවළු වර්ගද මෙම එළිමහන් සිර කඳවුර තුළ වගා කෙරෙන බවත් මීට අමතරව නිෂ්පාදනය කරනු ලබන බේකරි ආහාර වර්ග අලෙවි කිරීම ද ඇතුළුව පසුගිය වර්ෂයේදී පමණක් රුපියල් ලක්ෂ 146ක ආදායමක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව උපයා ඇති බව අනාවරණය විය.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරනු ලබන කාබනික බෝග වගාවෙන් පමණක් පසුගිය වර්ෂය තුළදී පමණක් රුපියල් ලක්ෂ 70කට වැඩි ආදායමක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති බව බන්ධනාගාර අධිකාරිවරයා කීය.

මෙම නිෂ්පාදන අනුරාධපුර බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් වෙනුවෙන් පරිභෝජනය කරනු ලබන අතර, අතිරික්ත නිෂ්පාදන දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල රඳවියන්හට ලබා දීමත්, අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇති අලෙවි කුටිය මගින් පාරිභෝගික මහජනතාවට අලෙවි කිරීමත් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක පී. එස්. විජේසිරි මහතා මෙහිදී පැවසීය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment