කලබල කළොත් රිමාන්ඩ් කරනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ

8126

කුඩු ලෝලීන් ලෙස මත් ජාවාරමුන් කන්දකාඩුවට රිංගලා

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා සිටින රැඳවියන් මින් ඉදිරියට කලහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවසීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඇතුළු වීමෙන් මෙම මධ්‍යස්ථානයේ දිගින් දිගටම ගැටුම් ඇතිකර අවුල් සහගත තත්ත්වයක් ඇති කරන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම මධ්‍යස්ථානවල පුනරුත්ථාපන කටයුතුවලට දැඩි බලපෑක් එල්ල වී ඇති බව පවසන ඇමැතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලෙස මෙහි ඇතුළුවී තිබෙන ජාවාරම්කාරයන් නිසා මෙම තත්ත්වය උද්ගතවී තිබෙන බවද කියා සිටී.

දිවයින කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර දිගින් දිගට ම ගැටුම් ඇතිවීම නිසා අපි එහි පරිපාලනයේ වෙනසක් සිදු කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ඇතුළු වීම නිසයි මෙම තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. මේ අයට ඕනෑ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නයි.

මොකද තරුණයෝ පුනරුත්ථාපනය වුණොත් මත්ද්‍රව්‍ය භාවිතය නතර කරන නිසා මේ ජාවාරම්කාරයන්ගේ ව්‍යාපාරවලට මරු පහරක් වදිනවා.

ඒ නිසා තමයි මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් විදිහට මේ ජාවාරම්කාරයෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ඇතුළු වෙලා මේ තත්ත්වය ඇති කරන්නේ. මින් ඉදිරියට අපි මේ අයට විරුද්ධව තදින් ක්‍රියා කරනවා. ඒ යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් විශාල පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලටත් බන්ධනාගාරවලටත් යොමුකර තිබෙනවා. ඒ නිසා බන්ධනාගාරවලත් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලත් විශාල තදබදයක් ඇතිවෙලා තිබෙනවා යැයිද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment