මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයෝ 8 ක් ඉන්දීය මුහුදු තීරයේදී අත්අඩංගුවට

41

මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයන් අට දෙනකු සමග ධීවර බෝට්ටුවක්ද, තවත් ඉන්දීය ධීවරයන් සිව්දෙනකු සමග ඉන්දීය බෝට්ටුවක්ද ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය විසින් මණ්ඩපම් ප්‍රදේශයේ දී ඉකුත් 24 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ධීවරයන් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත්තේ තමන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටියදී බෝට්ටුව අනතුරකට පත් වී අබලන් වීම නිසා ඉන්දියාවේ තමිල්නාඩු මණ්ඩපම් මුහුද දෙසට බෝට්ටුව ගසාගෙන ගිය බවයි.

නමුත් ඔවුන් ගමන් කළ බෝට්ටුව පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට බෝට්ටුවේ තිබී වියළි කහ කැබලි කීපයක් හා වියළි මුහුදු කූඩැල්ලන් අසුරන ලද ගෝනියක් හමු වී තිබේ.

මෙම බෝට්ටුවට ආසන්නයේදී ඉන්දීය ධීවරයන් හතර දෙනෙකු සිටි තවත් බෝට්ටුවක් පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර පොලිසිය සැක කරනු ලබන්නේ ඒ බෝට්ටුවේ තිබූ යමක් මේ බෝට්ටුවට හෝ උතුරේ ධීවරයන් ගිය බෝට්ටුවේ තිබූ යමක් ඉන්දීය බෝට්ටුවට මාරු කරන්නට ඇති බවයි.

එම බෝට්ටුව සමග ඉන්දීය ධීවරයින් සිවුදෙනාද මණ්ඩපම් වෙරලාරක්ෂක පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

පොලිස් නිලධාරීන් පැමිණි නිසා එම බෝට්ටුවල තිබූ දේවල් මුහුදට දමන්නට ඇති බවට වෙරළාරක්ෂක පොලිස් නිලධාරීන් විශ්වාස කරන අතර දෙරටේම ධීවරයන් 12 දෙනා සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ පැවැත්වීම ආරම්හ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment