ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව සෙවූ කමිටු වාර්තාව ඇමැතිට භාර දෙයි

186

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද විමර්ශන කමිටුව ඊට අදාළ වාර්තාව ඊයේ (10 වැනිදා) දින අමාත්‍යවරයාට භාර දෙන ලදි.

ඔස්ටේ්‍රලියාවේ පැවැති 2022 අයි.සී.සී. ටී. 20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනාවන් ද, “බෝර්න් අගේන්” ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම් ද පරීක්‍ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයේ වාර්තාව ලෙස එය නම්කර ඇත.

එමෙන්ම ඊට අදාළ උපලේඛනයක් ද මෙහිදී ඇමැතිවරයාට භාරදී ඇත. 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඔස්ටේ්‍රලියාවේ දී එම ලෝක කුසලාන තරගාවලිය පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කෙරුණි. එහි සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස්, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment