බන්ධනාගාර නියාමකට තර්ජනය කළ සිද්ධියේ සැකකරුවෝ දෙදෙනා 12 තෙක් රිමාන්ඩ්

83

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන තරුණ නියාමකවරයෙකු ගේ මිනුවන්ගොඩ, වෑගොව්ව රාජසිංහපුර නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනි අවි පෙන්වා මරණ බවට තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකුව එළඹෙන 12 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 01 වැනිදා පස්වරුවේ නියම කළාය.

කඩවත බණ්ඩාර වත්තේ සහ හෙයියන්තුඩුව දලුග්ගල පාරේ පදිංචි සැකකරුවන් දෙදෙනකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් දෙදෙනාව ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එදිනට (12) ද සැකකරුවන් දෙදෙනාව හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණය හමුවට ආවරණය කර ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් මීගමුව බන්ධනාගාර අධිකාරි වෙත නියම කෙරුණි.

ඉකුත් මැයි මස 12 වැනිදා අලුයම් කාලයේදී මිනුවන්ගොඩ වෑගොව්ව රාජ සිංහපුර ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාර නියාමකවරයා ගේ නිවසට පැමිණ තිබූ සැකකරුවන් තිදෙනකු විසින් “උඹ හිර ගෙදර හදන්න එන්න එපා. සිර ගෙවල් හදන්න උඹට බැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්” යැයි තර්ජනය කරමින් බන්ධනාගාර නියාමකවරයාව දණ ගස්සවා පහර දී තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ සේවයේ නියුතුව සිටි සංඛ කුසල් මාරසිංහ යන බන්ධනාගාර නියාමකවරයා එම සිද්ධියට මුහුණ පා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව 01 වෙනිදා මිනුවන්ගොඩ පොලිසිය මගින් මෙසේ සැකකරුවන් දෙදෙනාව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ලේ සාක්ෂි කරුවන්ව එදිනට (12) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් මිනුවන්ගොඩ පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි.

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප. පො. ප. ජී. කේ. අබේරත්න ගොඩාරියක් පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment