ගෝලීය උණුසුම අවම කිරීමේ ඇමරිකානු ජනපතිගේ වෑයමට උසාවියෙන් බාධක

238

ලොවටම තර්ජනයක්ව පවතින ගෝලීය උණුසුම අවම කරලීම සඳහා අහිතකර හරිතාගාර වායුන් (ග්‍රීන් හවුස් ගෑසස්) පරිසරයට මුදා හැරීම අවම කරලීමට ඇමරිකානු පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ උත්සාහයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් හේතුවෙන් අවහිර වී තිබේ.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් දේශගුණික විපර්යාසයන්ට හේතු වී ඇති ගෝලීය උණුසුම අවම කරලීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගැනීමට ගිය හරිතාගාර වායුන් පරිසරයට මුදා හැරීම අවම කරලීමේ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන වාතාවරණයක් උද්ගතව තිබේ. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්තම ගල් අඟුරු කර්මාන්තශාලා පිහිටා ඇති ප්‍රාන්ත 19ක හරිතාගාර වායුන් පරිසරයට මුදා හැරීම අවම කරලීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය එරට පරිසර ආරක්ෂණ අධිකාරිය සතුව නොමැති බව ප්‍රකාශ වී තිබේ.

ඇමරිකාවේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය විසින් පාලනය කරනු ලබන මෙම ප්‍රාන්තවල පිහිටි ගල් අඟුරු සමාගම්වල මෙහෙයවීමෙන් ඇමරිකානු පරිසර ආරක්ෂණ අධිකාරියට එරෙහිව පනවා තිබූ නඩුවක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේදී විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් ඇමරිකානු ගල් අඟුරු සමාගම් සිය ප්‍රීතිය පළ කර තිබේ. පරිසරයට වැඩි වශයෙන් අහිතකර හරිතාගාර වායුන් නිකුත් කරන ගල් අඟුරු කම්හල් මෙම නඩු තීන්දුවට පෙර බිය වී ඇත්තේ යම් හෙයකින් ජනපති බයිඩන්ගේ පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවහොත් ප්‍රාන්ත 19ක පිහිටා ඇති විදුලිය නිපදවීම සඳහා මහා පරිමාණයෙන් ගල් අඟුරු සපයන සිය කම්හල් වසා දැමීමට සිදු වනු ඇති බවටයි. උසාවි තීන්දුව ව්‍යසනකාරී තීරණයක් බව ප්‍රකාශ කර ඇති ජනපති බයිඩන් අවධාරණය කර ඇත්තේ මෙම තීන්දුව හරහා ගෝලීය උණුසුම අවම කරලීමට තමන් ගෙන යන පිළිවෙතට බාධා නොවන බවයි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment