විමර්ශනයකට ඇවිත් නාවුල හෝටලයක සැප අරන් බිල නොගෙවා පොලිසියේ ‘කළු පුතා’ මාරුවෙලා

1008

බිල ගෙවන්න නොහැකිව නාවුල ඕඅයිසී ලෙඩ වෙයි

මිනීමැරුමකට අදාළ විමර්ශනයක් සඳහා සිය බිරිඳ සමග මාතලේ නාවුල ප්‍රදේශයට පැමිණි පොලිස් මූලස්ථානයේ නීති අංශයට සම්බන්ධ උසස් නිලධාරියකු දින ගණනක් තිස්සේ එම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන කා බී විනෝද වී රුපියල් දෙලක්‍ෂයකට ආසන්න හෝටල් බිල්පත නොගෙවා මාරුවී ඇත.

මෙම මුදල ගෙවා දැමීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටි නාවුල පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයකින් ඊයේ (10දා) රෝහල්ගත කර ඇත.

පොලිස් මූලස්ථානයේ ‘කළු පුතා’ නමින් ප්‍රසිද්ධ මෙම උසස් පොලිස් නිලධාරියා නාවුල සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුත්තකට සිය බිරිඳ ද සමග ගොස් ඇත්තේ මීට දින කිහිපයකට උඩදීය. නාවුල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන් ගෙන ඇති මෙම උසස් නිලධාරියා එම විමර්ශනය පසෙක තබා සිය බිරිඳ ද සමග කා බී විනෝද වෙමින් දින ගණනක් තිස්සේ සංචාරක හෝටලයේ නවාතැන් ගෙන ඇත.

හෝටල් ගාස්තු වශයෙන් ගෙවීමට නියමිත රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදලක් නොගෙවා එය ගෙවීම නාවුල පොලිස් ස්ථානාධිපතිවරයාට භාරදී මෙම නිලධාරියා පිටව ගොස් ඇත. හෝටල් ගාස්තු ගෙවීමට නාවුල පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට ස්ථානාධිපතිවරයා සූදානම් වී ඇති අතර ප්‍රදේශයේ උසස් නිලධාරීන් විසින් එය නතර කර ඇත. හෝටල් බිල්පත ගෙවීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව ඇති ස්ථානාධිපතිවරයා ඊයේ හදිසි රෝගී තත්ත්වයකින් රෝහල්ගත කර ඇත. මෙම උසස් නිලධාරියා ඉදිරි දිනවලදී නියෝජ්‍ය පොලිස්පති තනතුරට ද උසස්වීම් ලැබීමට සිටින අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment