බිලියන 3.4ක ටැබ් ඈලියාවට ඇරලා – කෝපා කමිටුවේදී හෙළිවෙයි

209

2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදී ගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී අනාවරණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරු ද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණකවලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථානගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තව ද මෙම ටැබ් පරිගණක සාධාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බව ද මෙහිදී හෙළි විය.

මේ අනුව සැප්තැම්බර් 26 වැනිදාට පෙර මේ පිළිබඳ පූර්ණ විස්තර සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කෙරිණි.

අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMI) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂවලදී රු. මිලියන 64ක් වියදම් කළ ද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගත නැති බව ද මෙහිදී අනාවරණය විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙහි ගුරුවරුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන බවත් ළමුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන්නේ වෙනත් පද්ධතියක බවත්ය. එසේම මෙම පද්ධතිය යාවත්කාලීන වීමේ දුර්වලතාවක් පවතින බව ද පැවසීය.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මෙහි පවතින දත්ත ප්‍රමාණවත් නොමැති බවයි. මේ නිසා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සොයා බැලීමට ජූලි 07 වැනිදා මේ සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැඳවන බවයි.

එසේම උසස් පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක පැවතීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ පිළිබඳ 2020 වර්ෂයේදී පර්යේෂණයක් සිදු කොට නිර්දේශ 15 ක් ලබාදී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කමිටුව පැවසුවේ අද වන විට පවතින තත්ත්වය මීට වඩා වෙනස් වන බැවින් මෙම නිර්දේශ තවදුරටත් යාවත්කාලීන විය යුතු බවයි.

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට කාර්යාල සහායකයකු පත්කොට 2007 වසරේ සිට 2021 දක්වා වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර මෙම ගෙවීම් සිදු කොට ඇත්තේ කැබිනට් අනුමතියකින් බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ. මේ අනුව මෙම තනතුර 2021 දෙසැම්බර් 31 දින සිට බලාත්මක වන පරිදි 2022 ජනවාරි 25 දින අහෝසි කොට ඇති බවත් මෙහිදී සඳහන් විය. කෙසේ වෙතත් මෙම නිලධාරිනිය මෙම තනතුරු අහෝසි කිරීමට විරුද්ධව එරට නීතිය යටතේ නඩුවක් ගොනු කර තිබූ බවත් වන්දි ලෙස යූරෝ 30898.56 ක් ඉල්ලා ඇති බවත් මෙහිදී සඳහන් විය.

මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කෙරිණි.

එසේම පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. තවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, සිවඥානම් ශ්‍රීතරන්, හෙක්ටර් අප්පුහාමි, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, මුදිතා ප්‍රිශාන්ති සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment