මාර යුද්ධය

458

(පාරිභෝගික ආරක්‍ෂණ දිනය වෙනුවෙනි.)

දහනව වන සියවසේ මැදභාගයේ 20 වන සියවසේත් මුල් කොටසේත් ලෝකයේ සිදු වූ පරිවර්තන කිහිපයක් නිසා මනුෂ්‍යයාගේ අනාගතය වෙනස් විය. මින් පළමුවැන්න වූයේ සදාචාරය පිළිබඳ ජන සමාජය තුළ පැතිර ගිය මතවාදයත් එකී මතවාදය පිටිපසින් කෝච්චි මෙන් පෝලිමේ පැමිණි වෙනත් චින්තනමය පෙළගැස්මක්ය. සදාචාරය යන සාධකය සමාජයට බලපාන ආකාරය ගැන බර්ට්‍රන් රසල් නමැති දාර්ශනිකයා විසින් මතවාද සමූහයක් පළ කරන ලදි. සදාචාරය ද ඇතුළත් වන්නේ හෙළුවෙන් නොසිටීම පමණක් නොවේ. සදාචාරයට අනුකූල වන්නේ මහමඟදී ස්ත්‍රී දූෂණය නොකිරීම පමණක් ද නොවේ. පාරේ යන විට අනෙකාගේ ඇඟේ නොවැදී යෑමද සදාචාරයේ කොටසකි. එසේම එය මානව අයිතිවාසිකම්වල ද කොටසකි. ශ්‍රී ලංකාවේ සමසමාජ පක්‍ෂ නායක එන්. එම්. පෙරේරාගේ දේශපාලන ගුරුවරයා වූ මහාචාර්ය හැරල්ඩ් ජේ. ලැස්කි විසින් මානව හිමිකම් පිළිබඳ හොඳම අදහස් පළකර තිබේ. විසිවන සියවසේ පහළ වූ සමාජ විද්‍යාඥයන්ගේ මතයට අනුව පාරිභෝගික අයිතිවාසිකම් සහ පාරිභෝගිකයාගේ ආරක්‍ෂාව යන අංශ දෙක සදාචාර සම්පන්න සමාජයක කොටස්ය. ලෝක පාරිභෝගික ආරක්‍ෂණ දිනය ඊයේ (සෙනසුරාදා) ලොව පුරා මහ ඉහළින් සමරන ලදි. හැබැයි මේ දිනය වැලන්ටයින් දිනය වැනි ආදායම් ගෙන දෙන දිනයක් නොවේ. අප මෙතැන් සිට කතා කරන්නේ පාරිභෝගික ආරක්‍ෂාව යන සංකල්පය ලංකාව වැනි රටක් තුළ ක්‍රියාත්මක වන හැටිය.

මේ රටේ ජනගහනය දෙකෝටි විසිලක්‍ෂය ඉක්මවා ඇත. ඒ සියලුම දෙනා පාරිභෝගිකයෝ වෙති. නූතන වෛi ක්‍රමයේ ස්වභාවයට අනුව නූපන් දරුවා ද පාරිභෝගිකයෙකි. කුස තුළ සිටින තම දරුවා පෝෂණය කරනු පිණිස මව විවිධ පෝෂ්‍යදායක ආහාර, ඖෂධ වර්ග සහ එන්නත් ලබාගනී. එහිදී මව සෘජු පාරිභෝගිකයා බවට පත්වන අතර දරුවා වක්‍ර පාරිභෝගිකයකු බවට පත්වේ. ලංකාවේ පාරිභෝගිකයා ඉතාම අනාරක්‍ෂිතය. ඉන්දියාවේ පාරිභෝගිකයා ද ඉතාම අනාරක්‍ෂිතය. මේ දෙගොල්ලොම පාවිච්චි කරන නාගරික නළ ජලයෙහි 40% ක් පමණ අසූචි තිබේ. කුණු බිත්තර කොත්තු රොටියට දමනු ලැබේ. එය සිදුවන්නේ හිතමතා නොවේ. බිත්තර දමා කොත්තු රොටිය දැමූ විට එය කුණු වූ එකක් යැයි කියා ආපසු ගැනීමක් නොමැත. මෙයට වඩා පරණ වූද පිළුණු වූද කුකුළු මස්, හරක් මස් කොත්තු රොටියෙහි තිබේ. මේ ගැන කතා කරන්නට ගියොත් කොත්තු කොටන්නා විසින් පාරිභෝගිකයා ද රොටී තැටිය මත තබා කොටනු ලබනවා ඇත. පාරිභෝගික ආරක්‍ෂාව යනු ව්‍යාපාර බව අපගේ වැටහීම වේ. පළමු කොට පාරිභෝගිකයා කුණු බඩුවලින් ආරක්‍ෂා විය යුතුය. දෙවැන්න නම් ඔහු මුදලාලිගෙන් ආරක්‍ෂා විය යුතුය. කුණු බඩුවලට එරෙහිව කතා කරන්නට ගොස් මුදලාලිගෙන් හෝ ගෝලයන්ගෙන් ගුටිකන ගනුදෙනුකරුවෝ බොහෝ වෙති.

මීළඟට පාරිභෝගිකයා අත්තනෝමතික මිල ක්‍රමයෙන්ද ආරක්‍ෂා කරගත යුතුය. භාණ්ඩයක මිල නැග්ගවූ වහාම ඒ මිල ක්‍රියාත්මක කරන මුදලාලි භාණ්ඩයක මිල බැස්ස වූ විට තොග අවසන් වනතුරු අලුත් මිල ක්‍රියාත්මක කරන්නේ නැත. මේ කාරණයේදී ඇතැම් මුදලාලිලා ත්‍රස්තවාදීන්ට සම වෙති. ලංකාවට ලොකු ලූනු ආනයනය කරන සංගමයේ සභාපතිතුමා පසුගිය දවසක රූපවාහිනී මාධ්‍යවේදීන්ට තග දමන අයුරු අපි සමාජ මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. ඒ මොහොතේදී රූපවාහිනී මාධ්‍යවේදීන් ඉතා ඉවසිල්ලෙන් කටයුතු කළ අතර එසේ නොවී නම් සභාපතිතුමාට නැව් ගුටිකෑමට සිදුවනවා ඇත.

පාරිභෝගික ආරක්‍ෂක පනතක අවශ්‍යතාවත් මෙටි්‍රක් ඒකක හඳුන්වාදීමත් මේ රටේ සිදුවන්නේ එක්දහස් නවසිය හැත්තැ ගණන්වල මුලය. ලංකාව කොතරම් පුදුම රටක්ද යත් අපි ඇමරිකාවටත් කලින් මෙටි්‍රක් ඒකක භාවිතා කරන්නට පටන් ගත්තෙමු. එහෙත් 1979 වනතුරු අපට පාරිභෝගික ආරක්‍ෂක පනත ක්‍රියාත්මක කර ගැනීමට බැරි විය. එක්දහස් නවසිය අසූ ගණන්වල සිට ලංකාවේ ආර්ථිකය තනිකරම විවෘත වෙළෙඳාම කෙරෙහි යොමු වූ නිසා 1979 දී සාදන ලද පාරිභෝගික ආරක්‍ෂක පනතේ වගන්ති ඉවත් කිරීමට සිදුවිය. පාරිභෝගික ආරක්‍ෂණ පනත ක්‍රියාත්මක කළේ පාරිභෝගික අධිකාරියයි. මුලදී මෙය මිල පාලන දෙපාර්තමේන්තුව ලෙස ද හඳුන්වන ලදි. බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේදී සීනි මිල රාත්තල සත හැත්තෑ දෙකටත්, සුදු පොප්ලින් යාරය රුපියල් 2.12 ටත් පවත්වාගෙන යන ලද්දේ මේ කියන මිල පාලන දෙපාර්තමේන්තු විසිනි. මිල පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළුකඩ වටලන විට මුදලාලිලා මහත් සේ බියට පත්වූහ. පසුව මිල පාලන කට්ටියට පගාවක් දී බේරී යෑමට මුදලාලිලා පුරුදු වූහ. ඒත් අද තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබේ. පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු බැරිම තැනකදී මිස පගා නොගසති. කුණු වූ ආහාර ද්‍රව්‍යවලින් පාරිභෝගිකයන් සුරැකීම සඳහා පී.එච්.අයි ලා මාර යුද්ධයක් ගෙන යති. එසේ වුවද වැඩිදෙනා කියන්නේ පාරිභෝගිකයන් ආරක්‍ෂා කිරීම සඳහා මේ රටේ තිබෙන නීති පණ මදි බවය. ඒ නීතිවලට පණ ලැබුණුදාට මාර යුද්ධය නිමා කිරීමට නිලධාරීන්ට පුළුවන් වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment