නාරම්මල පොලිස් වෙඩිල්ල: පෙත්සම විභාගයට අවසර

221

නාරම්මල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු විසින් රාත්‍රි කාලයේ සිවිල් ඇඳුමින් සැරසී මුර සංචාරයේ යෙදී සිටියදී නවත්වන ලෙසට ලබාදුන් සංඥාවක් නොතකා ඉදිරියට ගමන් කළ කුඩා ලොරි රථයක් හඹා ගොස් එහි රියැදුරුට වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව රියැදුරුගේ බිරිඳ විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04දා) අවසර ලබාදුන්නේය.

පසුගිය ජනවාරි මස 20 වැනිදා නාරම්මල ප්‍රදේශයේදී උප පොලිස් පරීක්‍ෂක කේ. ගුණවර්ධන නමැති නිලධාරියා යතුරුපැදියකින් හඹා ගොස් සිදුකළ වෙඩි තැබීමෙන් 34 හැවිරිදි තිදරු පියකු වන රොෂාන් කුමාරසිරි නමැත්තා මියගොස් තිබිණි. ඔහුගේ බිරිඳ විසින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ද අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ එම පෙත්සම ඒ. එච්. එම්. ඩී. නවාස්, අචල වෙන්ගප්පුලි හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. මෙතෙක් තම අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති කරුණු අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති 11,12(1) සහ 13 යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බැලූ බැල්මට පෙනී යන බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම පෙත්සම් විභාගය ලබන නොවැම්බර් 25 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළේය. උප පොලිස් පරීක්‍ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් චමුදිත බණ්ඩාර කුලසේකර ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment