මහලු විය සහ කඳුළු විල

1241

මහලු විය අන් කවරදාටත් වඩා බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. හොඳ ආහාර පාන, ව්‍යායාම, සෞඛ්‍ය පහසුකම්, ජීවිතේ දිග්ගස්සන බෙහෙත් වර්ග යනාදියෙන් යුරෝපයේ ජනතාවගේ පරමායුෂ වැඩිවී තිබේ. මේ කිසිම දෙයක් නැතුව අපේ රටේ ජනතාවගේද පරමායුෂ වැඩිවී ඇත. එය ඔවුන්ගේ කර්ම ශක්තිය නිසා සිදුවන්නට ඇතැයි අප විශ්වාස කරමු. යුරෝපයේ මහලු විය යනු සහනදායී සන්ධ්‍යා සමයකි. සැපවත් විශ්‍රාම කාලයකි. ලංකාවේ මහලු විය යනු ලෙඩ ගොඩකි. හැමෝම බලා ඉන්නේ මහල්ලා මැරෙන තුරුය. එහෙත් විඳවීමට ඇති කාලය දීර්ඝ නිසාදෝ ඔහු තව තවත් ජීවත් වෙයි. පහතින් පළවන පුවත මේ පුවත්පතට කියන ලද්දේ ලංකාවේ විශාලතම පුද්ගලික රෝහල් වලින් එකක අයිතිකරුවෙකි. මහලු පියෙක් මහලු නිවාසයක ජීවත් වෙයි. ඔහුට සිටින්නේ එක පුතකු පමණි. මේ පුතා ජීවත්වන්නේ ද පිට රටය. මහලු පියා මරණාසන්නව සිටියදී මහලු නිවාසය මගින් පුතා වෙත පණිවුඩයක් යවනු ලැබේ. පුතා වහාම ගුවන්යානයක නැග ලංකාවට පැමිණ පියා පෞද්ගලික රෝහලකට භාරදෙයි. එසේ භාරදීමේදී කළයුතු deposit එකද කරයි. ඉන්පසු තමන් ඥාතියකුගේ නිවසට යන බව පියාට පවසා ගුවන්තොටුපළට යන පුතා ඊළඟ ෆ්ලයිට් එකේ නැග තමන් ජීවත්වන රටට යයි. දවස් දෙක තුනක් පණ අදින පියා මරණයට පත්වෙයි. ඒ බව දැන්වීම සඳහා පුතාට දුරකථන ඇමතුමක් දෙන විට, එම අංකය කලකට පෙර විසන්ධි කරන ලද්දක් බව හෙළිවෙයි. ඉන්පසු රෝහලේ සේවකයන් කරන්නේ එම මළ සිරුර මෝචරියට දැමීමය. අවුරුද්දක් පමණ ගතවූ පසු රෝහලේ වියදමින් එම සිරුර භූමදානය කරනු ලැබේ. මෙවැනි ඛේදනීය කතන්දර රෝහල් සංස්කෘතිය තුළ බහුලව තිබේ. එබැවින් අත පය හයිය තියෙන කාලයේ මිය යෑමේ ක්‍රමවේදයක් මනුෂ්‍යයන්ට හඳුන්වාදීමට කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්නේ නම් මැනවි. සිය ඥාතීන් විසින් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති රෝගීන් 414 දෙනකු අංගොඩ මානසික රෝහලේ සිටින බව දිවයින පුවත්පත පෙරේදා වාර්තා කළහ. ඔවුන් අතර සම්පූර්ණයෙන්ම සුවය ලැබූ කාන්තාවන් 322 ක් ද පිරිමින් 92 ක්ද සිටිති. ඔවුන්ගෙන් ඇතැම් රෝගීන් පහුගිය අවුරුදු 40 ම සිටින්නේ මේ රෝහලේය. මේ රෝගීන් අවුරුදු 35 ත් 90 ත් අතර වයසේ පසුවන අය වෙති. මේ ඇතැම් රෝගියෙක් රෝහලට භාරදී ගිය පසු කිසිදු ඥාතියෙක් ඔවුන් බැලීමට රෝහලේ හතර මායිමකට පැමිණ නැත. ඔවුන්ගේ භාරකරුවන් විසින් දෙනු ලැබ ඇති ලිපින පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවා ව්‍යාජ බවය.

මිනිසුන් වියපත්වීම පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් හඳුනාගත් කාරණා කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ ඔවුන් නඩත්තු කිරීමය. කෙනකුගේ විශ්‍රාම කාලය අවුරුදු 65 ලෙස සලකන්නේ නම් එහි ඊළඟ අවස්ථාව වන්නේ අවුරුදු 65 න් පසු ඒ අයගෙන් වැඩ ගැනීමට නොහැකි බවය. වයස අවුරුදු 65 පසුකළ ලෝකවාසී සියලුම දෙනාට රාජ්‍ය අංශය මගින් විශ්‍රාම වැටුප් ගෙවන්නේ නම් මහලු විය ප්‍රශ්නයක් බවට පත්වන්නේ නැත. එහෙත් රටේ සමස්ත ජනගහනයෙන් 1% ක් සඳහාවත් විශ්‍රාම වැටුප් නොගෙවන රටවල් අප්‍රිකා මහාද්වීපයේ තිබේ. මේ රටවල් රටේ ජනගහනයෙන් 10% ටවත් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවම වශයෙන් තවත් අවුරුදු 25 ක් වත් ගතවනවා ඇත. වසර 2050 වනවිට මෙලොව වැඩිහිටි ජනගහනයෙන් 80% ක්ම පහළ සහ මධ්‍ය ආදායම් ලබන රටවල ජීවත්වනවා ඇත. වැඩිහිටි ජනගහනයක් නඩත්තු කිරීම ශ්‍රී ලංකාව වැනි මධ්‍ය සහ පහළ ආදායම් රටවලට කිසිසේත්ම දැරීමට නොහැක. බෙහෙවින් මහලු වූ බෙලහීන අය මහපාරේ දමා යෑම වැඩිහිටි නිවාසවලට ගෙනගොස් දමා අත්හැර දැමීම් ඔවුන් නොසලකා හැර මියයෑමට සැලැස්වීම වැනි අමානුෂික උපක්‍රම යෙදීමට මේ නිසා එම වැඩිහිටියන්ගේ දූ දරුවන්ට හෝ ඥාතීන්ට සිදුවේ. මේ තත්ත්වය දැන් සිටම ලංකාවේදී බලාගැනීමට පුළුවන. වැඩිහිටි නිවාසවලට ඇරලවන ලද මහලු දෙමාපියෝ තමන් බැලීම සඳහා තම දුව හෝ පුතා එනතුරු අවුරුදු ගණන් බලා සිට ඔවුන් නොදැකම මිය යති. මෙවැනි මරණ පිළිබඳ භාරකරුවන්ට දැන්වීමට නොහැක. මන්ද ඔවුන් වැඩිදෙනා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයන්ය. නිවැරදි ලිපිනයන් දී තිබුණ අවස්ථාවලද එම භාරකරුවෝ එම තැන්වල නොමැත. එක්කෝ ඔවුන් පළාත හැර ගොසිනි. නොඑසේ නම් රට හැර ගොසිනි. මහලු විය යනු ළමා විය හා සමාන අති සංවේදී වකවානුවකි. ඇතැම් විට මේ සංවේදීතාව ළමා වියට වඩා බලගතුය. ළමයාට අතීත මතක නැත. එහෙත් මහල්ලාට අතීත මතක සමුදායක් තිබේ. සිය දරුවන් තමන් ඇසුරේ වැඩුණ හැටිත්, ඔවුන් පාසල් ගිය හැටිත්, අවාහ විවාහ වූ හැටිත් පිළිබඳ මේ විචිත්‍ර මතක මාලාවන් ශෝකී චිත්‍රපට මෙන් මහලු වැඩිහිටියන් ඉදිරිපිට ප්‍රදර්ශනය වීමට පටන්ගනී. මේ තත්ත්වය ජයගැනීම සඳහා අවශ්‍ය කායික සවිය මහලු වියේදී ඇතිවන්නේ නැත. ඒ නිසා මහලු නිවාසයක කාත් කවුරුවත් නැතිව ගතකරන ජීවිතය මීතේන් හෝ ඇමෝනියා වායු නිකුත් කරන ඌරු මඩවළක් මෙන් ගඳ ගසන සුළුය. මෙවැනි වැඩිහිටියන් සතුටු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යුරෝපයේ දියුණු රටවල ඇත. ඒත් ලංකාව හෝ ඉන්දියාව වැනි රටවල තිබෙන දරිද්‍රතාව නිසා එවැනි දේවල් කිරීමට නොහැක. මේ රටේ තිබෙන ඇතැම් වැඩිහිටි නිවාස වැසිකිළි හා සමානව ගඳ ගසයි. ඒවාට විරුද්ධව නැගී සිටීමට මහලු වියට නොහැක. වසර 2050 වනවිට මෙලොව සිටින අවුරුදු 60 ඉක්මවූ ජනගහනය බිලියන 2.1 ඉක්මවීමට නියමිතය. අවුරුදු 80 ඉක්මවූ පිරිස බිලියන භාගයක් පමණ වනු ඇත.

රටකට ජනතාව ප්‍රශ්නයක් වන්නේද, පවුලකට එහි සාමාජිකයන් ප්‍රශ්නයක් වන්නේද එමගින් ඇතිවිය හැකි සමාජ ප්‍රශ්නය මරාගෙන මැරෙන බෝම්බයක් හා සමානය. තමන් භාරගැනීමට කෙනෙක් මෙලොව නැති බව දැනගත් සැණින් මානසික රෝගියාට දෙවන වරටත් පිස්සු හැදේ. මේ පිස්සුවට බෙහෙත් කර හරියන්නේ නැත. එය අපේක්ෂා භංගත්වය සහ කාංසාව මුල්කර ගත් නපුරු තත්ත්වයකි. පවුල විසින් අත්හැර දමන ලද මෙවැනි පුද්ගලයන් නඩත්තු කර බලාගැනීම සඳහා වෙන්වූ විශේෂ ආයතන යුරෝපයේ ඇත. එවැනි ආයතනයක් ආරම්භ කරන ලෙස අපි ආණ්ඩුවෙන් බැගෑපත්ව ඉල්ලමු. නැත්නම් මේ රටේ සියදිවි නසාගැනීම් ප්‍රමාණය තවදුරටත් වැඩිවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment