සුදුස්සන්ට තනතුරු ප්‍රදානය කළ නවම් පොහොය අද

108

විවිධ තනතුරු ලබා ගැනීම සඳහා මනුෂ්‍යයන් කා තුළත් රුචිකත්වයක් ඇත. එසේ වුවද යම් තනතුරක් ලබා ගැනීමට පෙර ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය.

චෝදනා පරූපවාදයන්ගෙන් තොර ආදර්ශ සම්පන්න චරිතයක් වීම මූලික වශයෙන් තිබිය යුතුය. එසේම සතර අගතියෙන් තොරව කටයුතු කිරීමේ හැකියාව නිහතමානී බව ඒ තනතුරට අදාළ විෂය පිළිබඳ අවබෝධය තිබිය යුතුය.

බුදුරජාණන් වහන්සේ ද තනතුරු ප්‍රදානයේදී අත්තනෝමතික ලෙස ඥාති හිතෛෂීභාවයන් සලකා කටයුතු නොකිරීමට වගබලා ගත්හ. සැරියුත් මුගලන් දෙනමටම තනතුරු ප්‍රදානයේදී ඇතැම් ශ්‍රාවකයෝ විරුද්ධ වූහ. එසේ වුවද සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා මේ සඳහා දීර්ඝ කාලයක් පාරමිතා පුරමින් ආ බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත්, ශ්‍රාවක සංඝයාට පැහැදිලි කර දී සැරියුත් මහ රහතන් වහන්සේට හා මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කළේ නවම් පුර පසළොස්වක් පොහෝ දිනකය. මෙම අසිරිමත් සිදුවීම සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දින දිවයින පුරා විවිධ උපහාර පින්කම් සිදු කෙරෙන අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේට උපහාර වශයෙන් දර්ශනීය පෙරහැරක් කොළඹ ප්‍රදේශයේ සංචාරය කිරීම ද වාර්ෂිකව සිදු කෙරේ.

සුදුස්සන්ට තනතුරු ප්‍රදානය පිළිබඳව බුද්ධ කාලයේ සිටම පැවැති බවට ප්‍රධාන සාක්ෂියකි සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් ලෙස පත්කිරීම. මහා ප්‍රඥාවන්තයන් අතර අග තනතුරු සැරියුත් මහරහතන් වහන්සේටත් ඍද්ධිමතුන් අතර අග තනතුරු මුගලන් මහ තෙරුන් වහන්සේටත් පිරිනැමීම සිදු වූයේ නවම් පුර පසළොස්වක් පොහෝ දිනකය.

ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත්හලේ ද නවම් පුර පසළොස්වක් පොහෝ දිනකය. බුදුරදුන් විශාලා මහනුවර චාපාල චේතිය අසල වැඩ සිටින අවස්ථාවේ අග්‍රෝපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ගෙන් ඈත් වනතුරු බලා සිටි වසවත් මරු පරිනිර්වාණයට කාලය එළැඹ ඇති බව බුදුරදුන්ට සිහිපත් කළහ. එවිට බුදුරජාණන් වහන්සේ තව තෙමසකින් පිරිනිවන් පානා බව වදාළ සේක. ආයුසංස්කාරය අත්හැරීම යනුවෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කිරීමයි.

සුදුස්සන්ට තනතුරු ප්‍රදානය කළ නවම් පොහොය අද

කොල්ලුපිටිය පොල් වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරාධිපති ආචාර්ය,
බණ්ඩාරවෙල විමලධම්ම මහා ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment