කන්දකාඩු ප්‍රශ්නය (කුඩුකාරයෝද මනුෂ්‍යයෝ ය)

627

මුළු ලෝකයම ලොකු අවුලක පැටලී ඇත. සාකච්ඡා කිරීමට ඇත්තේ ප්‍රශ්න පමණකි. රතු මුහුදේ යුද්ධය ක්‍රමයෙන් දරුණු වෙමින් පවතී. ගාසා තීරයේ පවතින පලස්තීනය හා ඊශ්‍රායලය අතර යුද්ධයේ සාමුද්‍රික අංශය බවට රතු මුහුද පත්ව තිබේ. රතු මුහුදේ යුද්ධය සැරටම ඇවිලී එයට මහ බලවතුන් ද කෙළින්ම සම්බන්ධ වුණොත් ලංකාවට සිදුවන්නේ කන්න නැතිව මිය යෑමට ය. ඒ ප්‍රශ්නය පැත්තකින් තබමු. මේ රටේ හැම තැනකින්ම බෝසත්වරු ද අනාගත වතෘන්වහන්සේ ද, රහතන් වහන්සේ ද සෘද්ධි බලය ඇතැයි කියන අයද පහළ වෙමින් පවතී. විඥානවාදී ලෝකයට රහතන් වහන්සේ සහ බෝසතාණන් වහන්සේ වැඩියෙන්ම සපයන රට බවට පත්ව ඇත්තේ ලංකාව ය. මෙයින් රටට කිසිම ආදායමක් නැතත් විඥානවාදී පෞද්ගලික අංශයට ආදායම් ගලා එමින් පවතී. කෙසේ වුවද අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නිතර මතුවන වෙනත් ප්‍රශ්නයක් ගැන ය. ඒ වූ කලී කන්දකාඩු ප්‍රශ්නය ය.

ඉකුත් 12 වැනිදා සවස 2.00 ට කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේදී දරුණු ගැටුමක් ඇති විය. කන්දකාඩුවේ සිටින්නේ කුඩු ගසා කරපට් වී නන්නත්තාර වූ තරුණ පිරිස් ය. අපේක්‍ෂා භංගත්වයෙන් පෙළෙන ඔවුන් තුළ ඇති එකම ජීවිත අපේක්‍ෂාව වන්නේ කුඩු ය. ඉකුත් 12 වැනිදා හටගත් ගැටුමෙන් කන්දකාඩුවේ රැඳවියන් 26 දෙනකු තුවාල ලබා වැලිකන්ද සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත්කර තිබුණි. එම ගැටුමෙන් පසු රැඳවියන් 60 දෙනකු කඳවුරෙන් පලාගොස් තිබුණු අතර එයින් 15 ක් අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධියෙන් තුවාල ලැබූ කට්ටිය පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

කන්දකාඩු කඳවුර තුළ මේ වර්ගයේ ගැටුම් නිතර හට ගනී. මෙවැනි කඳවුරු පාලනය කරන්නේ පාර්ශ්ව දෙකක් විසිනි. ඉන් පළමුවැනි පාර්ශ්වය පළපුරුදු සහ බලගතු කුඩු කාරයන් ය. දෙවන පාර්ශ්වය වූ කලී කඳවුරු පාලනය කරන පිරිස ය. කන්දකාඩුවේ තිබෙන ප්‍රමුඛම චෝදනාව වන්නේ පෙර කී බලගතු කණ්ඩායම් දෙක විසින් සාමාන්‍ය කුඩ්ඩන් සූරාකෑමට තැත් කරන බවය. මේ දෙපිරිසම කුඩු රැඳවියන්ගෙන් සල්ලි ඉල්ලති. බීඩි, සුරුට්ටු, අරක්කු, බුලත්විට, බිස්කට්, සීනි, කිරිපිටි සහ මෝල්ටඩ් මිල්ක් වර්ග අල්ලස් වශයෙන් බලාපොරොත්තුවන ඉහත සඳහන් දෙපිරිස ඒවා නුදුන් කල රැඳවියන්ට පහරදීමට පටන් ගනී. රැඳවියන්ට මේ බඩු ලැබෙන්නේ ගෙවල්වලිනි. පෙර කී පාර්ශ්ව දෙක තමන්ට අවශ්‍ය බඩු ලිස්ට් රැඳවියන්ට ලබා දෙති. රැඳවියන් ඒවා ගෙවල්වලට යවා ලිස්ට් එකේ ඇති බඩු කඳවුරට ගෙන්වා දිය යුතුය. නො එසේ නම් ඒ වටිනාකමට මුදල් දිය යුතුය. රැඳවියන් වශයෙන් සිටින කුඩ්ඩන්ගෙන් වැඩි දෙනා අතේ සතේ නැති එදා වේල කන්න නැති දුප්පත් පවුල්වල අය වෙති. මේ මිනිස්සුන්ට මෝල්ටඩ් මිල්ක් ලබා ගැනීමට තබා සියදිවි නසා ගැනීමට වස බෝතලයක් ගැනීමටවත් සල්ලි නැත. එහෙත් තම පවුල්වල සාමාජිකයන් කන්දකාඩුවේ කුඩු නායකයන් සහ නිලධාරීන්ගෙන් ගුටි කන බව දැනගත් විට ඔවුන් බේරා ගැනීම සඳහා කෙසේ හෝ මුදල් යැවීමට සිදුවෙයි. පුද්ගලික මට්ටමින් කඳවුරේ නිලධාරීන්ට කතා කර අනුකම්පාව ලබා ගැනීමට ද බැරිය. එසේ කතා කළ විට කඳවුරේ සිටින නිලධාරීහු මේ දුප්පත් පවුල්වල කාන්තාවන් සමඟ නිදා ගැනීමට සූදානම් වෙති. එක්කෝ මුදල් ලබා ගැනීම සඳහා කෙළින්ම ඒ ගෙවල් හොයාගෙන යති. කන්දකාඩුව බාර නිලධාරිතුමා මේ ප්‍රශ්න දන්නා බවක් නොහැඟේ. මීට පෙර ද මේ සම්බන්ධයෙන් ඔහුට කතා කරනු ලැබූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත්, තමන් නොදැන ඒ කිසිවක් සිදු වීමට නොහැකි බවත් ය. එතුමාගේ පැත්තෙන් එතුමා හරි. පරිහානිගත නිලධාරීන් සහ දුෂ්ට කුඩු නායකයන් පිළිබඳ හරියටම දැන ගැනීමට නම් කන්දකාඩු ලොක්කා රැඳවියන් සේ අන්දවනු ලැබූ ඔත්තුකාරයන් කිහිපදෙනෙක් කඳවුරට බැස්සවිය යුතුය. සාමාන්‍යයෙන් දියුණු රටවල මත්ද්‍රව්‍ය රැඳවුම් කඳවුරුවල මෙන්ම සිර ගෙවල්වල ද මෙවැනි ඔත්තුකාරයෝ සිටිති. ඔවුහු දූෂිත නිලධාරීන් සහ දූෂිත හිරකරුවන් ගැන හරියටම ඔත්තුව මහ මුලාදෑනිට ලබා දෙති. එවිට මහමුලාදෑනීහු නිලධාරීන්ගේ වැඩ තහනම් කරති. කඳවුර තුළ කල්ලි හදාගෙන ගේම් ගහන කුඩුකාරයන් අත්අඩංගුවට ගෙන අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර සඳහා වෙනත් තැන්වලට රැගෙන යති.

කන්දකාඩුවේ රැඳවියන්ගේ ප්‍රමුඛතම ඉල්ලීම වන්නේ තමන් වැලිකඩ හිරගෙදරට යවන ලෙස ය. වැලිකඩ හිරගෙදර යනු දිව්‍යලෝකයක් බව ඔවුහු හිතා ඉන්නවා ඇති. එහෙත් වැලිකඩ හිරගෙදර යනු සතර අපායෙන් නරකම අපාය ය. කන්දකාඩු රැඳවුම් කඳවුර යනු වැලිකඩ හිරගෙදර පුංචි සාම්පලයකි. එහෙත් කුඩුකාරයන්ට මේ බවක් සිතන්නට තරම් දියුණු මොළයක් නැත. වැලිකඩ හිරගෙදර සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් පවතී. තව ටික කාලයක් යන විට මේ හිරගෙදර තුළ සිටින සිරකරුවන්ට වැතිර නිදා ගැනීමට ඉඩක් නොලැබෙන අතර ඔවුන්ට නිදා ගැනීමට සිදුවනු ඇත්තේ හිටගෙනය. අනෙක වැලිකඩ හිරගෙදර විශාල වශයෙන් බෝවන රෝග තිබේ. සමාජ රෝගීන්, සමලිංගිකයෝ ද, විවිධ අපරාධකාරයෝ ද මේ හිරගෙදර තුළ බහුල ය. කන්දකාඩුවේ සිටින්නේ කුඩුකාරයන් පමණි. එය තුළ මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හොරුන් සහ වෙනත් වර්ගවල අපරාධකරුවන් නැත. ඒ නිසා හිරගෙදරට තමන් යවන ලෙස ඉල්ලමින් කන්දකාඩු රැඳවියන් කරන්නේ මෝඩ වැඩකි. මෙවැනි රැඳවියන් හිර ගෙදරට යැව්වොත් දෙතුන් දිනක් තුළදී ඔවුන් කන්දකාඩුව පිහිටි දිසාවට පවා වන්දනාමාන කරනවා ඇත. කන්දකාඩුවේ ප්‍රශ්නය ඉක්මනින් විසඳිය යුතුය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය. කුඩුකාරයෝද මනුෂ්‍යයෝ ය. මෙතැනදී අමනුෂ්‍යයා වන්නේ කුඩු ගහන එකා නොව කුඩු ගෙන්වා විකුණන එකා ය.

advertistmentadvertistment
advertistmentadvertistment