අවුරුදු කන්න ඩොලර් මිලියන 530ක භාණ්ඩ ගෙන්වයි

164

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකේ දී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 530.9ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස දෙකේ දී මෙම පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැයකොට ඇත්තේ ඩොලර් මිලියන 420.7කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) මුල් මාස දෙකේ දී පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැයකොට ඇති මුදල සියයට 26.2කින් ඉහළ ගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

මෙම වර්ෂයේ මුල් මාස දෙකේ දී පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62.8ක මුදලක් වැයකොට ඇත. කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 30.5කි. සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 61.6ක මුදලක් සහ මුහුදු ආහාර සඳහා ඩොලර් මිලියන 19.6ක මුදලක් වැය කර තිබුණි. කුළුබඩු සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 19.9කි. ධාන්‍ය හා ඇඹරුම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 30.5ක මුදලක් වැය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment