ජනාධිපතිවරණ සූදානමේ උණුසුම දවසින් දවස ඉහළ යමින් තිබේ. දේශපාලන වේදිකාවල අවලාද, අපවාද පමණක් නොව මුසාවාද කඳු ගසන ආකාරයක්ද පෙනේ. ඇත්තටම වඩා නැත්තය. ගොරකා දඩමස් කිරීමත් දඩමස් ගොරකා කිරීමත් තරගයට සිදුවෙයි. මෙවර දේශපාලන කරළියේ වෙනදා සිටින කලාකරුවන් පසුබස්සවමින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉදිරියට පැමිණ සිටීමද විශේෂ ප්‍රවණතාවයකි. ස.ජ.බ. හා ජා.ජ.බ. වේදිකාවල ඊට අමතරව දැවැන්ත කාන්තා සහභාගිත්වයක්ද දැකගත හැකිය. රාජපක්‍ෂවරුන් අත නොහැර පැමිණි විශ්‍රාමික උසස් හමුදා නිලධාරීන් නිසා ස.ජ.බය අර්බුදයකටද මැදිවී සිටියි. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ දේශපාලන උද්යෝගය කුමක් නිසාද යන අතුරු ප්‍රශ්නයද සමහරු මතු කරති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් වැඩිබරක් දාන්නේ රටේ ආර්ථික අභියෝගවලටය. දින කීපයකට පෙරත් ජනාධිපති රනිල් තරුණයන් අමතා ප්‍රකාශ කළේ දේශපාලන පොරොන්දු නිසා රටත් ජනතාවත් විපතට වැටුණු බවය. රටේ ආර්ථිකය පිළිබඳ සත්‍යය වසන් කොට දේශපාලන පොරොන්දු ලබාදීමෙන් සිදුවූ විනාශය යළිත් සිදුකිරීමට තමන්ට අවශ්‍ය නැති බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. ඒ ඉකුත් 12 වැනිදා කොළඹ තැප්‍රොබේන් හෝටලයේදී පැවැත්වුණු තරුණ හමුවකදීය.

ජනාධිපතිවරයා කුමක් පැවසුවත් ඔහු අවධාරණය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් හෝ සැලසුමක් ඔහුට හෝ ඔහුගේ දේශපාලන පසමිතරන් වන ස.ජ.බට හෝ ජා.ජ.බයට හෝ තිබේදැයි පැහැදිලි නැත. අපට පෙනෙන ආකාරයට නම් තවමත් මෙරටේ බහුතර ජන කොටසක් මේ ආර්ථික පරිහානියේ ගොදුරු හා වින්දිතයන් බවට පත්ව සිටිති. මධ්‍යම පන්තිය ලෙස හැන්ඳිවුණු සමාජ ස්ථරයද බිඳ වැටෙමින් තිබේ. රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ තත්ත්වයද මේ ආර්ථික පරිහානිය විසින් අන්ත අර්බුදයකට හසුකරනු ලැබ ඇත. අඩුආදායම් ලබන ජන කොටස් පමණක් නොව ගොවියන්, සුළු ව්‍යාපාරිකයන් මෙන්ම එදිනෙදා වේල පිරිමසා ගැනීමට කුලියක් මලියක් කර කීයක් හෝ ලබාගන්නා ජනතාවද අන්ත දුප්පත්කමින් බැට කන බව රහසක් නොවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පමණක් නොව ඒවායේ සිසු ප්‍රජාවද වීථි බැස සිටින්නේ ආර්ථික යුක්තියක් ඉල්ලමින්ය.

ආණ්ඩුවත්, විපක්‍ෂවලත් මුළු අවධානයම පාහේ යොමුව තිබෙන්නේ එළඹෙන කවර හෝ මැතිවරණයකදී ජය ලබාගැනීමටය. එහෙත් මේ මොහොත වනවිට රටේ ප්‍රමුඛ ප්‍රශ්නයක් වී තිබෙන්නේ ගොවියා හා පාරිභෝගිකයා වෙත අවම වශයෙන් අදාළ ඇමැතිවරුන්ගේ හෝ අවධානය යොමු නොවීමය.

සැබෑව - බොරුව හා ගෝඨාභයගේ කුමන්ත්‍රණ කතාව!

ගොවියන්ගේ වී ටික මිලදී ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැති බව අදාළ ඇමැතිවරයාගේම කතාවලින් පැහැදිලිවේ. වී මිල පාලනය වී මෝල් හිමියන්ට වුවමනා පරිදි සිදුවන්නකි. එළඹෙන අවුරුදු සමය වන විට සහල් හිඟයක් විශේෂයෙන් කීරි සම්බා හිඟයක් ඇතිවන බව මාධ්‍යවලද වාර්තා විය. ස.ජ.බයේ කබීර් හෂීම්ට අනුව නම් මේ හාල් මාෆියාව මැඬලීමට 2004 ආහාර ඇමැතිව සිටි අනුර කුමාරට බැරිවී තිබේ. එසේ කිසිවක් නොකළ අනුර අද ඒ ගැන කතා කරන බවද ඔහුගේ විවේචනයයි. මෙහිදී අපටද නැගිය හැකි ප්‍රශ්නයක් තිබේ. එනම් 2004 න් පසු මෙරටේ කෘෂිකර්ම ඇමැතිවරු කී දෙනෙක් සිටියෝද? කබීර් හෂීම් ද සිටි යහපාලන ආණ්ඩුවද අනතුරුව තිබුණු ගෝඨාභයගේ පාලන සමයද මේ හාල් මාෆියාව දුරලීමට ගත් පියවරක් තිබේද?

මේ රටේ දේශපාලනයට පදනම් වී ඇත්තේ බොරුව හා රැවටිල්ලය. 1948 සිට 1970 දක්වා තරමක් අඩුවෙන් තිබුණු බොරුව යළිත් විචිත්‍ර ලෙස සමාජ ගත කිරීමේ නායකයා ලෙස ජේ. ආර්. ජයවර්ධන ඉදිරියෙන්ම සිටියි. හැත්තෑවේ සමගි පෙරමුණ බලයට ගෙන ඒමට සිරිමාවන් රටට පැවසුවේ හඳෙන් හාල් ගෙන එන බොරුවකි. ඒ ඇසූ අනුගාමිකයෝ “මැතිනි අපිට කියනව නම් පිදුරු උනත් අපි කන්නම්’ යැයි කීමට එඩිතර වූහ. 77 දී බලය ඉල්ලූ ජේ. ආර්. ජයවර්ධන කීවේ පොකුරු බොරුය. ධර්මිෂ්ඨ සමාජයක් හදා ධාන්‍ය රාත්තල් අට බැගින් දෙන බව ඒ පොකුරු බොරුවය. එහෙත් 1977 බලය ලබාගත් ජයවර්ධනගේ ධර්මිෂ්ඨ පාලනය මුලින්ම කළේ සිය දේශපාලන ප්‍රතිවාදීන්ගේ ගෙවල්, දේපළ ගිනිතබා විනාශ කිරීමය. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජය විසින් දෙන ලද කුප්‍රකට ආදර්ශ අතර වැඩවර්ජකයන් ගෙදර යැවීම, දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම, ඡන්ද මංකොල්ල, යාපනයේ පුස්තකාලය ගිනි තැබීම හා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පහරදීම වඩාත් කැපී පෙනෙන කීපයකි.

ජ.වි.පෙ පිළිබඳව කෙබඳු විවේචන තිබුණත් 83 කළු ජූලියත් ඒ පිට දමා ජ.වි.පෙ ඇතුළු අනෙක් වමේ පක්‍ෂ කීපයකුත් තහනම් කළ ජයවර්ධන යුගය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස් මුහුණු පැළඳගත් වියරු ඒකාධිපතිත්වයක් රටට ප්‍රදර්ශනය කළ බවට අදත් චෝදනා නැගෙයි. ජයවර්ධනගෙන් පසු බලයට පැමිණි ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල මෙන්ම ගෝඨාභයද ජනතාවට දුන් පොරොන්දු, පැවසූ බොරු කොපමණදැයි වෙනම ලිපි මාලාවකින් දැක්විය යුතු බැරෑරුම් කාර්යයකි. දැන් රනිල් ජනාධිපති ලෙස මේ සියලුම මහ බොරුකාරයන් පරාජය කරන්නෙක් දැයි කීමට වේලාසන වැඩිය. ඒ කුමක් වුවත් වත්මන් සමාජයේ බහුතරයක් මේ බොරුකාරයනුත් ඔවුන්ගේ කියුම් කෙරුම් ගැනත් හොඳ අවබෝධයකින් සිටින බවද කිව යුතුය. සත්තකින්ම තවමත් මෙරටේ දේශපාලනයේදී බලය ලබාගැනීමේ උපක්‍රමය වී තිබෙන්නේද බොරුවය. බොහෝවිට ඒ දේශපාලන වේදිකාවල ඇසෙන බොරු අරාබි නිසොල්ලාසයේ එන බොරු කතා වලටත් වඩා විචිත්‍රය.

පසුගියදා සිය ජනාධිපතිවරණ සටන ඇරඹූ ජනාධිපති රනිල්ගේ කුලියාපිටිය වේදිකාවේ පසුබිමෙහි සඳහන් වූයේ “සැබෑව” යන වදනයි. එහෙත් රනිල් වෙනුවෙන් බොරු කියන හා බොරු කරන අනුගාමිකයෝ නොසිටිත්ද? රනිල්ගේ අනුගාමිකයන් පමණක් නොව පොහොට්ටුවේ නිලබල අනුග්‍රහයෙන්ද සමාජගතවූ විශාල බොරුවක් වූයේ මේ රට බිඳ වැටෙන මොහොතේ එය භාර ගැනීමට සජිත් හා අනුර කුමාර පසු බසිද්දී ඒ සඳහා අභීතව ඉදිරිපත් වූයේ රනිල් බවට විශාල මතවාදයක් ජනගත කිරීමය. කුලියාපිටියේදී ජනාධිපති රනිල් ප්‍රථම වරට ප්‍රකාශ කළේ රට භාර ගැනීමට එදා සජිත් බෑ කියූ බවත් අනුරගෙන් එබදු ඉල්ලීමක් නොකළ බවය. එහෙත් එ.ජා.ප හා පොහොට්ටු පක්‍ෂවල දෙගොල්ලෝම මේ බොරුව කටේ දිවේ නොගෑවී පැවසීමට තරම් අලජ්ජී වූහ. ඇත්තටම 2022 ගාලු මුවදොර විරෝධතාව නිසා උතුර – දකුණ මාරු වන තරම් දේශපාලන අවුලක හිරවී සිටිද්දී ගෝඨාභයගේ තේරීම වූයේ රනිල් බව ඔහු විසින්ම ලියන ලද “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති කෘතියෙහි පැහැදිලිවම දක්වා තිබේ. එහිදී ගෝඨාභය අවධාරණය කර ඇත්තේ “කිසිදු පැකිලීමකින් තොරව ඔහු එම ධුරය භාරගත්තේය.” යනුවෙනි. එසේම සජිත් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව කියමිනි. ඉතින් මෙවන් මුසාවාදයක් සමාජයට මුදාහැර තිබියදී වුවද ජනාධිපති රනිල් ඒ පිළිබඳ වචන මාත්‍රයක් හෝ කියා තිබුණේද නැත. එසේම සජිත්ලාට “කීචොක්” කිරීමටද ඔහු පසුබට නොවීය. එපමණක් නොව විමල් වීරවංශ විසින් ලියන ලද “නවය සැඟවුණු කතාව” කෘතියෙහි දක්වා ඇත්තේ “රනිල් අගමැතිවීමෙන් පසු ජනාධිපති ධුරය ලබාගැනීමේ අරමුණකින් සිටි බවය.

“රනිල් වික්‍රමසිංහ නම්වූ පත්කළ මන්ත්‍රීවරයා, අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණු පසු ඔහුගේ සමීප මිතුරකු ඔහුගෙන් විමසා ඇත්තේ” ඔබ අගමැති කරන්නේ රාජපක්‍ෂවරු මේ කලබල තත්ත්වය නැති කරන්න. ඒ දේ කරගත්තාට පස්සෙ ඔබව ඔවුන් ඉවත් කරාවි. ඔබට ඒ බව තේරෙන්නේ නැද්ද? යනුවෙනි. එවිට අග්‍රාමාත්‍ය රනිල් තම මිතුරාට පවසා ඇත්තේ ඊට කලින් නම්බර් වන් වෙන්න මම දැනගන්න ඕන” කියාය.”

(නවය සැඟවුණු කතාව පිටුව-58)

සැබෑව - බොරුව හා ගෝඨාභයගේ කුමන්ත්‍රණ කතාව!

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් ප්‍රතිචාරයක් දක්වා තිබේදැයි අපට වාර්තා වී නැත. එහෙත් මැයි 9 දා ගාලු මුවදොර අරගල භූමියට ගොස් සජිත් හා අනුර විරෝධයට ලක්ව පැන යද්දී තමන් ෂැංග්‍රිලා හෝටලයේ සිටි බවද රනිල් කුලියාපිටිය “සැබෑව” එජාප වේදිකාවේ උත්ප්‍රාසයෙන් යුතුව පවසා තිබුණි. මෙහි ඇත්ත, බොරුව මෙන්ම අතිශයෝක්තියද කෙබඳු ප්‍රමාණයකින් මිශ්‍රව තිබුණි දැයි දන්නේ ජනාධිපති රනිල් පමණි. එහෙත් අපට පෙනෙන පරිදි මෙහිදී සිදුව ඇත්තේ සත්‍ය සඟවා තැබිය නොහැකිය යන බොදු උපදේශය තහවුරු වීමය. දේශපාලනයේ පමණක් නොව රාජ්‍ය සේවය ඇතුළු සමාජයේ බොහෝ ක්‍ෂේත්‍රවල රජයන්නේ බොරුව බවද අපි දනිමු.

කෙසේ හෝ මේ දේශපාලන මුසාවාද ජන රැවටිලි ගැන කතා කරද්දී මේ දිනවල සමාජ – දේශපාලන අංශවල දැඩි අවධානයට ලක්වූ කෘතියක් පිළිබඳ අලුත් සංවාදයක්ද මතුවී තිබේ. ඒ මීට පෙරද සඳහන් කළ හිටපු ජනාධිපතිවරයකුද වන ගෝඨාභය රාජපක්‍ෂ විසින් ලියන ලද “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති කෘතියයි. මේ වන විටත් උණුකැවුම් මෙන් විකිණී ඇති ඒ පොත පිළිබඳ විවිධ කියවීම් හා අර්ථ දැක්වීම්ද වේ. ගෝඨාගේ කෘතිය ඇත්ත හා බොරුව මුසු එකක් යැයි සමහරු චෝදනා කරති. තවත් සමහරුන්ට අනුව එහිදී බොහෝ සත්‍ය තොරතුරු හා සිදුවීම් පොතට ඇතුළත් වී නැත. ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍යයට පවසා තිබුණේද ඇතැම් සිදුවීම් එහි ඇතුළත්ව නොමැති බවය. මේ ඒ පිළිබඳව සෝභිත හිමියන් විසින් දක්වන ලද අදහස්ය.

“ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට පාලනය කරන කාලයේ ජනතාවට දැඩි අපහසුතා ඇතිවුණා. ඒ නිසා ජනතාව එතුමාට විරෝධතා දක්වමින් කොළඹට එකතු වුණා. භික්‍ෂූන් වහන්සේ නමක් විදිහට මම විතරක් නෙවෙයි එම ස්ථානයට ගියේ. රටේ පිළිගත් භික්‍ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් එම ස්ථානයට වැඩම කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පෞද්ගලික විරෝධයක් අපේ හිත්වල නෑ. එතුමාගේ ක්‍රමවේදයටයි අපේ විරෝධය මතුවුණේ. ඒ නිසා තමයි එතුමාට කටුනායක ගුවන් තොටුපොළෙන් බැහැරවීමට පහසුකම් සලස්වන්න මම ඉදිරිපත් වුණේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පමණක් නෙවෙයි, සුගීස්වර බණ්ඩාර මහතා වගේම එතුමාගේ ළඟම කාර්ය මණ්ඩලයේ අයත් මේ තොරතුරු දන්නවා.

මෙයට අමතරව සෝභිත හිමියන් සඳහන් කර තිබුණේ මහජනයාගේ අනුකම්පාව දිනා ගන්න දරණ උත්සාහය බොළඳ බවත් මෙම කෘතිය එළිඹෙන මැතිවරණ දෙස බලාගෙන ලියන්නට ඇති බවත්ය.

ඒවාට පිළිතුරු දිය යුත්තේ ගෝඨාභයයි.

කුමක් වුවත් ගෝඨාභය සිය මතකය පෙළ ගස්වා ඇත්තේ නම් බොහොම ප්‍රවේශම් සහිතවය. ගාලු මුවදොර විරෝධතාව දෙස උපේක්‍ෂාවෙන් බැලීමට ඔහුට දුෂ්කර විය හැකිය. එහෙත් ඒ සිදුවීම් මාලාව පසුපස කුමන්ත්‍රණයක් තිබුණු බවට ඔහු විසින් කරනු ලබන චෝදනාව සාක්‍ෂි සහගතව ඉදිරිපත් වී නැත. දේශපාලනය යනු නොදැන කළ හැකි දෙයක් පමණක් නොව අපරීක්‍ෂාකාරීව හා අවිචාරයෙන් කළ හැකි දෙයක්ද නොවන බව මෙම කෘතියෙහි යටි පෙළ අපට පෙන්වා දෙයි. මෙම අරගලය අවසන් වූ ආකාරයත් එහි පාලනය අතට ගත් විවිධ කණ්ඩායම් පිළිබඳවත් මෙයට වඩා විස්තර හා තොරතුරු දැක්වීමටද තිබුණි.

අපට පෙනෙන ආකාරයට නම් මෙම විරෝධතාව මතුවූයේ පීඩනයට ලක්වූ ජනතාවගේ වේදනාකාරී අත්දැකීම් නිසාය. ගෝඨාභය එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත්කිරීම නිසා මෙරටේ බහුතර ජනතාවගේ වීරයකු බවට පත්ව සිටි අතර ඔහුගේ ජනවරම තුළ පිළිබිඹු වූයේද සිංහල බෞද්ධ ප්‍රසාදයේ උත්කර්ෂය බව නිසැකය. උතුරු-නැගෙනහිර පළාත්වල ජනමතය කුමක්ද යන්න ඔහු නිවැරදිව වටහා ගෙන තිබුණි. එසේ වුවද සිය දේශපාලන දැනුම හා අවබෝධය ඉතා අඩු මට්ටමක තිබීම නිසා ඔහුගේ බොහෝ තීන්දු තීරණ පමණක් නොව ක්‍රියාකාරකම්ද අවුල් වූ බව ඔහුට දැනී ඇත. ක්‍රමයේ වෙනසක් කළ යුතුය යන අදිටන ඔහු තුළ වුවත් එය සාර්ථක නොවූයේද දේශපාලන විඥානයකින් තොර වූ නිසා බව ඉතා පැහැදිලිය.

ඔහු තමන්ට වැරදුනු තැන් හා තමන් විසින් ගන්නා ලද හිතුවක්කාර තීන්දු පිළිබඳව හෝ මෙහි ප්‍රමාණවත් කරුණු දක්වා නැත. කොටින්ම ඔහු මේ කෘතිය ලියන විටදී පවා තමන්ගේ භූමිකාව පිළිබඳ ගැඹුරු විවේචනයක් ඔහුට නැති බව පෙනුණි. තමන්ගේ දෙටු සහෝදරයන් සමඟ හෝ මේ දේශපාලනය සම්බන්ධයෙන් ඔහුට විධිමත් සංවාදයක් තිබී නැත. තමන් යටතේ පැවැති ජාතික ආරක්‍ෂාව ගැනවත් ඔහුට ස්ථාවර හා නිවැරදි තොරතුරු ලැබුණිද යන්නත් සැක සහිතය.

දසක කීපයක් රටක් අරාජික කළ ත්‍රස්තවාදය මර්දනය කිරීමට විධිමත්ව සැලසුම් කළ නිලධාරියකුගේ අත්දැකීම් ඔහු සතුව තිබුණි. එහෙත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට ඔහු අසමත්වීම යනු දෛවයේ සරදමක් වැන්න. ඇත්තටම තම දුර්වලතා හා සැලසුම් අසාර්ථක වූයේ බටහිර හෝ වෙනත් ගුප්ත බලවේගයක් නිසා යැයි ඔහු නිගමනය කරන්නේ හේතු සාධක නොමැතිවය. අධිෂ්ඨානශීලී විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශව තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට විවිධ අනුග්‍රහ දැක්වූ බවද ඔහු කියයි. (186 වැනි පිටුව) එහෙත් විධායක සතු බලය හා දේශපාලන විශේෂඥ උපදෙස් ලබාගෙන ඒවාට එරෙහිව පියවරක් ගැනීමට ඔහුට නොහැකිවී තිබේ. තමන් හමුදා නිලධාරියකු වීමත් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමත් නිසා ජනතාව තමන් පිළිබඳ සදොස් මතවාද හා ආකල්ප දැරූ බවද ඔහු කියන්නේ සමාවට කරුණක් ලෙසය. දේශපාලන විවේචන හා දේශපාලන භූමිය අවි හරඹ කෙරෙන ස්ථානයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය සහිත එකක් බවද තේරුම් ගැනීමට දේශපාලන විද්‍යාව හැදෑරිය යුතු නැත.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස කීර්තිමත් වාර්තාවකට හිමිකම් කියන සිරිමාවෝ බණ්ඩාරනායකගේ දේශපාලන භූමිය මොනතරම් විචිත්‍රද? හරවත්ද? ගාම්භීරද? ඇය කැරැල්ලක් මැඬලූ නායිකාවකි. මෙරටේ විසූ කීර්තිමත් වාමාංශික නායකයන් සමඟ රාජ්‍ය පාලනයක් ගෙන ගිය රාජ්‍ය නායිකාවකි. නොබැඳි සමුළුවේ නායකත්වයද ඉසිලුවාය. ඒ සියල්ල ඇය සිය දේශපාලන විඥානයෙන් හා විචක්ෂණ භාවයෙන් අත්පත් කරගත් දේවල්ය. සමහරුන් මුලදී ඇයට කියා සිටියේ ගෙදරට වී දරුවන් බලා ගන්නා ලෙසය. එහෙත් ඇය ආසියාවටම ආඩම්බර විය හැකි දේශපාලන භූමිකාවක හිමිකාරියකි. ඇයට විවේචන තිබේ. ඇගේ දුර්වලතා නොපැසුනු ප්‍රතිචාරද තිබුණි. ගෝඨාභය යනු ඇයට වඩා වෙනස් හා සාධනීය දේශපාලන පවුලක සාමාජිකයෙකි. එහෙත් ඔහුට සිදුවූයේ කුමක්ද? වැදුරනේ කොතනද? තම අසාර්ථකත්වය හෝ වෙනත් දුබලතාවක් නිසා හෝ ඔහුගේ වීර භූමිකාව ජනතාවගේ විරෝධයට ලක්විය. ඒ විරෝධය තුළම අවස්ථාවාදීන්, දේශපාලන සතුරන් හෝ වෙනත් ඕනෑම දුෂ්ට බලවේගයක් ඇතුල්වීම වෙනම කරුණකි. එහෙත් එසේ වූයේ ඇයිදැයි තවමත් ඔහු වටහාගෙන නැද්ද? කුමක් වුවත් වෙනසක් කිරීමට, දේශපාලනයට නැවුම් ජීවියක් කැවීමට ඔහු ගත් ප්‍රයත්නය ව්‍යර්ථ වී තිබේ. එය තවත් විමසා බලා පසක් කරගත යුතු සත්‍යයකි.

කුමක් වුවත් වෙනස යනු අභියෝගයකි. ප්‍රකට කවියකු වූ මහගමසේකර එය පිරිසිද දත් කලාකරුවෙකි. මේ ඔහු “මක්නිසාද යත්” කාව්‍ය සංග්‍රහයෙහි ඒ සත්‍යය අපට පෙන්වා දුන් ආකාරයයි.

“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි’යි
කවියා සමාජයට කීය.
එබසට සමාජයට සිනා ගියේය.
මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමියි
සමාජය කවියාට කීය”

අපි ගෝඨාභයට සිනා නොවන්නෙමු.
එසේම ඔහුට එකඟ වීමටද නොහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment