සින්දුවට එකම වචනයයි – තනි වචනයක් ගීතයට මුසු කළ ගායක ගායිකාවෝ

371

එය ඩබ්ලිව්. ඩී. මකුලොලුව යන සුප්‍රකට සංගීතවේදියා විසින් 1967 වර්ෂයේ පවත්වන ලද වැඩමුළුවකි. ඒ සඳහා වැඩි වශයෙන් සහභාගි වූයේ රජයේ සංගීත ගුරුවරුන්ය. එහෙත් රජයේ නැටුම් ගුරුවරයෙකු ලෙස සේවය කළ රෝහණ බැද්දගේ ද ඒ අතර විය. වැඩමුළුවේදී ගායනා කිරීමට ගීතයක් රචනා කර තනුවක් යොදාගෙන සිටි රෝහණ බැද්දගේට එම ගීතයේ තනි වචනයක් ගායනා කිරීමට සහායකයකු අවශ්‍ය වී තිබිණි. එම වැඩමුළුවට සහභාගි වී සිටි සංගීත ගුරුවරයකු වූ ටී. ඇම්. ජයරත්න එකී තනි වචනය ගායනා කිරීමට එකඟ විය. එම ගීතය වූයේ අදටත් ජනප්‍රිය ගීතයක් වන “මගෙ රත්තරන් හෙලේනා” ය. එදා ටී. ඇම්. ජයරත්න ගායනා කළ තනි වචනය වූයේ “කවුද” යන්නයි.

ඊට වසර 5කට පමණ පසුව රෝහණ බැද්දගේ සහ ටී. ඇම්. ජයරත්න ජනප්‍රිය ගායක දෙපළක් වූහ. 1972 වර්ෂය පමණ වන විට ඔවුන්ට ගුවන් විදුලි සංස්ථාව ඉතා හුරුපුරුදු නිවහනක් බවට පත් විය.

“දවසක් මම ගුවන්විදුලි සංස්ථාවට ගියා. ඒ ගමන් ශබ්දාගාරයකට ඇතුළු වුණා. ඔන්න එතකොට මගෙ රත්තරන් හෙලේනා ගීතය තැටිගත කරන්න සූදානම් වෙනවා. මාව දැක්ක ගමන් රෝහණ බැද්දගේ කිව්වා ආපු එකේ කවුද කියන වචනය කියලාම යන්න කියලා. ඉතින් මමත් වැඩමුළුවේදී වගේම එදත් කවුද කියලා කිව්වා. “ යනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී ටී. ඇම්. ජයරත්න පැවසුවේ අතීතාවර්ජනයක යෙදෙමිනි.

ගුවන්විදුලි සංස්ථාවේ තැටිගත කළ මගෙ රත්තරන් හෙලේනා ගීතයට ටී. ඇම්. ජයරත්න ගායකයා සම්බන්ධ වුවද එම ගීතය කැසට්පටයකට යොදා ගැනීමේදී ඊට දායක වී තිබෙන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි ගායකයාය. ටී. ඇම්. ජයරත්න නොවේ.

මේ ආකාරයට ගීයකට එක් වචනයකින් හඬ මුසු කළ ජනප්‍රිය ගායක ගායිකාවෝ තවත් සිටිති. මිය ගොස් වසර 30කටත් වැඩි කාලයක් ගෙවුණද අදටත් ජනප්‍රියත්වයේ වැජඹෙන එච්. ආර්. ජෝතිපාල ගායකයාද ගීතයක තනි වචනයක් ගායනා කර තිබේ. ඒ වසන්තා සන්දනායක ගැයූ “මහවැලි නදියේ අසබඩ සැදියේ…” ගීතයෙහි ඇතුළත් “තොටියෝ “යන තනි පදයයි. බවුජි බව්‍රා හින්දි චිත්‍රපටයේ ගීතයක තනුවට නිර්මාණය වූ මෙම ගීතය රචනා කර තිබෙන්නේ සරත් විමලවීරයන් ය. සංගීතය ඩී. ඩී. වින්සන්ට් පෙරේරාගෙනි.

ලංකාවේ අසහාය ගායිකාව ලෙස විරුදාවලිය ලත් ආචාර්ය නන්දා මාලනී ගායන ශිල්පිනියද එක් ගීතයක වචන දෙකක් පමණක් ගායනා කර ඇත. ඒ මීට අවුරුදු පනස් ගණනකට පෙරදීය. ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ගායනා කළ” ටිකිරි ළඳේ මීපැණි බිඳේ…” ගීතයේ “ඔය ඇත්තද” යනුවෙන් පවසා තිබෙන්නේ නන්දා මාලනිය විසිනි.

“මට මතක හැටියට ක්‍රිස්ටි ලෙනාඩ්ගේ ඔය සින්දුවට මම සම්බන්ධ වුණේ සරස්වති මණ්ඩපයට ගිය කාලයේදී. අපිට ඒ කාලයේ සින්දුවක වචනයක් ගායනා කරන්න ලැබෙනවා කියන්නෙත් හරි ලොකු දෙයක්.” යනුවෙන් සඳහන් කළේ ආචාර්ය නන්දා මාලනීය

එදා ඉමහත් ගර්වයෙන් “ඔය ඇත්තද” යන වදන් ද්විත්වය ගායනා කරන්නට පෙලඹුණු නන්දා මාලනිය අද ලංකාවේ විශිෂ්ටතම ගායිකාව වනු ඇතැයි එදා ඈ සිහිනෙනුදු නොසිතන්නට ඇත.

එවකට ජනප්‍රිය ගායකයකුව සිටි වින්සන්ට් පෝල් පීරීස් පවා ගීතයක තනි වචනයක් ගායනා කර ඇත. ඒ, එච්. ආර්. ජෝතිපාල ගායන ශිල්පියා විසින් ගැයූ “ මගෙ ආදරීට සම්පත සැප සතුට සදන්නම්…” ගීතයේ වින්සන්ට් පෝල් පීරිස් ගායනා කරන්නේ “හෝ…හෝ…හෝ..” යන වචනය පමණි.

සිංහල සිනමාවේ ආරම්භක යුගයේ දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂවරුන්ට කාර්ය බහුල යුගයක් උදා වූවේ සිංහල චිත්‍රපට ගීතවල සංගීතය ඔවුන් අතින් හැඩ වුණ බැවිනි. ඒ අතරින් එස්. දක්ෂිණ මූර්ති එක් අයෙකි. එස්. දක්ෂිණ මූර්ති සංගීතවත් කළ දුප්පතාගේ දුක චිත්‍රපටයේ ලතා වල්පොල ගැයූ “ ඉඟි පාලා කුල්මත් වීලා මා පසු එන්නේ ඇයි” ගීතයේ පසුබිමෙන් ඇසෙන හා..හා..හෝ..හෝ.. හඬ එස්. දක්ෂිණ මූර්තිගේය. මෙම ගීතයේ තනුව හවුස් නම්බර් 44 හින්දි චිත්‍රපටයේ ගීතයක තනුවකට අනුව නිර්මාණය කරන ලද්දකි. තනුවට ගැළපෙන ආකාරයට පද රචනා කරන ලද්දේ හියුගෝ ප්‍රනාන්දු ය.

ඊට අමතරව එස්. දක්ෂිණ මූර්ති සංගීතය අධ්‍යක්ෂණය කළ සූරයා චිත්‍රපටයේ අඩංගු ලතා වල්පොල ගායනා කළ “ අත දෙන්න දෙන්න මට – එන්න එන්න ගෙට “ ගීතයේද එස්. දක්ෂිණ මූර්ති ම්..ම්..ම්…ම්.. යනුවෙන් මුළු ගීතය පුරා ගායනා කර තිබේ. මෙම ගීතයද ඉන්දියානු ගී තනුවකට අනුව නිර්මාණය වූවකි.

50 දශකයේ පටන් චිත්‍රපට ගායනයට සම්බන්ධ වූ ලතා වල්පොල ගායන ශිල්පිනිය හැඳින්වෙන්නේ හෙළයේ ගීත කෝකිලාව යනුවෙනි. එවන් ගෞරව නාමයක් ලත් ලතා වල්පොල ද වරක් චිත්‍රපට ගීතයකට ම්..ම්..ම්..ම්.. යනුවෙන් පමණක් ගායනා කළාය. ඒ වසන්තයේ දවසක් චිත්‍රපටයේ ඇතුළත් ටී. ඇම්. ජයරත්න ගායනා කරන මාල ගිරා මාල පොටක්… ගීතයටයි.

“ මාල ගිරා මාල පොටක් ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ කේමදාස මාස්ටර්. මේ ගීතය ගායනා කරලා ඉවර වුණාට පස්සේ මාස්ටර් මට කිව්වා ලතා රාගධාරි සංගීතය එහෙම වැඩිදුර ඉගෙනගත්ත නැති නිසා හොඳට ගායනා කළා කියලා. සංගීතය ඉහළට ඉගෙනගත්ත කෙනෙක් කවදාවත් ඕක කියන්නේ නැහැ කිව්වා.” යනුවෙන් පැවසුවේ ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොල ය.

වසන්තයේ දවසක් චිත්‍රපටයේ ඇතුළත් මෙම ගීතයට සම්මාන පවා හිමි විය. එහෙත් සම්මානය හිමි වූයේ ගායන ශිල්පී ටී. ඇම්. ජයරත්නට පමණි. හ්ම්..හ්ම්..වලට අමතරව ලතා වල්පොල භාෂාත්මක වචන කිහිපයක් ගායනා කර තිබුණා නම් ඇයටද සම්මානයක් හිමි වන බව විනිශ්චය මණ්ඩලයේ සිටි අයකුගෙන් පසුව ආරංචි විය. එදා ප්‍රේමසිරි කේමදාස සංගීතඥයා පවසා තිබුණේ ඔහු විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළේ නම් ලතා වල්පොලට සම්මානය හිමි වන බව ය.

ආචාර්ය නන්දා මාලනි ගයන “ සුලලිත සුළඟේ ඔබ නැළවෙද්දී…” ගීතයේ “ හ්ම්..හ්ම්.. ඇත්තද” යනුවෙන් ගායක ජයතිස්ස හෙට්ටිආරච්චි ගයන තනි පදයක් ගීත සමුච්චය පිරික්සා බැලීමේදී අපට හමු වේ.

ප්‍රවීණ රංගන ශිල්පියකු ලෙස ජනප්‍රිය විජේරත්න වරකාගොඩ ගායකයකු වශයෙන්ද ප්‍රසිද්ධයක් උසුලයි. ඔහු ගායනා කරන “ හිරු පායනවා මල් පිබිදෙනවා…” ගීතයේ මැණිකේ හිනැහෙනවා යන්න ගායනා කරන විට පසුබිමෙන් මැණිකේගේ සිනා හඬක් අපට ඇසේ. මැණිකේගේ සිනා හඬට එදා පණ පොවනු ලැබූවේ ප්‍රවීණ නාට්‍ය ශිල්පිනියක වන ග්‍රේස් ආරියවිමල් ය. මෙම ගීතය ගායනා කළ කාලයේ විජේරත්න වරකාගොඩ සහ ග්‍රේස් ආරියවිමල් ගුවන්විදුලියේ නාට්‍ය ශිල්පීන් ලෙස එකට එකතු වී කටයුතු කළ බැවින් ඒ මිත්‍රත්වය නිසා මැණිකේගේ සිනාවට ඈ සම්බන්ධ වූ බව බොහෝ කලකට පෙර විජේරත්න වරකාගොඩ කලා ශිල්පියා මා සමඟ පැවසූ අයුරු තවමත් මට මතකය.

ගුවන්විදුලියේ තැටිගත වූ මුල් ගීතයට ග්‍රේස් ආරියවිමල් සිනහවෙන් දායක වුවද කැසට් පටයට මෙම ගීතය පටිගත කිරීමේදී සිනහව එකතු කර තිබුණේ ගායිකා මල්කාන්ති නන්දසිරි විසිනි.

මේ අතරවාරයේදී මුල් ගීතයට පමණක් ආ..ආ..ආ..ආ.. යනුවෙන් ගැයූ ගායිකාවක්ද අපට හමු විය. ඈ ඇන්ජලින් ගුණතිලක ය. එම ගීතය වන්නේ නෑදෑයෝ චිත්‍රපටයේ අඩංගු වන ටී. ඇම්. ජයරත්න ගායනා කරන “සැනසුම් සුසුමන් පාවීලා….”ය. ඒ කාලය වන විට ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි බව අප අමතක කළ යුතු නැත.

“මේ සින්දුවේ සංගීතය අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාස. එදා මේ සින්දුවේ ආ..ආ..ආ..ආ.. කියන ටික ගායනා කරන්න හිටපු එකම එක්කෙනා මම. මාස්ටර්ගේ වාද්‍ය ශිල්පීන් කීප දෙනකුත් ඒකට සම්බන්ධ වුණා. ගීතය ගායනා කළේ සිලෝන් ස්ටුඩියෝ එකේදී. මුල් ගීතයේ ගායිකාවගේ හඬ හැටියට මගේ හඬ හොඳටම ඇහෙනවා. ඒත් ඒ ගීතයේ පසුකාලීන පටිගත කිරීම්වලදී මාව සම්බන්ධ කර ගත්තේ නැහැ. “ යනුවෙන් ඇන්ජලින් ගුණතිලක ගායිකාව ජීවත්ව සිටි කාලයේ අල්ලාප සල්ලාපයක යෙදී සිටියදී මා සමග සඳහන් කළාය.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ගායනා කරන ගීතයකටද හෝ..හෝ.. යනුවෙන් හඬ මුසු කළ ගායකයෙකු ගැන ද අනාවරණය කරගත හැකි විය. එම ගීතය වන්නේ වසන්ත කුමාර කොබවක විසින් රචිත” සියාතුවේ මා මිතුරේ..” ගීතයයි. එහි පසුබිමෙන් අඬහැර පාන ආකාරයට හෝ..හෝ..හෝ..හෝ.. ගායනයක් අසන්නට ලැබේ. එය ගායනා කරන්නේ ගායකයකු වශයෙන් ද ජනාදරයට පත් වී සිටින සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ය.

ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන ආචාර්ය නන්දා මාලනි ගායිකාවගේ “තරුද නිදන මහ රෑ” ගීතයේ පසුබිමෙන් ඇසෙන හා..හා..හා.. හඬ ගීතයට සැබැවින්ම එක් කර ඇත්තේ අලංකාරයකි. එම අලංකාරය ආරෝපණය කිරීම සඳහා ප්‍රවීණ ගායකයෙකු වූ ග්‍රේෂන් ආනන්ද දායකත්වය දරා ඇත. එම ගීතයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි.

වර්තමානයේ ඉතා දක්ෂ ගායන ශිල්පිනියක ලෙස කිරුළු පැළඳ සිටින නිරෝෂා විරාජිනි ද අසංග ප්‍රියමන්ත පීරිස්ගේ ගීතයකට රහසින් හඬ මුසු කර ඇත. ඒ, “ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක..” ගීතයේ ආ..ආ..ආ.. යනුවෙන් ගැයෙන මියුරු හඬයි. මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහයන්ගේ අදහසකට අනුව මුසු වූ ආ..ආ..ආ.. හඬ ගීතයට අපූරු ලාලිත්‍යයක් එකතු කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

● හර්ෂා සුගතදාස

advertistmentadvertistment
advertistmentadvertistment