මහා රෝහලේ බත්පත හිල්ටන් එකෙන් ගෙනා යුත්තේ ඇයි?

988

පසුගිය දවස්වල කොළඹ ජාතික රෝහලේ සකලාංග සම්පූර්ණ වැඩ වර්ජනයක් හටගත්තේය. රජය විසින් වෛද්‍යවරුන්ට රුපියල් 35000 ක දීමනාවක් ලබාදීමට විරුද්ධව ජාතික රෝහලේ අරක්කැමියන් ද ඇතුළු සුළු සේවක සංගම් විසින් මෙම වැඩවර්ජනය අරඹන ලදි. දොස්තරට 35000 ක් දෙනවා නම් තමන්ට ද 35000 ක් උවමනා බව ඔවුහු කීහ. මේ වර්ජනයට පක්ෂව කොළඹ මහා රෝහලේ ලැබ් එකේ වැඩකරන රවි කුමුදේශ් ඇතුළු පිරිසක් ද විවිධ දේශනා පවත්වනු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. සුළු සේවකයන්ගේ ඉල්ලීම ඉන්තේරුවෙන්ම වැරදි බව කොළඹ මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ දැඩි අදහස විය. වෛද්‍යවරුන්ට හිමි දීමනාව සුවිශේෂ දීමනාවක් බවත් වෛද්‍යවරුන්ට දවසකට OT පැය 4 ට වඩා නොදෙන බවත් කියූ වෛද්‍ය බෙල්ලන පැයක් සඳහා ගෙවන්නේ රුපියල් 600 ක් බවත්, ආණ්ඩුව වෛද්‍යවරුන්ට ගෙවන රුපියල් 35000 දීමනාව ටොයිලට් හෝදන සහ කුණු ඉවත් කරන සෞඛ්‍ය සේවක කණ්ඩායම් ඉල්ලීම සාධාරණදැයි ප්‍රශ්න කළේය. රුක්ෂාන් බෙල්ලන යනු ආණ්ඩුවට එරෙහිව දැඩි මතයක පිහිටා සිටින යුනියන්කාරයෙකි. එක්තරා වෛද්‍ය සංගමයක ප්‍රධාන තනතුරක් ද ඔහු දරයි. එහෙත් මෙවර සෞඛ්‍ය සුළු සේවක වර්ජනයේදී බෙල්ලන හිටියේ ආණ්ඩුවට පක්ෂපාතී තැනකය. අපට වැදගත් වන්නේ ඒ කිසිදු කාරණයක් නොවේ. වැඩ වර්ජනය පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය බෙල්ලන විසින් කියන ලද කාරණයකි. එනම්, ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන 76 ක් බව වෛද්‍ය බෙල්ලන එහිදී කීවේය. රුපියල් මිලියන 76 ක් යනු රුපියල් හත් කෝටි හැට ලක්ෂයකි.

 ඒ අනුව දිනකට රෝගීන්ගේ ආහාර සඳහා කොළඹ ජාතික රෝහල රුපියල් ලක්ෂ 30 ට කිට්ටු මුදලක් වැයකරන බව පෙනේ. අපට හිතෙන විදිහට කොළඹ මහා රෝහලේ කෑම හදන්නේ කළුබෝවිල රෝහලට සහ කරාපිටිය රෝහලටත් එක්කය. නැත්නම් දවසකට ලක්ෂ 30 ක මුදලක් මහා රෝහලේ කෑමට වියදම් වෙන්නේ නැත. මේ වනවිට මහා රෝහලේ බත් පත කිසිදු රසක් ගුණක් නැති කාබෝහයිඩ්‍රේට් කන්දක් බවට පත්වී තිබේ. රතු හාලේ බතක්, එළවළු දෙකක්, මැල්ලුමක් සහ තම්බපු බිත්තරයක් බොහෝවිට මේ බත් පතට අයත් ය. චිකන් හෝ මාළු එම බත් පතට එකතු වන්නේ ඉතාම කලාතුරකිනි. අප උපකල්පනය කරන හැටියට මහා රෝහලේ රෝගීන්ට එක වේලක් සඳහා චිකන් දීමට නම් සම්පූර්ණ චිකන් ෆාම් එකක කුකුළන් නාඳුනන හේතුවක් මගින් හදිසියේ මිය යා යුතුය. රෝගීන්ට මාළු ලැබෙන්නේ මාළුන් ස්වේච්ඡාවෙන් ගොඩට පැමිණ රෝහලේ මුළුතැන් ගෙට ගියොත් පමණි. මහා රෝහල රෝගීන්ගේ ආහාර පත සඳහා මෙතරම් වියදම් කිරීම පිටුපස කිසියම් රහසක් තිබිය යුතුය. පසුගිය කාලයේදී ඇමැති නිමල් සිරිපාල වරායේ කුස්සියට ගියේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ වරාය සේවකයන්ට බත් පත සමග දෙන කජු මාළුව වෙනුවෙන් පමණක් මසකට රුපියල් ලක්ෂ තිහ හතළිහක් වැය වන බවය. හැබැයි එම මුදල වැයවන්නේ ඇත්තටම වරාය සේවකයන්ට කජු මාළුව දෙන බැවිනි. එහෙත් කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට කජු මාළුවක් තබා කජු ලෙල්ලක්වත් නොලැබේ. මහා රෝහලේ මුළුතැන් ගෙයි ගනුදෙනු විගණනය කරන බව අපගේ වැටහීම වේ. ඉන්දියාවෙන් ගෙන්වන රුපියල් 35 හේ බිත්තර විශාල වශයෙන් අපහරණය වන බව අපි දන්නෙමු. බොහෝවිට සැපයුම්කරු බිත්තර දහදාහක් දීමේ ඕඩරය භාරගත් විට මුළුතැන්ගෙට ලැබෙන්නේ බිත්තර අටදාහක් පමණි. මේ බිත්තර අටදාහෙන්ද තවත් දාහක් විතර හොරකම් කරනු ලැබේ. සොරකුගේ අත කැපීම ම්ලේච්ඡ ක්‍රියාවක් විය හැකිය. එසේම රෝගීන්ගේ බිත්තර හොරකම් කිරීම ඊටත් වඩා දරුණු ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැකිය.

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළත් මේ හොරකම මෙහෙමම සිදුවේ. සැපයුම්කරු විසින් හිරගෙදරට ගෙනෙන කුකුළු මස්, බිත්තර පමණක් නොව තේ බීමට ඇති සීනි ටික ද සොරකම් කරන්නෝ මෙකල බහුලය. සමාජය යනු හැමදාමත් ප්‍රශ්න තිබූ තැනකි. රෝගියකුගේ බිත්තරයට කෙළීමෙන් කිසිදු සමාජ ප්‍රශ්නයක් කෙදිනකවත් විසඳා ගැනීමට නොහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment