ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දක්වා සජබ පාගමන දෙවැනි දින මාවනැල්ලෙන් ගමන් අරඹයි

155

මහනුවර සිට කොළඹ දක්වා සිදුකරන සමගි ජනබලවේගය විරෝධතා පාගමනේ දෙවැනි දිනය වූ ඊයේ (27දා) ගලිගමුව දක්වා ගමන් කිරීම උදෑසන 10.00 පමණ මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දුලංජලී ප්‍රේමදාස මහත්මිය විසින් පුෂ්පෝපහාර දැක්වීමෙන් ආරම්භ කෙරිණි.

ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දක්වා සජබ පාගමන දෙවැනි දින මාවනැල්ලෙන් ගමන් අරඹයි

විරෝධතා පාගමනට සහයෝගය දැක්වීමට මාවනැල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටි අතර මග දෙපස රැඳී සිටි ජනතාව ද පාගමනේ නිරතවූ විරෝධතාකරුවන් වෙනුවෙන් උණුසුම් අයුරින් සහයෝගය පළ කළහ. ‘ජන පීඩකයින් එළවන ජනබලවේගය’ ලෙස නම්කර ඇති මෙම විරෝධතා පාගමන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවෙනි දිනට මාවනැල්ල නගරයෙන් ආරම්භ කෙරිණ.

විරෝධතා පාගමන සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය සේවකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, විවිධ වෘත්තිකයින් හා දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර පාගමන හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි. මාවනැල්ල ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවෝ “රටේ ජනතාව තෙල් පෝලිම්වල, රජ පවුල සැප නින්දේ, පෝලිම්වල අපි යනවා, කොමිස් කුට්ටි රජවෙනවා’ යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත වූහ.

විරෝධතා පාගමන පෙරවරු 10.00ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂිම්, ජේ.සී.අලවතුවල, බුද්ධික පතිරණ, හෙක්ටර් අප්පුහාමි, වඩිවෙල් සුරේෂ්, හේෂාන් විතානගේ, තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු, සුජිත් සංජය පෙරේරා, හිටපු නියෝජ්‍ය ඇමැති නීතිඥ ලලිත් දිසානායක, හිටපු පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක, උපුල් ශ්‍යාමල් බණ්ඩාර යන මහත්වරුන්ද එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පාගමනේ නිරත වූහ.

අරණායක – රෝහණ ජයරත්න, මාවනැල්ල – ජයන්ත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment