පාස්කු සාකච්ඡා යළි සලකා බලා විමර්ශන කළ යුතුයි – කාදිනල්තුමා කියයි

94

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු සාක්ෂි යළි සලකා බලා පූර්ණ විමර්ශනයක් සිදු කර මෙම මිලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

එතුමා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයට ලක්වූවන් සිහිකරමින් ඉකුත් 21 වැනිදා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී පැවැති විශේෂ දේව මෙහෙයට එක්වෙමිනි.

2019 බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර සිටින බුද්ධි නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වලින් සාක්ෂි ලබාගෙන මෙම විමර්ශනය සිදු කළ යුතු බව ද එතුමා සඳහන් කළේය.

මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ වාර්තාවල අඩංගු නිර්දේශවලත් මේ රජය හෝ පෙර පැවැති රජයවල් ක්‍රියාත්මක නොකළේ මන්දැයි ද කාදිනල්තුමා ප්‍රශ්න කළේය.

පැවැති පාලනය වෙනස් කිරීමට මෙම ප්‍රහාරය එල්ල කර රට තුළ ආරක්ෂාව පිළිබඳ අනිසි බියක් ඇති කළේ ද යන්නත් මෙම ප්‍රහාරය දේශපාලන අරමුණු වෙනුවෙන් එල්ල කළ එකක් දැයි යන්න ගැනත් බරපතළ සැකයක් මතු වී තිබෙන බව ද කාදිනල්තුමා අදාළ වාර්තා උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment