ඉන්දියාවේ ජයග්‍රහණ පිටුපස ඇති අනුප්‍රාණය බුදුන් වහන්සේයි – මෝදි කියයි

196

බුදුන් වහන්සේ යනු රූපයට එහා ගිය විඥානයක් බවත් සමස්ත මනුෂ්‍යත්වයම එක් හුයකින් එක් කිරීම බුදුන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්තිය මගින් සිදුකළ හැකි බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරයි.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට බෙහෙවින් අදාළ වන බව ද නවීන ලෝකයේ ගැටලු සඳහා බුදුන් වහන්සේගේ ඉපැරණි ඉගැන්වීම්වලින් විසඳුම් සොයා ගත හැකි බව ද ඉන්දීය අගමැතිවරයා පවසයි.

නවදිල්ලි නුවරදී ඉකුත් 20 වැනිදා ආරම්භ වූ ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සඳහන් කළේය. මෙම සමුළුව පසුගිය 20-21 යන දිනවල පැවැත්වුණි. ඉන්දීය රජය විසින් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය හා එක්ව මෙය සංවිධානය කරනු ලැබීය. මෙම සමුළුව ‘දර්ශනයේ සිට ප්‍රායෝගිකත්වය දක්වා සමකාලීන අභියෝගයන්ට ප්‍රතිචාර’ යන තේමාව යටතේ පැවැත්විණි.

මෙම සමුළුව ගෝලීය බෞද්ධ නායකත්වය සහ විද්වතුන් සඳහා බෞද්ධ සහ විශ්වීය වැදගත්කමකින් යුත් කරුණු සහ ඒවා සාමූහිකව විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය කාරණාවන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමේ ප්‍රයත්නයකි. ලොව පුරා ප්‍රමුඛ පෙළේ විද්වත්හු, මහා සංඝරත්නය සහ ධර්මය ප්‍රායෝගිකව භාවිත කරන්නෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ශ්‍රී ලංකාවෙන් ද මහා සංඝරත්නය සහ නිලධාරීහු මෙම සමුළුවට සහභාගි වූහ.

ඉන්දියාව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රචලිත කිරීමට කැපවීමෙන් කටයුතු කර ඇති බව මෝදි අගමැතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය හා එක්ව ලුම්බිණියේ ඉදි කළ බෞද්ධ උරුමය සහ සංස්කෘතිය සඳහා ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය වැනි බුදු දහමේ ප්‍රවර්ධනයට ගත් පියවර ද මෙහිදී සිහිපත් කළේය.

මෙම සමුළුව ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය සමරන අවස්ථාවේ දී පැවැත්වෙන බව සිහිපත් කරමින් අගමැතිවරයා සඳහන් කළේ ඉන්දියාව සතුව සිය අනාගතය සහ ගෝලීය යහපත සඳහා නව අධිෂ්ඨානයන්ට සුවිසල් ඉලක්කයක් ඇති බවයි. විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්දියාව විසින් ළඟා කරගත් මෑත කාලීන ගෝලීය ජයග්‍රහණ පිටුපස ඇති අනුප්‍රාණය බුදුන් වහන්සේ වන බව ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment