අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට අත්හිටුවූ සිරදඬුවම්

78

රජයට අයත් ඉඩමක වටිනාකම අඩුවෙන් තක්සේරු කර වාර්තාවක් ලබාදීම සඳහා ඉඩම් හිමිකාර පොලිස් සැරයන්වරයාගෙන් රුපියල් තිස්පන්දහක අල්ලසක් ඉල්ලීම හා එම අල්ලස ලබාගැනීම ඇතුළු අධිචෝදනා අටකට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු කරනු ලැබූ සබරගමුව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනියට මාස 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එම දඬුවම වසර 10කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) නියෝග කළේය.

එයට අමතරව රුපියල් 32,000ක දඩයක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා විත්තිකාරිය අල්ලස් ලෙස ලබාගත් රුපියල් 35,000ක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට ද නියෝග කළේය.

රාජ්‍ය සේවකයන්ට සිය වෘත්තීය අවංකභාවයට බලවත් පහරක් එල්ල වන තමන්ට හිමි නැති එවැනි අල්ලස් ලබාගැනීමෙන් මුළු ජීවිත කාලයටම පසුතැවීමට සිදුවන බවත් කෙසේ නමුත් අධිකරණයේ කාලය මිඩංගු නොකර මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම ඇතුළු විත්තියේ ජනාධිපති නීතිඥවරයා කළ කරුණු සලකා බලමින් තම අධිකරණය එවැනි ලිහිල් දඬුවමක් නියම කරන බවත් විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

අප රට මෙවැනි ආර්ථික අගාධයකට ඇදවැටීමට එක් හේතුවක් වී ඇත්තේ රාජ්‍ය සේවකයන් මෙලෙස අල්ලස් ලබාගනිමින් රජයට හිමිවිය යුතු ආදායම අහිමි කිරීම බවත් එය ඉතා බරපතළ වරදක් බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය අධිකරණයට පැවසුවාය.

එම විත්තිකාරිය තමන් සිදුකළ වරදට මේ වනවිට දැඩි ලෙස පශ්චත්තාප වන බවත් එකී වැරැද්ද නිසා රජයේ රැකියාව අහිමිවීමම ඇයට හිමිවූ දඬුවමක් බවත් අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇයට යහපත් පුරවැසියකු ලෙස සමාජගතවීමට ඉඩකඩ සලසමින් සක්‍රීය සිරදඬුවම් නියම නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment