ලෙඩ හැදුණු විමල් එන නඩු දිනයේදී උසාවි ගේන්න නියෝග

338

ඉදිරි නඩු දිනයේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනිවාර්යයෙන්ම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01දා) නියෝග කළේය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකාර විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (01) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2017 වසරේදී අධිචෝදනා ගොනු කළ බවත් 2022.9.13 වැනිදා නඩුවේ පූර්ණ නඩු විභාගය ආරම්භ කළත් එම විත්තිකරු අසනීප බව පවසමින් දින ගණනාවක්ම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පැමිණිල්ලට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීමට නොහැකි වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පැවසුවාය. එබැවින් එම විත්තිකරු හැකි ඉක්මනින් සුදුසු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවට පැමිණිල්ලට පෙනී යන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඊයේ (01දා) අධිකරණයට වැඩිදුරටත් පැවසුවාය. විත්තිකාර විමල් වීරවංශ මහතා ඊයේ (01දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු උණ, කැස්ස, පාචනය හා වමනය යනාදි රෝගවලින් පෙළෙන නිසා 26 වැනිදා සිට දින හතක කාලයක් විවේකීව ප්‍රතිකාර ලැබිය යුතු බව පෙන්වා දෙමින් වෛද්‍යවරයකු නිකුත් කළ වෛද්‍ය සහතිකයක් කනිෂ්ඨ නීතිඥවරයකු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එම නඩුව ලබන 21 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළි කැඳවීමට ද මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment