වැට් ප්‍රතිසංස්කරණය කරයි -එස් වැට් අහෝසි කරයි- රජයේ තීරණය බන්දුල කියයි

139

දැනට පවතින නිදහස් කිරීම් රැසක් ඉවත් කරමින් එකතු කළ අගය මත (වැට්) බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (එස් වැට්) අහෝසි කිරීමටත් රජය තීරණය කර තිබේ.

වැට් බදු නිදහස් කිරීම් නැවත සලකා බලා තාර්කීකකරණය කිරීම තුළින් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.2 කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමේ හැකියාවක් පවතින බව රජය සඳහන් කරයි. මේ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය සහ අඩු ආදායම්ලාභී පවුල් මත ඇතිවන පීඩනය ලිහිල් කරන මෙන්ම ආර්ථිකයේ ප්‍රධාන අංශ ආරක්‍ෂා කරන බදු නිදහස් කිරීම් තවදුරටත් පවත්වාගෙන යන අතරේ එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් බහුතරයක් ඉවත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, මහාමාර්ග සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීම ලබන 2024 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට සිදු කිරීමට නියමිත අතර එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ බදු ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව තිබීම හේතුවෙන් රජය මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කරමින් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment