විකුම් පෑ විරුවන්ගේ ‘විකුම්පුර’ මෙහෙයුම

328

යුද්ධ හමුදාවේ ඇල්ම බැල්මෙන් වෙසෙන විකුම්පුර මිනිසුන් සොයා ගියෙමි

1984 වර්ෂය මන්නාරම් දිස්ත්‍රික්කයට මරණයේ බිය නිරතුරුව දැණුනු වසරකි. ඒ කාලයේ මන්නාරම් පිටි වැල්ලට රාස්සිගේ අව්ව වැටෙද්දී කුණ්ඩුමනීලා, වේලායුදන්ලා පමණක් නොව මොහොමඩ්ලා ෆාතිමාලාත් ධර්මදාසලා නන්දාවතීලාත් තම මරණ වරෙන්තුව සියතින්ම ලියාගෙන අඳුරට ශාප කරමින් ආරක්ෂාව පැතූ සමයක් විය. ඒ වන විට උත්සන්න වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසාවෙන් මේ සියලු දෙනාම සීසීකඩ විසිරෙන්න විය. එසේ වූයේ ත්‍රස්තවාදීන් විසින් මෙම ජනතාව ඝාතනය කිරීම, මරණ තර්ජන එල්ල කිරීම හා පැහැරගෙන යෑම ආදී වූ අඩන්තේට්ටම් නිසාය. ඒ අඩන්තේට්ටම් මන්නාරමේ බහුවාර්ගික සහයෝගීතාවට එල්ල කළේ දැවැන්ත මරු පහරකි.

මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසාම මන්නාරමේ ජනතාව තම ඉඩකඩම් සියල්ල අතහැර දමා වෙනත් ප්‍රදේශයන්ට පදිංචිය සඳහා ගොස් ඇත. යුද්ධයෙන් පසු ඔවුන් යළි ගම්බිම් කරා පැමිණියත් ඔවුන්ට සහනයක් වෙන්නට කිසිවෙකුත් සිටියේ නැත. එලෙස අසරණව සිටි පිරිසක් වෙනුවෙන් සහනයක් වී ඔවුන්ගේ හිසට සෙවණක් වන්නට එවකට 542 පාබල බලසේනා මූලස්ථානයේ බළසේනාධිපති වශයෙන් කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ කටයුතු කර තිබුණි. ඒ නරිකාඩු ගම්මානය ඉදිකර යුද්ධයෙන් අවතැන් වූවන්ට පිළිසරණක් වෙමිනි. වත්මන් යුද්ධ හමුදාධිපතිවරයාට කරනු ලබන කලගුණ සැලකීමක් වශයෙන් ගම්වාසීන් මෙම ගමට විකුම්පුර ලෙස නම් තබා ඇති අතර මෙය ඉතිහාසයට එක්වන්නේ මේජර් ජෙනරාල් ජනක පෙරේරා සිහිවනු වස් බිහිකළ ජනකපුරට පසු යුද්ධ හමුදා නිලධාරියෙකුගේ නමින් බිහිවූ දෙවැනි ගම්මානය ලෙසයි.

එදා තමන් විඳි කටුක අත්දැකීම් විස්තර කරන්නට මන්නාරම විකුම්පුර ගම්මානයේ වෙසෙන ගුණවති සමරවීර මාතාව අප සමඟ දොඩමළු වූවාය.

“මම උපන්නෙ හැදුනෙ වැඩුනෙ මන්නාරම දිස්ත්‍රික්කයේ අඩම්පන් ග්‍රාමයේ. මගේ පියාගේ වෙළඳ ව්‍යාපාරයක් තිබුණා අඩම්පන්වල, ඒවා කරගෙන අපි ජීවත් වුණා. පුංචිකාලෙ ඉඳලම ඉගෙන ගත්තෙ ඉගැනීම් කටයුතු සිදුකළෙත් මන්නාරම සිංහල මහා විද්‍යාලයේ. ඔහොම ජීවත්වේගෙන අපි ඉන්න අතරෙ ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරවලට ලක්වෙලා 1984 අවුරුද්දෙදි සිද්ධ වුණා ගම්බිම් අතඇරලා යන්න.”

මෙසේ අනාථ වූ මන්නාරම ප්‍රදේශයේ සිංහල පවුල් සඳහා අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාවේ අනාථ කඳවුරක් ස්ථාපනය කර තිබී ඇති අතර එය 1984 වර්ෂයේ සිට 1985 වර්ෂය දක්වා පවත්වාගෙන ගොස් ඇත. ඒ අනුව විශාල සිංහල පවුල් ප්‍රමාණයක් එම අනාථ කඳවුරේ නවාතැන් ගෙන ඇත.

පසුව රත්නමාලි විශ්‍රාම ශාලා අනාථ කඳවුරේ සිටි සියලු සාමාජිකයින් මිහින්තලේ අශෝකපුර ප්‍රදේශයේද තන්තිරිමලේ සදමල්එළිය ප්‍රදේශයේද පදිංචිකර ඇත. ඒ අනුව 2009 වර්ෂයේදී යුද වාතාවරණය අවසන්වීමත් සමඟ මන්නාරම ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයන් වෙත ගොස් සිටි සිංහල, මුස්ලිම් හා දෙමළ වැසියන් නැවත පෙර පදිංචිව සිටි ඉඩම්වලට වරින් වර පැමිණ ඇත. මෙසේ පැමිණි අයවළුන්ගෙන් කොටසක් තමන්ගේ පාරම්පරික ඉඩම්වල පදිංචිව ඇත. එහෙත් ප්‍රදේශය හැර යන විට තමන්ගේ ඉඩම් පිළිබඳව කිසිදු ලියකියවිල්ලක් හෝ වෙනත් කිසිදු සාක්ෂියක් රැගෙන ගොස් නොතිබූ තවත් පිරිසකට නැවත පැමිණි පසු තම පාරම්පරික ඉඩම්වල අයිතිය අහිමිවී ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනිනවා සේය. ඉන් ඔවුන්ට සිදුවූයේ කබලෙන් ලිපට වැටෙන්නටය.

පාරම්පරික ඉඩම් අහිමි වූ සිංහල ජනතාව අතරින් නොච්චියාගම ප්‍රදේශයේ සිට පැමිණි සිංහල පවුල් 17 ක් 2009 වර්ෂය අවසානයේදි මන්නාරම දිස්ත්‍රික්කයේ නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉරටේකුලම් ග්‍රාමසේවා වසමට අයත් නරිකාඩු ප්‍රදේශය වෙත පැමිණ පැල්පත් තනා ගනිමින් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් අනවසරයෙන් ජිවත් වෙද්දී එවකට ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා විසින් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව ඔවුනට සෙවණ වී තිබෙන්නේ මුරුන්කන් රජ මහා විහාරයයි.

“2010 යුද්ධය අවසන් වෙන කොටම අපි නැවත පදිංචියට මේ මුරුන්ගන් ගමට පැමිණියා. මුරුන්ගන් ගමට ඇවිල්ල මාස 06ක් පමණ අපි අපේ ඥාති නිවසක නතර වුණා. නතර වෙලා අපේ සභාපති රණසිංහ කියන මහත්මයගේ, එයාගේ 16 දෙනෙකුගෙ කණ්ඩායමක් එක්ක මෙහෙට පැමිණියේ යුද්ධය අවසන් වුණු ගමන්. ඒ ඇවිල්ල පන්සල අසල අපේ ඥාතී නිවසක නතර වෙලා මාස 06ක කාලයක් අපි ඉන්න කොට අපට බොහොම රජයේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. උතුරේ ජීවත්වුණු අපි ත්‍රස්තවාදීන් නිසා අසරණ වෙලා යුද්ධයත් අවසන් වෙලා යුද්ධයෙන් පස්සෙ නැවත පදිංචියට පැමිණීමත් එක්ක සිදුවුණු අසාධාරණකම් එසේ මෙසේ නෙවෙයි.”

එවකට 542 පාබල බලසේනා මූලස්ථානයේ බළසේනාධිපති වශයෙන් කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මෙම ගැටලුවට මැදිහත් වී අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර නැවත පදිංචි කිරීම් යටතේ 2012 වර්ෂයේදී නරිකාඩු ගම්මානයේ සිමෙන්ති සංස්ථාවට අයත් රජයේ ඉඩමකින් අක්කර 10 ක ප්‍රමාණයක් නිදහස් කර ගම්මානයක් ආරම්භ කර එක් පවුලකට පර්චස් 20 බැගින් වූ ඉඩම් කට්ටි 54 ක් වෙන්කරදී ඇත. ඒ අනුව එම ඉඩම් නොච්චියාගම හා අනුරාධපුර යන ප්‍රදේශවල සිට පැමිණි සිංහල පවුල් 50 ක්, දෙමළ පවුල් 03 ක් සහ එක් මුස්ලිම් පවුලක් සඳහා වෙන්කර දී ඇත.

මේ පදිංචිව සිටි පවුල් සඳහා ඉන්දියන් ආධාර යටතේ නිවාස 29 ද, ඔස්ට්‍රේලියන් ආධාර යටතේ නිවාස 20 ක් ද වශයෙන් නිවාස 49 ක් ලබා ඇති අතර, පදිංචි කර ඇත.

විකුම්පුර ගම්මානයේ සභාපති වශයෙන් කටයුතු කරන එම්.ඒ. රණසිංහ මහතා ඔහු මුහුණ දුන් අත්දැකීම් අප සමඟ බෙදාගත්තේ මෙසේය.

මේ ගම 99% ක්ම අපේ යුද හමුදාපතිතුමන්ගේ ශ්‍රම දායකත්වයෙන් බිහිවූ ගම්මානයක්. එතුමා නැත්නම් මේ ස්ථානයේ මෙහෙම ගමක් නැහැ. මුලින් නරිකාඩු කියලා හඳුන්වපු මේ ගම්මානයට අපි විකුම්පුර කියන නම දැම්මෙත් එතුමා මේ ගම වෙනුවෙන් දක්වපු දායකත්වය නිසයි. වර්තමානය වන විට අපට තියෙන ප්‍රශ්නය තමයි අපට වගා කිරීමට ඉඩමක් නැහැ. අක්කර 06 ක භූමියක් දෙන්න කියලා අපි ප්‍රාදේශීය ලේකම් තුමා මගින් ඉල්ලීමක් කළා. එතුමා දෙන්නම් කියල කිව්වා අක්කර 10ක් නමුත් ඒකට වාචිකව මිසක් ලිඛිතව දුන්නේ නැහැ. පසුගිය රජයෙන් රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසක් වෙන් කළා ඒ භූමියක්, සුද්දකර ගන්න කියල. නමුත් වන ජීවි එකෙන් ප්‍රශ්නයක් ආපු හින්දා මුදල් ආපහු ගියා. අපේ වැඩේ කරගන්න බැරි වුණා. නමුත් අද මේ ගම තියෙන්නෙ යුද හමුදාව නිසා. හමුදාව අපිට උදව් කරන්නේ නැත්නම් අපි ජීවත් වෙලා ඉවරයි. ඇත්ත කථාව ඕකයි යැයි රණසිංහ මහතා අප සමඟ කීය.

එසේම විකුම්පුර ගම්මානයේ ජීවත්වන දමිළ පවුල් නියෝජනය කරමින් භවානි අප සමඟ පැවසුවේ මෙවැන්නකි.

මම අවුරුදු 10ක ඉඳන් මෙතන ඉන්නවා. මෙතන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට වතුර නෑ. ළමයින්ට ඉස්කෝලෙ යන්න බස්එක මෙතන නෑ. හමුදාවෙන් ඇවිත් නිතර නිතර මොනව හරි බඩු අපිට ගෙනැත් බෙදලා දෙනවා. අපිට උවමනාවක් වුණත් අපි හමුදාවට කථා කරනවා. අපිට වතුර ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් යැයි භවානි අප සමඟ පැවසුවාය.

කේ. ආර්. ඉන්ද්‍රානි ප්‍රේමලතාද විවිධ වූ බාධා මැද විකුම්පුර වාසය කරමින් දිවි ගැටගසා ගන්නා කාන්තාවකි. ඇය අප සමඟ කීවේ මෙවැනි අදහසකි.

මම පොඩි කඩයක් දාගෙන ජීවත් වෙනවා. ඉතින් මේ ගමේ අපි හැමෝම එක වගේම දුක් විඳිනව. ජීවත් වෙන්න මාර්ගයක් හරියට නෑ. ඉතින් කුඹුරු කරන්න අපිට ඉඩම් නෑ. මේ වෙද්දි අපට නළ ළිං 08 ක් විතර ලබාදිල තියෙනවා. ඒත් හැමෝටම ඒ නළ ළිංවලින් බොන්න මදි. වතුර ප්‍රශ්නය නිසා තමයි ජීවත් වෙන්න අමාරු. හමුදාවෙන් අපට නිතරම වගේ ආහාර බෑග් එකක් ගෙනත් දෙනවා. මේ ගමේ දෙමළ පවුල් දෙකතුනක්ම ජීවත් වෙනව. හමුදාවෙන් එයාලටත් කිසිම වෙනසක් කරන්නේ නෑ. අපිට දෙන හැම දෙයක්ම ඒ අයටත් දෙනවා. හමුදාවේ අයට සිංහල දෙමළ කියලා වෙනසක් නෑ හැමෝටම සලකන්නේ එකම විදිහට යැයි ඉන්ද්‍රාණි ප්‍රේමලතා මහත්මිය කීවාය.

තමන්ගේ ප්‍රාථමික රාජකාරිය ඒ අයුරින්ම නොපිරිහෙලා ඉටු කරන යුද්ධ හමුදාව ජාතිය ගොඩනැඟීමේ කාර්යභාරය වෙනුවෙන් ඉටු කරන්නේ සුළුපටු මෙහෙවරක් නොවේ. මේ විකුම්පුර ගම්මානය ඊට එක් නිදසුනක් පමණි. එදා මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය නිමා කළද ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ජනතාව අදටත් අපමණ දුක් විඳිති. එදා උතුරු නැගෙනහිර යුද්ධය නිමා කළා සේම යුද්ධයෙන් පීඩා විඳි ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීමත් දැන් යුද්ධ හමුදාව විසින් හැකි අයුරින් දරමින් රටට ලබා දෙන්නේ අපමණ ජවයකි.

දිලංක ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment