යාපනයේ උපකුලපති තේරීමටත් මරණ තර්ජන

317

යාපනය විශ්වවිද්‍යාලය සඳහා නව උපකුලපතිවරයකු තෝරා ගැනීමට මේ මස 12 වැනිදා පැවැත්වෙන පාලක සභාවේ (සභාවාරයේ) සාමාජිකයන්ට නිර්නාමික දුරකථන පණිවුඩ ඔස්සේ මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබේ.

දුරකථන ඇමතුම් ලබා ගන්නා ඇතැමෙකු ඔවුන් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් බව පවසා මේ අවස්ථාවේදී නව උපකුලපතිවරයා විය යුත්තේ මෙවැනි පුද්ගලයකු බවට නම් යෝජනා කරන බවත් එය එසේ නොවුවහොත් ආරක්ෂක අංශවලින් විවිධ කරදරවලට මුහුණ දීමට සිදු විය හැකි බව ප්‍රකාශ කරන බවත් දුරකථන ඇමතුම් ලැබුණු පිරිස් ප්‍රකාශ කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය සඳහා නව උප කුලපතිවරයකු තෝරා ගැනීමට ලැබුණු අයැදුම්පත් අතරින් අවසන් අදියරයට නම් හතරක් යෝජනා වී ඇති අතර ඊට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ද හිමිව තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විශේෂ සභාවාරයකින් පසුව එක් අයකුගේ නම යෝජනා කොට එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යැවීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශය මත උපකුලපතිවරයා තෝරා පත් කර ගනු ලබයි.

ජූලි මස 12 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේදි පැවැත්වෙන එම සභාවාරයට සහභාගි වීමට නියමිත සභිකයන්ට මේ අන්දමට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන අතර ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් ආරක්ෂක අංශවලට පැමිණිලි කර නැත.

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව උපකුලපතිවරයකු තෝරා පත් කර ගන්නා අවස්ථාවක මෙවැනි බලපෑම් හා මරණීය තර්ජන එල්ල වූ පළමු අවස්ථාව මෙය බව යාපනය විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment