විදේශ විනිමය සීමා ලිහිල් කිරීම…

2599

රටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීමට පනවා තිබූ යම් යම් සීමා ලිහිල් කිරීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. එසේම මීට පෙර ආනයන සීමා පනවා තිබූ භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ද ආනයන සීමාවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. තවදුරටත් එම ආනයන සීමා පවතින භාණ්ඩ ලැයිස්තුවේ තිබෙන්නේ භාණ්ඩ නවසිය ගණනකි. මෙයට හේතුව වී ඇත්තේ රට මුහුණ දී සිටින ආර්ථික හා විනිමය අර්බුදය කිසියම් දුරකට සමනය වී තිබීමයි. ඒ සමගම පවතින ඍණ ආර්ථික තත්ත්වයෙන් මිදීමට නම් අපට මෙම ආනයන සීමා විදේශ විනිමය සීමා ද ක්‍රමයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත. එහෙත් ඒ සමගම අප විසින් අපගේ විදේශ විනිමය ලැබීම් මාර්ග ද වේගයෙන් සහ තිරසාර ලෙස වර්ධනය කරගත යුතු වේ. එසේ නැතහොත් අපගේ විනිමය අනුපාතය පිරිහීමට විශාල පීඩනයක් ද මතුවනු ඇත.

2022 වසරේ දී අප රට මුහුණ දුන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය අර්බුදයකටය. එම විනිමය අර්බුදය වඩා සංකීර්ණ ආර්ථික අර්බුදයක් දක්වා පුළුල් ලෙස පැතිර ගිය බව ද අපි දනිමු. මේ අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ සහ වර්තමානයේ මුහුණ දී සිටින්නේ නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයටය. මේ බව 2022 නවතම මහ බැංකු වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වඩාත් අසීරුතම කාලපරිච්ඡේදය සඳහා 2022 වසරේ දී මුහුණ දුන් අතර, පැවති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මහජන නොසන්සුන්වීම් මෙන්ම දේශපාලන කැළඹීම් ද ඇති විය.’

මේ අනුව පැහැදිලි වන්නේ මේ ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික මෙන්ම සමාජ හා දේශපාලන බලපෑම් ද ඇති වූ බවයි. පැවති උග්‍ර විදේශ විනිමය හිඟය නිසා රට තුළ ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් තත්ත්වයන්ද නිර්මාණය විය. මගී ප්‍රවාහන කටයුතු ද අඩපණ විය. මේ නිසා සිදු වූ මහජන නොසන්සුන්වීම් හමුවේ රට තුළ විරෝධතා උද්ඝෝෂණ මෙන්ම අරගල ක්‍රියාකාරිත්වයන් ද ඇති විය. අවසානයේ එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද රටින් පලා ගොස් සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට ද සිදු විය. මේ සියල්ලම අප සැවොම ඉතා හොඳින් දන්නා මෑත අතීතයයි. මේ සියලුම දේ පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ද දැඩි බලපෑම් ඇති කළේය.

අපේම සැලසුම් තිබේ ද?

ප්‍රධාන වශයෙන්ම මෙය විදේශ විනිමය අර්බුදයකි. උග්‍ර විදේශ විනිමය හිඟය හමුවේ රටේ විදේශ ණය ගෙවා ගැනීමට පවා නොහැකි වීම නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ද ශ්‍රී ලංකා රජයට සිදුවිය. අපට අඩු තරමේ ගත් විදේශ ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් හෝ අපේ විදේශ සංචිතය තුළ පැවතියා නම් අපට මේ විදේශ විනිමය අර්බුදය මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක තත්ත්වයට වර්ධනය වීමට ඉඩ නොදී කළමනාකරණය කරගත හැකිව තිබුණි. මේ නිසා වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමත්, විදේශ ණය කලට වෙලාවට ගෙවීමට සහ රටට අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීමටත් ප්‍රමාණවත් විදේශ සංචිතයක් පවත්වාගෙන යෑමත් රටකට ඉතාම වැදගත් කරුණකි. මේ සඳහා විවිධ මාර්ගවලින් අප උපයන විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගත යුතුවේ. එසේම විදේශ විනිමය උපයාගත හැකි නව මාර්ග ද සොයාගත යුතු වේ. ඒ නිසා අප කියන්නේ අයිඑම්එෆ් පදයටම නටන්නේ නැතුව මේ බැරෑරුම් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන අපගේම සැලසුම් ද අපට තිබිය යුතු බවයි. ඒ සඳහා නම් ප්‍රමාණවත් උත්සාහයක් ඇති බවක් අපට පෙනෙන්නට නැත.

විනිමය සීමා ලිහිල් වේ

ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි රටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් කිරීමට මුදල් ඇමැතිවරයා පියවර ගෙන ඇත. මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රට තුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2020.04.02 දින සිට වරින් වර ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් තාවකාලිකව සීමා කිරීම්/අත්හිටුවීම් සඳහා නියමයන් නිකුත් කරන ලද බව අපට මතකය. මේ අනුව සිදුකර ඇත්තේ එම නියමයන් වෙනස් කරමින් නව නියමයන් නිකුත් කිරීමයි. එනම් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත. මෙම නියමය මගින් ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ යම් යම් සීමා කිරීම්/අත්හිටුවීම් ලිහිල් කිරීම සහ විගාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමා කිරීම් ඉවත් කර ඇත. මේ අතරම පෙර නිකුත් කරන ලද නියමය යටතේ පනවා තිබූ අනෙකුත් සීමා කිරීම්/අත්හිටුවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇත. නව නියමය 2023.06.28 දින සිට මාස හයක (06) කාලයක් සඳහා වලංගු වේ. මෙම ලිහිල් කිරීම් පිළිබඳ සාරාංශයක් මේ සමග ඇති වගුවේ දැක්වේ. එම විස්තර විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (www.dif.lk) ද සඳහන් වේ.

විදේශ විනිමය සීමා ලිහිල් කිරීම…

රුපියල දුර්වල වෙයි

පසුගිය කාලයේ රු.300 සීමාවට මෙපිටට පැමිණෙමින් ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශක්තිමත් වූ රුපියල මේ වන විට නැවත දිනපතාම පාහේ පිරිහෙමින් තිබේ. ඊයේ (26) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු.337.17 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එසේම එම විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (26) දින ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් වේ. මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ. මෙසේ විනිමය අනුපාතය යළි පිරිහීම පසුගිය කාලයේ කිසියම් දුරකට අඩුවෙමින් පැවති රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් යළි වර්ධනය වීමට හේතු විය හැකිය.

ඩොලරය රු.355 දක්වා ඉහළට!

මේ අතර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ද අපේ රුපියල ගැන අනාවරණයක් කර ඇත. ඒ අනුව සඳහන් වන්නේ, 2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වූ රුපියල මේ මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බවයි. මෙයට හේතුව වන්නේ අප මේ සඳහන් කළ පසුගිය දිනවල රුපියලේ සිදු වූ පිරිහීමයි. එම වෙබ් අඩවිය පවසන්නේ මේ වසර (2023) අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවය. මේ අනුව මේ වසරේ (2023) මුල් අර්ධයේදී ආසියාවේ හොඳම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය ලෙස සියයට 19 කින් ශක්තිමත්වූ රුපියල ජුලි මාසයේදී ආසියාවේ දුර්වලතම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා තිබේ. එමගින් පෙන්වා දෙන්නේ ඉකුත් ජුලි 24 දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල සියයට 6 කින් අව ප්‍රමාණය වී ඇති බවය. එමෙන්ම පොලී අනුපාත අඩුකිරීම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයට

දියුණු සංවර්ධිත රටවල ඉතා හොඳ සහ පැතිරුණු දුම්රිය ප්‍රවාහන පද්ධතියක් තිබේ. එහෙත් අපේ රටේ දුම්රිය ප්‍රවාහන පද්ධතිය එක තැනම පල්වෙමින් මගී ජනයා පෙළන අකාර්යක්ෂම එකක් බවට පත්ව තිබේ. මේ රටේ දුම්රිය මගීන් විඳින දුක වැඩියෙන්ම අත්විඳින්නේ දිනපතා දුම්රියෙන් වැඩට යන සේවක පිරිසයි. මේ ආකාරයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමෙන් මේ රටේ දුම්රිය පද්ධතියේ කිසිදු දියුණුවක් නොවන අතරම මේ රටේ මගී ජනයාට ද කිසිම සෙතක් වන්නේ නැත. මේ නිසා අපත් සිතන්නේ රජයේ නියාමනය සහිතව දුම්රිය සුදුසු ප්‍රතිව්‍යුහගතකරණයට වහාම ලක් කිරීම සුදුසු බවයි. ඒ සම්බන්ධයෙන් සුබ පණිවිඩයක් මේ වන විට ලැබී ඇත. එනම් දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වන කැබිනට් තීන්දුවක් මේ වන ගෙන තිබීමයි. ඒ සමගම මේ භාරධූර කාර්යයට නායකත්වය දිය හැකි ප්‍රවාහන විෂය ගැන දැනුමක් ඇති සුදුසු කාර්යක්ෂම ඇමැතිවරයෙක් ද ප්‍රවාහන අංශයට අවශ්‍ය වේ.

රජයේ ‘ඒ’ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති, මගී ප්‍රවාහනය මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්වයම සපයන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු අවම කරමින්, සේවාවන් සැපයීම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා එකී දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා එම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මේ වන විට ලැබී ඇත. ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ එම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. අලුතින් යොදවා ඇති සංචාරක දුම්රිය හැර බොහෝ දුම්රිය තවමත් අප පාසල් කාලයේ ගිය දුම්රියටම සමානය. ලෝකයේ දුම්රිය පද්ධති කෙතරම් දියුණු සහ නවීකරණය වී තිබුණත් අපගේ දුම්රිය සේවයේ ලොකු වෙනසක් සිදුව නැත. සිදුව ඇත්තේ පහසුකම් තව තවත් අඩුවීමයි. ලෝකයේ වෙනත් රටවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් අතර ඔවුන් දුම්රියෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා බොහෝ ප්‍රයෝජන ලබා ගනිමින් තිබේ. ඒ නිසා දියුණු රටවල මිනිසුන් පොදු ප්‍රවාහන සේවා වැඩි වශයෙන් භාවිතයට යොමුව ඇත. ඒ වෙනුවට අපේ රටේ පොදු ප්‍රවාහන සේවා කරුමයක් බවට පත්ව ඇති අතර ඒ නිසාම හැම කෙනෙක්ම උත්සාහ ගන්නේ රෝද හතරේ වාහනයක් බැරි නම් අඩු තරමේ මෝටර් සයිකලයක් හෝ තමාට පුද්ගලිකව ගැනීමටය. එහෙත් ඒ සඳහා වත්කමක් ඇත්තේ කීයෙන් කී දෙනාට ද? ඒ නිසා වඩාත්ම සුදුසු වන්නේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කර ශක්තිමත් කිරීමයි.

ජන හා නිවාස සංගණනය – 2024

ශ්‍රී ලංකාවට ජන සංගණනයන් පැවැත්වීම පිළිබඳව දීර්ඝ ඉතිහාසක් ඇති අතර නීතිමය පදනමක් මත පැවැත්වූ මුල්ම ජන සංගණනය 1871 වර්ෂයේ මාර්තු මස 27 වන දින පවත්වා ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය එය විය. ශ්‍රී ලංකාවේ අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වනු ලැබූයේ 2012 වර්ෂයේ දී වන අතර එය 14 වන සංගණනයයි. ඉන් පසු 15 වන ජන හා නිවාස සංගණනය වර්ෂ 2021 දී පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය සිදු කිරීමට අපහසු වී ඇත. ඒ අනුව 2023 හා 2024 වර්ෂවල දී එම ජන හා නිවාස සංගණනය පැවැත්වීමට තීරණය කර තිබේ. මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ අග භාගය තුළ දී සියලුම ගොඩනැඟිලි හා සංගණන ඒකක ලැයිස්තුගත කිරීමටත් 2024 වසරේදී පහළොස් වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමටත් සැලසුම් කර ඇත. සංගණන ආඥා පනත අනුව රටේ සියලු පුරවැසියන් මෙම සංගණනය සඳහා නිවැරදි තොරතුරු ලබා දීමට බැඳී සිටියි. ඒ නිසා මෙම ජාතික කර්තව්‍ය සඳහා රටෙහි සියලු ජනතාවගේ පූර්ණ සහයෝගය අවශ්‍ය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment