ගම්පොළ කාන්තාවක් ඝාතනය කර ඇඳක් යට දමලා

342

ගම්පොල දැල්පිටිය නවදේවිට ජනපදයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කොට කාමරයක ඇඳක් යට දමා තිබියදී සොයාගත් බව ගම්පොල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ ගලේ වත්තේගෙදර පත්මා ධර්මසේන නැමති 63 හැවිරිදි දෙදරු මවකි.

රෝහල් සේවිකාවක් ලෙස විශ්‍රාම ලබා අවිවාහක බාල දියණිය සමඟ නවදේවිට ප්‍රදේශයේ මෙම නිවසේ ඇය සිටි බව පොලිසිය පවසයි.

ඇගේ වැඩිමහල් දියණිය විවාහ වී මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටී.

ඝාතනය වූ කාන්තාව සමඟ සිටි ගහින්තැන්නෙ ගෙදර අපේක්ෂා මධුවන්ති නැමැති බාල දියණිය ගුරුවරියක ලෙස පතන බෝගහවත්ත සිංහල විද්‍යාලයේ සේවය කරන බව පැවසේ.

අලුයම පහට පමණ නිවසින් පිටව සේවයට යන ඇය යළි සවස පහට පමණ නිවසට පැමිණෙන බවද පොලිසිය කියයි.

පසුගිය (9) දින දියණිය සේවයට ගිය පසු මියගිය පත්මා ඇගේ හා සැමියාගේ විශ්‍රාම වැටුප ගැනීම ඇතුළු කරුණු කිහිපයකට ගම්පොල නගරයට හා පේරාදෙණිය නගරයටත් බැංකුවලටත් ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම කාර්යයන් අවසන් වී දහවල් එකට පමණ ඇය නිවසට පැමිණ තිබේ.

දියණිය සවස පහට පමණ නිවසට පැමිණෙන විට නිවස වසා තිබීම නිසා මව සොයා ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී තිබුණ ද එයින් ප්‍රතිචාරයක් නොමැති නිසා දියණිය මේ බව බාප්පට පවසා තිබේ.

අවසානයේ ඔවුන් එදින රාත්‍රී හතයි තිහට පමණ නිවසේ ජනේලයක් ගලවා නිවස තුළට ගොස් බලන විට ඇගේ සිරුර කාමරයක ඇඳක් යට තිබී හමුවී තිබේ.

මියගිය කාන්තාව නගරයට ගොස් නිවසට පැමිණ ඇඟ සේදීමට සූදානම් වූ ආකාරයක් දක්නට ලැබෙන අතර ඒ සඳහා හැඳ සිටි ඇඳුම් පිටින් ඇය මියගොස් තිබුණි.

රෙදි පටියකින් ගෙල තද කර මරා ඇති ලක්ෂණ දක්නට තිබෙන බව පොලිසිය පැවසීය.

යම් අයකු ඇය මරා ඇගේ මුදල් ගන්නට ඇතැයි සැක කරන අතර ඇගේ ගෙල බැඳ සිටි රන් මාලයක් තිබූ බව ද එය අතුරුදන්ව ඇතැයි ද පැවසේ.

දියණියගේ කාමරයද අවුස්සා තිබූ අතර නිවසේ මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයක් පුටුවක් යටට දමා තිබියදී හමුවුණි.

ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය.

මහනුවර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. පී. ජයසුන්දර මහතාද පැමිණ සිටි අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා එය මහනුවර මහ රෝහල වෙත රැගෙන යෑමට ද තීරණය විය.

පොලිස් නිල සුනඛයන් ද යොදා සිදුකළ පරීක්ෂණයේදී සිම්බා නැවති එම සුනඛයා නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුර ගෙවා ගම්පොල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ බොරලු මංකඩ හංදිය තෙක් ඉව ඔස්සේ පැමිණ නතර විය.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සෙනසුරාදා දින මහනුවර මහ රෝහලේ දී පැවැත්වූ අතර එහිදී අධිකරණ වෛද්‍ය ජයසූරිය මහතා තීරණය කොට තිබුණේ මෙය ඝාතනයක් බවයි.

ඇගේ ගෙල රෙදි පටියකින් සිර කොට අනතුරුව දෑතින් ගෙල මිරිකීමක් සිදු කර ඇති බව ද සඳහන් විය.

ගෙල මිරිකීම සඳහා පාදයෙ දනිහ පපුවට තබා වැර ගැනීමේදී ඇගේ ඉල ඇට දෙකක් ද කැඩී ඇති බව සඳහන් ය.

ඈ දූෂණයට ලක් වී ඇත්දැයි පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බව පොලිසිය පැවසීය.

ගම්පොල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රන්ජන් අබේවංශ උප පොලිස් පරීක්ෂක දසනායක පොලිස් සැරයන් 21980 අමිත 63617 කිත්සිරි 33128 දිසානායක කොස්තාපල් 85839 සේවියර් 103238 ලක්ෂාන් ස්ථානීය පරීක්ෂණය අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. බන්දුල පොලිස් සැරයන් 12642 ආර්. එම්. රත්නායක කාන්තා පොලිස් සැරයන් ඉනෝකා උඩගෙදර හා කොට්ඨාස විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර මනෝදරගෙදර ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment