වැඩ නැති මීටරය (මිහින්තලේ ලලිත් එදිරිසිංහ සිද්ධිය)

325

 වයස අවුරුදු 16 සිට අවුරුදු 60 දක්වා වූ ගැහැනුන්, පිරිමින් සහ සමලිංගිකයන් අලෙවි කරන කුණු වෙබ් සයිට් දෙකක් අන්තර්ජාලයෙහි තිබිණ. මින් එක සයිට් එකක් වන ලංකා ඇඞ්ස් මීට සති කිහිපයකට පෙර එහි අයිතිකරුවා විසින්ම වසා දමන ලදී. දෙදරු පියකු,  පරිගණක ඉංජිනේරුවකු වූ මෙම පුද්ගලයා අදටත් ලංකාවේ ජනප‍්‍රියම පිරිත් වෙබ් සයිට් එක පවත්වාගෙන යයි. මේ අතර තවමත් නොවසන ලද වෙබ් සයිට් එකක් අන්තර්ජාලයේ ඉතිරිව පවතී. වසා දැමූ ලංකා ඇඞ්ස් සයිට් එක හරහා ලිංගික ශ‍්‍රමිකයන් විකිණූ දෙල්කඳ ටිරෝන්, නුගේගොඩ කෙවින්, කඩුවෙල පවන් වැනි සුප‍්‍රකට පිංපියෝ විශාල මුදල් ඉපයූහ. පිංපියා යනු කුණුහරුපයක් නොවේ. ලිංගික සේවනය සඳහා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගැහැනුන් පිරිමින් හෝ සමලිංගිකයන් විකිණීමෙහි හෙවත් කුට්ඨනය කිරීමෙහි නිරත වන්නාට Pimp යන පදය ඉංග‍්‍රීසියෙන් යොදනු ලැබේ. පිංපියා යනු එම ඉංග‍්‍රීසි වචනයේ සිංහල ස්වරූපයයි.

සාමාන්‍යයෙන්, මෙවැනි වෙබ් සයිට් එකකට අවතීර්ණ වී අවුරුදු 15 සිට 25 දක්වා වූ තරුණියක් පැයකට රුපියල් 6000 සිට 25000 දක්වා ගාස්තුවක් ගෙවා පිංපියකු වෙතින් ලබාගත හැකිය. මේ රුපියල් 6000 තුළ හෝටල් කාමරයට රු. 1000 කුත්, පිංපියාට රු. 2000 කුත්, ලිංගික ශ‍්‍රමිකයාට රු. 3000 කුත් අඩංගුව තිබේ. රුපියල් 25,000 ක් අය කරන ලිංගික ශ‍්‍රමිකයකුගෙන් පිංපියා රු. 10,000 ක් ලබා ගනී. මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති වන ලලිත් එදිරිසිංහ විසින් වෙබ් සයිට් එකක් හරහා ලබාගත් පසළොස් හැවිරිදි දැරියක බම්බලපිටියේ හෝටලයක රඳවා ගෙන දූෂණය කිරීමේ සිද්ධියක් මේ දිනවල ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. පිංපියන් එකකු හෝ කිහිපදෙනකු විසින් පසුගිය තුන් මාසය තුළ මේ දැරිය පිරිමින් සිය දෙනකුට අලෙවි කරනු ලැබ තිබිණ. ඒ අනුව මේ කුඩා දැරිය දිනකට තුන් දෙනකු හෝ හතර දෙනකු අතින් දූෂණයට ලක්ව ඇත. මෙහිදී අප දූෂණය යන වචනය යොදන්නේ ඇයි? ඇය බාල වයස්කාර දැරියක් වන හෙයිනි. වයස අවුරුදු 18 ට අඩු තරුණියක් සමග කැමැත්තෙන් සිදුවන ලිංගික එක්වීමක් පවා දූෂණයකි.

මේ සිද්ධියේදී ලලිත් එදිරිසිංහ පහළොස් වැනිදා දක්වා රිමාන්ඞ් කර ඇත. එම අවස්ථාවේදී ඔහුගේ නීතිඥයා ගරු අධිකරණයට කියා සිටියේ ලලිත් එදිරිසිංහ ලිංගික බෙලහීනතාවකින් පෙළෙන බවයි. එහි යටි අදහස වන්නේ එදිරිසිංහ නෂ්ටකාමයෙන් පෙළෙන්නකු නිසා පසළොස් හැවිරිදි දැරිය ඔහු වෙතින් දූෂණය වී නැති බවයි. මෙහිදී වැදගත් යමක් කියමු. මීටරය වැඩ නැති එකා ඇතැම් අවස්ථාවලදී මීටරේ වැඩ කරන එකාට වඩා භයානක ය. ඇතැම් නෂ්ටකාම කාරයෝ පරපීඩා කාමුකයෝය. ඔවුහු සයනය මත සිටින ස්වකීය ලිංගික ගොදුරට පහර දී ඔවුන්ගේ රුධිරය දැක සතුටු වෙති. මේ නිසා ලලිත් එදිරිසිංහ රිමාන්ඞ් කර ඇති හිරගෙදර තුළ සිටින සිරකරුවන්ද පරිස්සමෙන් කටයුතු කළ යුතුය. භයානක අනතුරක් ඔවුන්ගේ අත මානයේ තිබේ. එම අනතුරුදායි පුද්ගලයාගේ මීටරය වැඩ නොකරන බව කිසිදු සිරකරුවෙක් විශ්වාස නොකළ යුතුය. කුඩා දැරිය අපහරණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට 25 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇත. මින් එකෙක් නැව් කපිතාන් කෙනකි. අනෙකා මැණික්කාරයෙකි. නැව් කපිතාන් කාණ්ඩයට සහ මැණික් මුදලාලි කාණ්ඩයට අයත් වන පුරුෂයන්ගෙන් 90% ක් පමණ ස්ත‍්‍රී ධූර්තයෝය. මේ දෙවර්ගයම සමාජ රෝග වාහකයෝය. ශ‍්‍රී ලංකාවේ පළමුවැනි ඒඞ්ස් රෝගියාද මැණික්කාරයකු බව අප අමතක නොකළ යුතුය. ලලිත් එදිරිසිංහ පොහොට්ටුවෙකි. මේ වනවිට ඔහු පක්ෂයෙන්ද පන්නා දමා ඇත. ඒ ගැන පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් වෙත අපගේ ස්තුතිය හිමිවේ.

කුඩා දරුවන් ලිංගික භාණ්ඩ ලෙස යොදා ගැනීමත් අපහරණය කිරීමත් හැම රටකම තිබෙන ජාතික ප‍්‍රශ්නයකි. ශ‍්‍රී ලංකාවේදී මේ ප‍්‍රශ්නය සමාජය සමග සම්මිශ‍්‍රණය වූ දෛනික ගැටලූවකි. මේ ප‍්‍රශ්නයට විසඳුම් සැපයීම සඳහා සකස් කෙරුණු ජාතික මට්ටමේ ප‍්‍රතිපත්තියක් අදටත් නැත. ළමා හා කාන්තා කාර්යාංශය කරන්නේ එයට හැකි උපරිමයයි. ඒ ගැන අප ඔවුනට අපේ ගෞරවය පුද කරමු. එහෙත් ළමයින් අපහරණය කිරීම නිසි ආකාරව  වර්ගීකරණය කෙරෙන දත්ත ගබඩාවක් අදටත් මේ රටේ නැත. සාමාන්‍යයෙන් ආකාර දෙකකට ළමයකු අපහරණය කළ හැක. ඒ කායික සහ මානසික වශයෙනි. ළමයකු  ලිංගිකව අපහරණය කිරීම යනු මේ කොටස් දෙකේම එකතුවකි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව 2015 දී ළමයින් 11,212 ක් මේ දහම් දිවයින තුළ දී අපහරණය වූහ. (එය දහමේ වරද නොව වලත්තකමේ වරදය) ඊට අදාළ පැමිණිලි 11,212 න් විසඳීමට හෝ යුක්තිය ඉටු කිරීමට ලැබුණේ පැමිණිලි 5450 ට පමණි. ඒ අනුව ඉතිරි පැමිණිලි වලට අදාළ දරුවන් 5762 ට සාධාරණය ඉටු වී නැත. 2016 දී අපහරණය වූ ළමයින් ගැන පැමිණිලි 9535 ක් රජයට ලැබිණ. එයින් පැමිණිලි 5046 ට සාධාරණය ඉටු වී නැත. 2018 දී මෙවැනි පැමිණිලි 9266 ක් ලැබී ඇති අතර විසඳා අවසන් කරන ලද්දේ පැමිණිලි 1940 ක් පමණි. ඉතිරි පැමිණිලි 7326 විසඳුම් නැතිව අනාථ වී ඇත. ළමයකු අපහරණය කළ විට ඒ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි හෝ පරිවේශනීය සාක්ෂි ලබා ගැනීම ඉතා දුෂ්කරය. සමහරවිට අපහරණය වන අවස්ථාවේදී සිදුවූ තැතිගැන්ම නිසා පොඩි එකාට කිසිවක් මතක නැත. විටෙක තමාට සිදුවූ භීෂණ ක‍්‍රියාව මතක් කිරීමට ද දරුවා බිය ය. එබැවින් නිසි පරිදි සාක්ෂි

ගොඩනගාගත නොහැක. මෙතැනදී පොලිසිය සද්භාවයෙන් කටයුතු කරන්නේ නම් විත්තිකරු මීටරෙන් වහලේ එල්ලා පහර දීමෙන් තොරතුරු ලබාගත හැකිය. අපි පොලිස් පහරදීම් වලට ප‍්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ වෙමු. එහෙත් ස්ත‍්‍රී දූෂකයන්ට පහරදීම ගැන නිහඬ වෙමු. දූෂකයා පොලිසියට කැඳවා ගෙනවිත්, බුරියානි එකක් කන්න දී, සැන් පවුඩර් දමා, බම්ප් එක සිටින පරිදි කොණ්ඩය ද පීරා ”අනේ මල්ලි අපට වාත වෙන්නේ නැතුව හොඳ මල්ලි වගේ ඇත්ත කියන්නැයි” කිව්වොත් ඔහු කිසිවිටකත් ඇත්ත කියන්නේ නැත. මේ නිසා ඔහු මතට ගුටි ලෝඞ් එකක් බා ඇත්ත දැනගෙන නඩුව

ගොනු කිරීම හැර වෙනත් විකල්පයක් පොලිසියට නැත. මෙහිදී මේ කතු වැකිය ගැන යමක් කීමට සිදුවේ. මෙහි එන ඇතැම් තැන් සහ යෙදුම් ව්‍යක්ත නොවන බවද දෘඪ බවද අපි පිළිගනිමු. එහෙත් මේ සමාජ ප‍්‍රශ්නය සුමට භාෂාවකින් කී විට කවුරුවත් ඇහැක් ඇරලාවත් ඒ දෙස බලන්නේ නැත. සමහරවිට මේ කතු වැකිය එහි ඇති කටුක ස්වභාවය නිසා රූපවාහිනී චැනලවල නොකියවනවා ඇත. ඒ ගැන අප තුළ කනගාටුවක් ඇතත් සාහසික ස්ත‍්‍රී දූෂකයන් සම්බන්ධයෙන් යම් ප‍්‍රමාණයකට හෝ කතා කිරීමට ලැබීම ගැන අපේ හෘද සාක්ෂිය උද්දාමයට පත්ව සිටී. ඒ සමගම කිව යුතුව ඇත්තේ ලලිත් එදිරිසිංහ වැනි පාපියකු මිහින්තලේ උපදින බව දැන සිටියේ නම් මිහිඳු මා හිමියන් කිසිකලෙකත් මිහින්තලයට වැඩම නොකරන බවය. අඩු ගණනේ මුවාවත් ඒ පැත්තෙන් යන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment