කුඩු ජාවාරම් කළ ජාතික රෝහල් සේවිකාව අත්අඩංගුවට

208

රූපලාවන්‍ය ක්‍රීම් විකුණන මුවාවෙන් ජාවාරමේ යෙදිලා
මම හෙළි කළේ ඔය වගේ සිද්ධියි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කොළඹ ජාතික රෝහලේ සුළු සේවිකාවක හෙරොයින් සමග කටුනායක පොලිසිය මගින් පෙරේදා (01 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

රූපලාවන්‍ය ක්‍රීම් වර්ග නිෂ්පාදනය කර බෙදාහරින මුවාවෙන් මෙම කාන්තාව කාලයක් තිස්සේ හෙරොයින් අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ඇතැම් සුළු සේවකයන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට කරන ලද හෙළිදරව්වක් නිසා එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂව සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරුද්ධව රෝහල් සේවකයන් දැඩි විරෝධයක් එල්ල කර තිබිණි. එම විරෝධය හමුවේ බෙල්ලන මහතා තාවකාලිකව ජාතික රෝහලෙන් ඉවත් කිරීමට සිදුවිය.

කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රෝහල් සේවිකාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ආඬිඅම්බලම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටිමින් ජාතික රෝහලේ සේවය සඳහා පැමිණ ඇත.

රූපලාවන්‍ය ක්‍රීම් වර්ග නිෂ්පාදනය කර විකිණීම අමතර ආදායමක් කරගෙන ඇති මෙම කාන්තාව එම ව්‍යාපාරය මුවාවෙන් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇත. සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ක්‍රීම් වර්ග බහාලන ප්ලාස්ටික් කුප්පිවල හෙරොයින් සඟවා ගෙන සිට ඇත. එම කාන්තාව හෙරොයින් කුප්පි මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයකුට ලබාදීමට සූදානමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ ජාතික රෝහල තුළ සේවය කරන ඇතැම් සුළු සේවකයන් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා හෙළිකර තිබුණේ සාක්‍ෂි ද සමගිනි. එම හෙළිදරව්වෙන් පසු කෝපයට පත්ව රෝහලේ ඇතැම් සුළු සේවකයෝ හා වෘත්තීය සමිති බෙල්ලන මහතා නිල කාමරයේ සිරකරගෙන වරක් විරෝධතාවක ද නිතර වූහ. එහිදී බෙල්ලන මහතා කාමරයෙන් එළියට ගනු ලැබුවේ පොලිස් ආරක්‍ෂාව මැදිනි. මේ පිළිබඳ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ තමා කළ හෙළිදරව්වත් මෙම සිද්ධියත් සමග සම්බන්ධ බවයි.

සිද්ධිය පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

හේමන්ත රන්දුණු, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment