අන්නාසි රසයි ඒත් මෙහෙම වුණොත් මාරාන්තිකයි

517

එලොව ගිහින් මෙලොව ආපු කාරියවසම් කියන පුදුම හිතෙන කතාව

වකුගඩුවලට විෂබීජ ගිය විදිහ වෛද්‍යවරුන්ට අදටත් ගැටලුවක්…

මම කාපු අන්නාසි ගෙඩිය පොළඟෙක් කාලා ඇති කියලා හිතෙනවා…

නරක් වෙච්ච අන්නාසි කන්න එපා නයි, පොළොන්ගු අන්නාසි කනවා…

අදහා ගැනීමට නොහැකිය. එහෙත් කතාව අවසානයේ පෙර පිනකට ඔහු තවමත් ජීවත් වන බව හැඟේ. කුතුහලයෙන් පිරුණු පෙළගැසෙන කතාවෙන් සමාජයට ආදර්ශමත් පණිවිඩයක් ලබාදිය හැකි බව ද සැබෑය. එහෙයින් නොසිතූ විරූ හටගත් රෝගයකින් අකාලයේ මියැදෙන්නට ගොස්, පූරුවේ පිනකට මේ වනවිට නිරෝගී සම්ප්පතියෙන් ජීවත් වන සිසිර සාගරනාත් කාරියවසම් කියන මේ කතාව ඔබට කියන්නට අපි අදහස් කළෙමු. ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

ඔහු පදිංචි ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේය. හේ ලොවම පිළිගත් චොක්ලට් ආයතනයක කළමනාකරුවෙකි. 2019 වර්ෂයේ අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් මුළු රටම අන්ධකාරයෙන් ඇළලී ගිය පසුබිමක සිසිර කාරියවසම් හිටි හැටියේ අසනීප වන්නේය. ඒ 2019 වර්ෂයේ මැයි මස දෙවැනිදාය. එදින රාත්‍රියේ හටගත් තද බල උණ රෝගී තත්ත්වයකින් පීඩා විඳි හේ හිමිදිරියේම අවදි වී බිරිඳ සහ වැඩිමහල් පුතා සමඟ පවුලේ වෛද්‍යවරයා හමුවට ගොස් තිබිණි. රෝග ලක්‍ෂණ පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා වෛරස් උණක් යැයි පවසමින් ඖෂධ ප්‍රතිකාර ලබා දී තිබිණි. එහෙත් එම බෙහෙත්වලට උණ අඩු නොවිණි. මාස කිහිපයක් තිස්සේ පැවැති අතේ වේදනාවත් සමඟ ඇති වූ රෝගී තත්ත්වයක් දෝ සැක සිතූ කාරියවසම් මහතා පහුවෙනිදා හිමිදිරියේම තලවතුගොඩ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවට ගියේය.

‘හොස්පිටල් එකට යනකොට මට ගොඩක් අමාරු දැනුණා. හුස්ම ගන්න අපහසු වෙලා මුළු ඇඟම පණ නැති වෙලා යන ගතියක් දැනුණා…’ අපගේ කතාව මොහොතකට යටපත් කර සිසිර කාරියවසම්ගේ වචන ඉස්මතු කළෙමු.

“අපහසුවෙන් ඩොක්ටර් මුණගැහිලා අතේ රෝගය ගැන කිව්වා. ඩොක්ටර් පරීක්‍ෂා කරල ‘අතේ ප්‍රශ්නයක් නෑ, උණට ප්‍රතිකාරයක් ගන්න කියලා උපදෙස් දුන්නා. ඒ මොහොතේම කොළඹ මහ රෝහල සමීපයෙහි පෞද්ගලික රෝහලක හිතවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ට කතා කර උණ රෝගයත්, ඇඟට දැනෙන අපහසුතාවයත් පැහැදිළි කර එම රෝහලට ආවා. ඒ එනකොට හොඳටම අමාරුයි. හොස්පිටල් එක ඇතුළේ වාහනය නතර කළ හැටියේ බැහැල මම කෙළින්ම බාහිර රෝගී අංශයට ගිහින් එතැන හිටිය වෛද්‍යවරයා දැනුවත් කළා. ඒ ඩොක්ටර් පරීක්‍ෂා කරනකොට මගේ ඇඟේ ප්‍රෙෂර් හොඳට ම අඩු වෙලා තිබුණා. ඊ.සී.ජී. පරීක්‍ෂා කරල සයිලන්ඩ් හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙනවා කියලා මට කිව්වා. පෙණහලුවලට වතුර බැහැල තියෙන බවත් කිව්වා. සිගරට් බොනවද? මත්පැන් පාවිච්චි කරනවද? කියලා ඩොක්ටර් ප්‍රශ්න කළා. මගේ ජීවිතේට සිගරට් බීලා නෑ. ඒ වෙනකොට මත්පැන් පාවිච්චිය නතර කර අවුරුදු පහළොවකට වැඩියි. මගේ පිළිතුරට ඩොක්ටර් පුදුම වෙමින් හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළා. එතැනදි හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් පරීක්‍ෂා කර ඉක්මනට දැඩිසත්කාර ඒකකයට යොමු කරන්න කියල උපදෙස් දෙනවා මට ඇහුණා. ඒ වෙනකොට මගේ සිහිකල්පනාව අඩු වෙලා තිබුණේ…’ හේ නිහඬ විය.

අනතුරුව ඔහුව එම රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබිණි. එදින රාත්‍රිය වනවිට ඔහුගේ සිහිකල්පනාව සම්පූර්ණයෙන්ම නැති වී ගියේය. වකුගඩු අක්‍රීය වී තිබිණි. විටින්, විට පියවි සිහියට පැමිණෙන විට හේ කොන්දේ වේදනාවෙන් බෙරිහන් දුන්නේය. වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු, හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඇතුළුව විවිධ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් පරීක්‍ෂණ කරමින් කාරියවසම් මහතාට ප්‍රතිකාර කර තිබිණි. වකුගඩු අක්‍රීයවීම හේතුවෙන් විටින්, විට ලේ පිරිසිදු කර තිබිණි. වකුගඩුවලට විෂබීජයක් ඇතුළු වී ඇති බවට සැකකරමින් ප්‍රතිකාර ලබා දුන්න ද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට කාරියවසම් මහතාගේ රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනාගැනීමට අපොහොසත් වී ඇත. දැඩිසත්කාර ඒකකයේ දින, සති ගෙවී යන විට හේ අසිහියෙන් විකාර කියවන්නට පටන්ගෙන තිබිණි. වෛද්‍යවරුන්ට පහරදෙන තත්ත්වයට හේ දරුණු වී තිබිණි. ඇඳේ ගැටගසා ප්‍රතිකාර ලබාදීමේ මට්ටම ට ඔහුගේ මනසික තත්ත්වය විකෘති වී ඇත.

‘ඒ වෙනකොට මට ජීවිතය එපා වෙලා තිබුණේ. කොන්දේ වේදනාව, හිසේ කැක්කුම මක්කරලවත් දරාගන්න බෑ. නින්ද යන්නෙ නෑ. සමහර එන්නත් විදිනකොට මුළු ඇඟම සීතල වෙලා යනවා. තව සමහර එන්නත් විදිනකොට මුළු ඇඟම ගිනි ගන්නවා වගෙයි. ඇඟ පුරා බට ගහලා. එහාට, මෙහාට හැරෙන්නවත් බෑ. දරාගන්න බැරි වේදනාවක්. කිහිප සැරයක් ලොකු පුතාට කිව්වා ගෙදර එක්කරගෙන යන්න කියලා. ඒත් පුතාලා එහෙම කළේ නෑ. දවසින්, දවස පරීක්‍ෂණ වෙනස් කරමින් වෛද්‍යවරුත් දැඩි උත්සාහයෙන් ප්‍රතිකාර කළා. මට සිහිය තියෙන වෙලාවට ‘බය වෙන්න එපා ඔයාව ගොඩ ගන්නවා’ කියලා වෛද්‍යවරු මගේ හිත ශක්තිමත් කළා. ඒත් මට හිතුණේ ජීවත් වෙන එකක් නෑ කියලා…”

“මියගිය ඥාතීන්, හිත, මිතුරන්, අසල්වාසීන් මගේ ඇඳ වටේ ට ඉන්නවා පේන්න ගත්තා. ඒ අයත් එක්ක මම කතා කළා. එහෙම දවස් දෙක, තුනක් යනකොට මම මැරෙනවා හීනෙන් දැක්කා. සුදු රෙදිවලින් ඔතාගෙන ට්‍රොලියෙ තියාගෙන තල්ලු කරගෙන පහළට යනවා දැක්කා… ‘මේ මනුස්සය දඟලනවා වගේ බං’ කෙනෙක්, තවත් කෙනෙක්ට කියලා ට්‍රොලිය නැවත වාට්ටුවට තල්ලු කරගෙන එනවා මම දැක්කා. ඒ දවස් කිහිපයේ සම්පූර්ණයෙන් මට පෙනුණේ විකාර හීන. ඒ වෙනකොට මගේ පණ යන්නත් ඔන්න මෙන්න තමයි තිබුණේ. එක දවසක් හැන්දෑවක මගේ හුස්ම පිට වෙලා උඩට යනවා දැනුණා. වෛද්‍යවරු වට කරගෙන හුස්ම ගන්න දඟලනවා මම උඩ ඉඳගෙන බලාගෙන හිටියා. වෛද්‍යවරුන්ට මොනවත් කරගන්න බැරි වුණා. මම තව, තවත් ඉහළට ගිහින් අඳුරු ගුහාවක් ඇතුළෙන් ඈතට ගියා. එක තැනකදී භාවනා යෝගීව වැඩ සිටි ස්වාමීන්වහන්සේ දෙනමක් මම දැක්කා. උන්වහන්සේ වැඩ සිටි ස්ථානය හොඳින් එළිය වැටෙන්න අවට ගණ අන්ධකාරයේ පැවතියේ…”

‘උඹ මොකද මෙහේ ආවේ…’ කතා කරන කෙනෙක් පෙනුණේ නෑ. ශබ්දයක් ඇහුණා.

‘අසනීප වෙලා හිටියා. මැරිලා මෙහේට එන්න ඇති…’ ඒ ශබ්දයේ තිබුණු

ගැඹුරු, ගුප්ත බවට නිරායාසයෙන් උත්තර පිට වුණා.

‘උඹට තවම මෙහෙට එන්න වෙලාව ඇවිත් නෑ. ඇයි මෙහෙට එන්න වෙයි කියලා හිතුවේ…’ නැවත මගෙන් ප්‍රශ්න කළා.

“මම දැහැමි ජීවිතයක් ගත කරමින් ධර්මයේ හැසිරෙන කෙනෙක්. මම සෝතාපන්න මාර්ගයේ ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ නිසා මේ ස්ථානයට එන්න ඇති කියලත් මම හිතනවා…”

අන්නාසි රසයි ඒත් මෙහෙම වුණොත් මාරාන්තිකයි

‘තාම උඹට මෙහේට එන්න වෙලාව ඇවිත් නෑ. උඹ ආපහු පලයං. උඹ මැරෙන්නෙ නෑ…’ ඒ වචන ඇහෙනකොට මගේ හිතට විශාල ධෛර්යක් ආවා…’ ඒ එක්කම මම පියවි සිහියට ආවා. වෛද්‍යවරු, නර්ස්ලා මගේ ඇඳ වට කරගෙන. ඒ මොහොතේ වෛද්‍යවරුත් එක්කත් මම හොඳට කතා කළා. එතැන ඉඳලා ටිකෙන්, ටික යහපත් තත්ත්වයට හැරුණා. ඒ සිද්ධිය වුණේ දැඩිසත්කාර ඒකකයට දාලා දහහතර වෙනි දවසේ. පැයෙන්, පැය වගේ වෛද්‍යවරු ඇවිත් පරීක්‍ෂා කර ‘ඔයා වේගයෙන් හොඳ තත්ත්වයට හැරෙනවා’ කියලා හරිම සතුටින් මා එක්ක කතා කළා. ඇඟට දැනුණු වේදනාවත් ටිකෙන්, ටික අඩු වුණා. මමත් නිතරම තුණුරුවන් සිහිකරමින් හිටියා. නර්ස්ලට බණ කියන තත්ත්වයට ආගමික කටයුතුවලට යොමු වෙලා හිටියා. ඒ විදිහට දවස් තුනක් යද්දී මාව සාමාන්‍ය වාට්ටුවකටත් දැම්මා. ඒ දාන මොහොතේ වෛද්‍යවරු මට කිව්වා ‘ඔයා හිටපු විදිහට මේ තත්ත්වයට පත් වෙයි කියලා අපිට විශ්වාසයක් තිබුණේ නෑ කියලා. වකුගඩුවලට විෂබීජයක් ගිහින් මෙච්චර අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා, හත් වතාවක් ලේ පිරිසිදු කරලා බේරිච්ච පළමු කෙනා ඔයා. අපිටත් පුදුමයි…’ වෛද්‍යවරු සුබ පතලා සාමාන්‍ය වාට්ටුවට මාව යොමු කරනකොටත් වකුගඩුවලින් ලේ යන එක නතර වෙලා තිබුණේ නෑ. අන්තිමේ වකුගඩුවල පිළිකාවක් ද කියලා වෛද්‍යවරු සැක කරලා පරීක්‍ෂණයක් කළා. එහෙම තත්ත්වයක් නෑ කියලා තහවුරු කරගෙන තමයි ජාතික රෝහලට මාරු කළේ. ජාතික රෝහලේ දවස් පහක් විතර ප්‍රතිකාර ලබා දීලා ටිකට් කපලා ගෙදර එව්වා. ඒ වෙනකොටත් වෛද්‍යවරුන්ට මගේ රෝගී තත්ත්වය නිශ්චිතව තහවුරු කරගන්න බැරිව තිබුණා. මාව බලන්න ආපු යාළුවො තමයි කිව්වේ ෆෘට් සැලට් එකට දැමූ අන්නාසි ගෙඩිය පොළඟෙක් කාලා ඇති කියලා…”

“මාසයක් විතර එකම විදිහට ඇඳේ ඉඳලා ගෙදර ඇවිල්ලත් මාස තුනක් යනකම් ඇවිදගන්න බැරි වුණා. ෆිසියො තෙරපි කරලා තමයි ඇවිදින තත්ත්වයට පත් වුණේ. මේ වෙනකොට වකුගඩු දෙක සම්පූර්ණයෙන් සුවපත් වෙලා තියෙනවා. මට වයස 38 ඉඳලා සීනි තිබුණා. අසනීපයෙන් පස්සෙ ශරීරයේ සිනී පාලනයත් හොඳින් සිද්ධ වෙන බව බෙහෙත් ගන්න විශේෂඥ වෛද්‍යවරයා කිව්වා. බෙහෙතුත් අඩු කළා. අසනීපය හැදෙන්න පෙර හිටිය තත්ත්වයට වඩා දැන් මම නිරෝගීව ඉන්න බව මටත් දැනෙනවා. ඒ වගේම ඉස්සරටත් වඩා දැන් දිනපතා ආගමික කටයුතුවල නිරත වෙනවා. දැන් මම උත්සාහ කරන්නෙ මේ ආත්ම භවයේදීම නිවන් දකින්න. අසනීප වෙලා හිටිය දවස්වල මගේ නෝනා දිනපතා බෝධි පූජා පවත්වලා තිබුණා…’ හේ අසල අසුන්ගෙන සිටි බිරිඳ දෙසට හැරිණි. ඇය හේමාලි විජේසිංහය. කාරියවසම් මහතාගේ කතාවට ඇය ද අඩු වැඩි එකතු කළාය.

‘මහත්තයා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දවස්වල පිල්ලෑව පන්සලේ එක දිගට දවස් හතක් බෝධි පූජාවක් කළා. මහත්තයගේ වයසට හරියන්න දවස් හතේම නෙළුම් මල් පූජා කළා. පහන් පත්තු කළා. හත්වෙනි දවස වෙනකොට මහත්තය ගොඩක් දුරට යහපත් තත්ත්වයට හැරිලා තිබුණා…’ කාරියවසම් මහතාට තිබූ මාරක අපල ගැන ඇය තව බොහෝ දේ කීවාය. ඒ සියලු තොරතුරු පෙළගැසෙන කතාවට ඇවැසි නැත.

හදිසි රෝගී තත්ත්වය හටගන්නා විට සිසිර කාරියවසම් මහතාට වයස අවුරුදු පනස්හතකි. එහෙත් ඔහු කුඩා කාලයේ සිට පළතුරු කෑමට දැක් වූ ප්‍රියතාවය අඩු වී නොතිබිණි. 2019 මැයි මස 02 වැනිදා දහවල් නිවසෙ තිබුණු පළතුරු වර්ග කිහිපයක් කපා එකතු කළ කාරියවසම් මහතා රසම, රස ෆෘට් සැලඩ් එකක් හැදුවේය. ඒ මොහොතේම ඔහු විසින් ෆෘට් සැලඩ් එකෙන් භාගයකට ම වගකියමින් ඉතිරිය ශීතකරණයේ තැන්පත් කළේ පවුලේ සෙසු සාමාජිකයන්ට ය. එහෙත් පවුලේ වෙන කිසිවෙක් ෆෘට් සැලඩ් කා නොතිබිණි. ෆෘට් සැලඩ් කා ටික වෙලාවක් ගතවන විට කාරියවසම් මහතාගේ ඇඟට අමුත්තක් දැනුණ ද ‘අන්නාසි’ නිසා වෙන්න ඇති සිතමින් ඔහු ඒ ගැන සැලකිලිමත් නොවිණි. එහෙත් හදිසි රෝගී තත්ත්වයට හේතු වී ඇත්තේ අන්නාසිය. කාරියවසම් මහතා සුවපත් වී අවසානයේ තහවුරු කරගෙන ඇත්තේ ෆෘට් සැලඩ්වලට එකතු කර තිබෙන අන්නාසි ගෙඩිය පොළඟෙක් හොට ගසා ඇති බවත්, ඒ තුළින් ඔහුගේ ශරීරයට පොළොන් විෂ ඇතුළු වී ඇති බවය. නිශ්චිතව ඒ බව තහවුරු කරගෙන ඇත්තේ ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරු නොවේ. හිත මිතුරන් ලබාදුන් තොරතුරු මත කාරියවසම් මහතාය. වකුගඩුවලට විෂ බීජය ඇතුළු වී ඇති ආකාරය අදට ද වෛද්‍යවරුන්ට ගැටලුවකි.

කාරියවසම් මහතා ජීවත්වනුයේ අන්නාසිවලට සුපතල ගම්පහය. අන්නාසි වතුවල නයි, පොළොඟුන් බුරුතු පිටින් ගැවසෙන බව හේ හොඳින් දැන සිටිනුයේ හිත, මිතුරන්ට මහ විසල් අන්නාසි වතු තිබෙන නිසාය. එමෙන්ම අන්නාසි වතුවලදී සර්පයන් දෂ්ඨ කර සේවකයන් ආසාධ්‍ය තත්ත්වයට පත් වන අවස්ථා එමට බව ද හේ දැන සිටියේය. සර්පයන්, විවිධ සතුන් කෑ අන්නාසි ගෙඩි තොග පිටින් වෙළෙන්දන් රැගෙන ගොස් කෑලි කපා අලෙවි කරන බව ඔහු දැන සිටියේය. ඇතැම් ජූස් බාර්වලට ද සතුන් කෑ අන්නාසි රැගෙන යන බව හේ අපට කීවේය. නුවර පාරේ අන්නාසි කඩ පේළියේ කෑලි කපා ලුණු, මිරිස් දමා රසට පිළියෙළ කර තිබෙන අන්නාසි බෑග් පමණක් නොව, රට පුරාම වෙළෙන්දෝ කෑලි කපා විකිණීමට, අච්චාරු කර විකිණීමට ගන්නා අන්නාසි බොහෝවිට නරක් වී ඉවත දැමිය යුතු අන්නාසි බව අප කළ ගවේෂණයේදී කරුණු සහිතව සනාථ විය. අන්නාසි පමණක් නොව කෑලි කර විකුණන, අච්චාරු කර විකුණන වෙනත් බොහෝ පළතුරු පරිභෝජනයට නුසුදුසු ඒවා බවට සැක නැත.

එමෙන්ම අන්නාසි ගැන හොඳ අවබෝධයෙන් සිටින කාරියවසම් මහතා ද වෙළෙඳපොළෙන් ගත් අන්නාසි ගෙඩියේ නරක් වී තිබූ කොටස ඉවත් කර සෙසු ප්‍රමාණය ෆෘට් සැලඩ් පිළියෙළ කිරීමට ගත් පසුබිමක, විනෝද ගමනක් හෝ වෙනත් ගමනක් යන මිනිසුන් නුවර පාරේ අන්නාසි කඩ පේළියේ වාහන නතර කර අන්නාසි මල්ලක් රැගෙන යෑම පුදුම විය යුතු කාරණයක් නොවේ. බස් රථයට ගොඩවන වෙළෙන්දාගේ පෙරැත්ත කිරීම මත කෙනෙක් ලුණු මිරිස් සහිත අන්නාසි මල්ලක රස බැලීම අරුමයක් නොවේ. උද්‍යාන භූමියක, සැනකෙළි භූමියක සතුටු වන තම දරුවන්ට ලුණු මිරිස් සහිත අන්නාසි මල්ලක් ලබාදීමට මවුපියන් පස්මහා බැලුම් නොබලති. අධික මුදලක් වියදම් කර නිවසට රැගෙනවිත් කෑමට කපන අන්නාසි ගෙඩිය චුට්ටක් නරක් වී තිබූ පමණින් මුළු ගෙඩියම ඉවත දැමීමට බොහෝ අය කටයුතු නොකරති. එහෙත් පළතුරු පරිභෝජනයේදී අප සැලකිලිමත්විය යුතු කාරණා බොහෝය. ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුත්තකි. දැනට මහ මඟ ලුණු, මිරිස් සහිත මළු කර තිබෙන අන්නාසි උග්‍ර විෂ සහිත ඒවා බව දැන සිටීම ප්‍රමාණවත්ය. මිලදී ගන්නා අන්නාසි ගෙඩිය කපන විට පුංචි හෝ නරක්වීමක් ඇති නම් සම්පූර්ණ ගෙඩියම ඉවත්කිරීම යහපතකි. අන්නාසි වගාවේ සිට රසේ, ගුණේ ගැන හොඳ අවබෝධයකින් සිටින කාරියවසම් මහතාට ද වැරදුණු පසුබිමක අන්නාසි දකිනවිට මුවට කෙළ උනන ඔබට වැරැදීම අරුමයක් නොවේ. එහෙත් අප තේරුම්ගත යුත්තේ පොළොන් විෂ සහිත අන්නාසි අනුභව කර මැරෙන්නට ගොස් ජීවත්වීමට කාරියවසම් ට පෙර පින් තිබුණ ද එවැනි තත්ත්වයකදී අපට මොනව වෙයිද? යන්නය.

ජීවිත කාලයම පින් දහම් කටයුතුවල නිතර වෙමින්, දැහැමි දිවිපෙවෙතක් ගත කරන කාරියවසම් මහතාට ජීවිත දානය ලැබුණ ද සර්ප විෂ සහිත අන්නාසි අනුභව කළ මියැදුණු අය බොහෝය.

තරංග රත්නවීර
ඡායාරූප කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment