නයිජර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දමයි

244

අසල්වැසි අප්‍රිකානු රටවල හමුදාවන් විසින් ආක්‍රමණය කරනු ඇතැයි බියෙන් බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර් රාජ්‍යයේ ගුවන් කලාපය නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා දැමීමට එරට පාලන බලය අල්ලාගත් හමුදා පාලකයන් විසින් පෙරේදා (06දා) පියවර ගෙන තිබේ. නයිජර් හමුදා ජුන්ටාව විසින් ඉකුත් ජුලි මස 26 වැනිදා හමුදා කැරැල්ලකින් නෙරපා අත්අඩංගුවට ගනු ලැබූ නයිජර් ජනාධිපති මොහොමඩ් බැසුම් පෙරේදා රාත්‍රීය වන විට නැවත බලයේ පිහිටුවීමට පියවර නොගතහොත් එරට ආක්‍රමණය කරන බවට බටහිර අප්‍රිකානු රටවලින් සැදුම්ලත් ‘එකොවාස්’ සංවිධානය විසින් කර තිබූ දැනුම් දීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ

බටහිර අප්‍රිකානු රටවල් 15කින් සමන්විත ‘එකොවාස්’ සංවිධානයට අයත් යුද හමුදා ප්‍රධානීන් විසින් ඉකුත් සිකුරාදා නයිජීරියාවේදී රැස් වී තීරණය කර ඇත්තේ නයිජර් රාජ්‍යයේ හමුදා ජුන්ටාවට එරෙහිව හමුදාව යෙදවීම සඳහා විස්තරාත්මක සැලැස්මක් සකස් කිරීමටය. කෙසේ වුවද හමුදා අත්අඩංගුවට පත් වූ නයිජර් ජනාධිපති බැසුමි නැවත සේවයේ පිහිටුවන ලෙසට බටහිර අප්‍රිකානු රටවල නායකයන් විසින් දිගින් දිගටම සිදු කරන ඉල්ලීම් හේතුවෙන් එම රටවල් විසින් කුමන මොහොතක හෝ නයිජර් රාජ්‍යය ආක්‍රමණය කරනු ඇති බවට නයිජර් හමුදා ජුන්ටාව තුළ පවතින සැකය හේතුවෙන් විදේශීය බලවේගයක් විසින් නයිජර් රාජ්‍යය ආක්‍රමණය කිරීමට සැලසුම් කර ඇති බවට එම ජුන්ටාව විසින් රූපවාහිනිය ඔස්සේ නිවේදනය කර තිබේ. නයිජර් හමුදා ජුන්ටාවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ එරට හමුදාවන් රට ආරක්ෂා කිරීමට සූදානමින් පසු වන බවයි. නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමේ හමුදා කැරැල්ල යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව විසින් හෙළා දැක ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment