පායනකොට කොළඹට ලුණු වතුර

වසරකට මෙරට ට වැටෙන වැස්ස ඝන මීටර් බිලියන 130 යි…

තවම අපේ රටේ 60% ක් පානය කරන්නෙ ළිං ජලය..

කොළඹ භූගත ජලය බීමට තහනම්…

කොළඹ පානීය ජල පරිභෝජනය 50% න් වැඩි වෙනවා…

පිටකොටුවේ විකිණීමට තිබෙන සමහර වතුර බෝතල්වල මූඩි ගලවනකොට භූමිතෙල් ගඳ එනවා…

මිනිසාගේ පැවැත්මට වාතයේ ඔක්සිජන් වායුව අත්‍යවශ්‍ය මෙන්ම පොළොවේ ජලය තිබීම ද අනිවාර්ය වේ. ජලය නොමැතිව මිහිපිට කිසිදු සත්වයකුට ජීවත්වීමට නොහැකිය. මිනිස් වර්ගයාගේ සෑම කටයුත්තකටම ජලය අවශ්‍ය වේ. බීමට, සනීපාරක්‍ෂක කටයුතු, ආහාරපාන නිෂ්පාදන ක්‍රියාවලියට, කෘෂිකාර්මික සහ කාර්මික කටයුතු ඇතුළු සියලු කාර්යයන් සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. එහෙත් මිහිමත ඇති ජලය ප්‍රමාණයෙන් 96% ක් මුහුදු ජලය වන අතර එය පානය කිරීමට නුසුදුසුය. ඉතිරි ජල ප්‍රමාණයෙන් 2.1% ක් අයිස් කඳු හා ග්ලැසියර් ලෙස පවතින බැවින් එම ජලය ද බීමට නුසුදුසුය. තවත් 1% ක ජලය ප්‍රමාණයක් වායුගෝලයේ ජල වාෂ්ප ලෙස පවතී. සත්ව පරිභෝජනයට නුසුදුසු ගංගා, විල් හා භූගත ජලය හැරුණුකොට පෘතුවිය තුළ මිනිස් පරිභෝජනයට සුදුසු පානීය ජලය ඇත්තේ 0.3% ක් වැනි ප්‍රමාණයකි. එම ජලය ප්‍රමාණය ලෝකයේ රටවල අඩු වැඩි වශයෙන් බෙදී යන්නේය.

එංගලන්තය, හිමාල කඳුවැටිය අවට රටවල ලෝකයේ පිරිසිදුම පානීය ජලය බහුල අතර අපේ රටට ද පිරිසිදු පානීය ජලයෙන් කිසිදු අඩුවක් නැත. ලෝකයේ පිරිසිදු පානීය ජලය බහුල ප්‍රධාන රටවල් 10 ඇතුළත අපේ රටේ නාමය ද වේ. ලෝකයේ වේගයෙන් හීන වී යන පානීය ජල සම්පත ඉතිරි වන රටවල් අතර අපේ රට ඉදිරියෙන්ම සිටී. එමෙන්ම වසරකට වර්ෂාවෙන් මෙරටට ඝන මීටර් බිලියන 130 ක ජල ධාරිතාවක් ලැබේ. එයින් ඝන මීටර් බිලියන 50 ක් මෙරට නන් දෙසින් ගලා බසිනා ගංගා 103 ඔස්සෙ, රට වට කර මහ මුහුදට ගලා බසිති. මෙරට තුළ රඳා පවතින ජලය ඝන මීටර් බිලියන 80 න් බිලියන 40 ක් පමණ ගංගා, ඇළ දොළ, විල්, පොකුණු තුළට එකතු වේ. තවත් ජලය ඝන මීටර් 20 ක් වායුගෝලයේ ජල වාෂ්ප, ගස්, වැල් කෘෂි බිම්වල රඳාපවතින අතර, ඉතිරි ජලය ඝන මීටර් බිලියන 20 භූගත ජලයට එකතු වේ. එම ජල ප්‍රමාණය මෙරට පුරවැසියන්ට පානීය ජලය ලෙස පාරිභෝජනය කළ හැකිය.

මෙරට ජීවත්වන ජනගහනයට සාපේක්‍ෂව පානීය ජලය තව කාලයකට ප්‍රමාණවත් බව සැබෑය. එහෙත් මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා භූගත ජලය දූෂණයට භාජන වන අතර වේගයෙන් හීන වී යන බව ද වාර්තා වේ. වනාන්තර හෙළිපෙහෙළි කිරීම, ගස් කැපීම, කඳු කැපීම නිසා පරිසරයට හානි සිදු වී වායුගෝලයට ජල වාෂ්ප එකතුවීම ද විශාල වශයෙන් අඩු වී තිබේ. එමෙන්ම ජල උල්පත් සිඳී යන්නේය. සෝදාපාළුව හේතුවෙන් පොළොව මතුපිට ජලය සිඳී යන්නේය. අවසානයේ කලට වර්ෂාව නොලැබී දැඩි නියං තත්ත්වයටන් මුහුණදීමට ද සිදු වේ. ගංගා, ඇළ දොළවල වැලි කැණීම් ආදීය නිසා ද භූගත ජල මට්ටම විශාල වශයෙන් අඩු වෙමින් තිබේ.

එමෙන්ම මෙරට පළාත්, දිස්ත්‍රික්ක අනුව බීමට සුදුසු භූගත ජලයේ ගුණ, අගුණ වෙනස් වේ. අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, කතරගම ඇතුළු මෙරට වියළි කලාපීය ප්‍රදේශවල කෘෂි බිම් ආශ්‍රිත පසෙහි අඩංගු ලවණ ප්‍රමාණය අධික බැවින් භූගත ජලය අපවිත්‍ර වී තිබේ. කෘෂිකාර්මික කටයුතු සඳහා අධික ලෙස රසායනික භාවිත කිරීම හේතු කොටගෙන භූගත ජලයට නයිට්‍රජන් එකතුවීම නිසා උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය, කඳුරට නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පුත්තලම කල්පිටිය ප්‍රදේශවල භූගත ජලය මිනිස් පරිභෝජනයට සුදුසු නොවන තරමට දූෂණය වී තිබෙන බව ද වාර්තා වේ. අප ජලය, කුණු කසළ, කර්මාන්තශාලාවලින් ඉවතලන අපද්‍රව්‍ය, තෙල් බැහැර කිරීම ආදී විවිධ හේතු මත කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ භූගත ජලය දූෂණයට ලක් වී තිබෙන බවද වාර්තා වේ. එමෙන්ම බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්කවල විවිධ ප්‍රදේශවල ද මිනිස් ක්‍රියාකාරකම් නිසා භූගත ජලය දූෂණය වී තිබේ. භූගත ජලය පමණක් නොව ගංගා, ඇළ දොළ ආදියෙහි ජලය ද අපවිත්‍ර වී තිබේ.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පමණක් නොව මෙරට සියලු පළාත්වල වගුරු බිම්වලට කාබනික ද්‍රව්‍ය එකතු වී කාලයත් සමඟ එම කාබනික ද්‍රව්‍ය ජලයේ දිය වී ආම්ලික තත්ත්වයක් ඇති වේ. ආම්ලික ජලය පසේ අඩංගු යකඩ දිය කරනු ලැබේ. එවිට වගුරු බිම් ආශ්‍රිත භූගත ජලයේ ආම්ලිකතාවය මෙන්ම යකඩ ප්‍රමාණය වැඩි වේ. මුහුද ආශ්‍රිත ප්‍රදේශවල භූගත ජලයෙහි ලුණු ගතිය වැඩිය. හුණු ගල් නිධි සහිත ප්‍රදේශවල භූගත ජලයේ කැල්සියම් බයිකාබනේට් දිය වී තිබේ. එම ජලය කිවුල් රසයකින් යුක්තය. ජලයේ පවතින ආම්ලික ගතිය, යකඩ, ලුණු, කිවුල් ගතිය ඉවත් කර පිරිසිදු පානීය ජලය සකස් කරගන්නා ආකාරය ගැන පේරාදේණිය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා අපට පැහැදිලි කළේය. බීමට ලබාගන්නා ජලයේ එවැනි ගැටලු සහිත මෙරට ඕනෑම පුරවැසියෙක්ට අතුල සේනාරත්න මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන ඊට අදාළ විසඳුම් ලබාගත හැකි බව ද විශේෂයෙන් අපි මතක් කර සිටිමු. මෙරට භූගත ජලය කළමනාකරණය කිරීම සඳහා 1965 වර්ෂයේදී ස්ථාපනය කරන ලද ජල සම්පත් මණ්ඩලයේ 2004 සහ 2005 වර්ෂවල උප සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය අතුල සේනාරත්නයන් කොළඹ පානීය ජල ගැටලුව ගැන පුළුල්ව කතා කළේය. මේ ඒ කතාවය.

“අපේ රටේ ජීවත්වන ජනගහනයෙන් 60% ක් තවම පානය කරන්නෙ භූගත ජලය. ඒත් දීර්ඝ කාලයක ඉඳලා වගුරු බිම්වලට කාබනික ද්‍රව්‍ය එකතු වෙලා ජලය දූෂණය වී ඇති වන ආම්ලික තත්ත්වය, ලවණතාව හේතු කොටගෙන කොළඹ භූගත ජලය මිනිස් පරිභෝජනයට සුදුසු නෑ කියලා ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම කොළඹ ජීවත්වන බහුතරය පරිභෝජනය කරන්නෙ පිරිසිදු කරන ලද පානීය ජලය. කැලණි ගඟෙන් පිරිසිදු කර බෙදාහරින පානීය ජලය වැහි කාලයේදී නම් ගැටලුවක් නැතුව බෙදාහරිනවා. පෑවිල්ල කාලයේදී ජලය පිරිසිදු කිරීමේදී දැඩි අර්බුදයක් මතු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ වැලි කැණීම් කිරීමට කැලණි ගඟ අසාමාන්‍ය විදිහට හැරීම නිසයි. දැන් ගඟේ ජල මට්ටම මුහුදු මට්ටමට වඩා පහළ තියෙන්නෙ. පෑවිල්ල කාලේට මුහුදු ජලය මිශ්‍ර වෙනවා. ඒක නතර කරන්න අඹතලේදී ගඟ යටින් ඩෑම් එකක් ගහලා තියෙනවා. දැඩි වර්ෂාව සහිත කාලයට ඒ ඩෑම් එක කැඩිලා යනවා. පෑවිල්ල එන්න ඉස්සර වෙලා ඩෑම් එක නවීකරණය නොකෙරුවොත් ගඟේ ජලයට ලවණ එකතු වෙනවා. විශාල ජල ප්‍රමාණයක් පිරිසිදු කිරීමේදී ගැටලු මතු වෙනවා. ජලය පොම්ප කිරීම සීමා කරන්න වෙනවා. එතකොට ජල හිඟයක් මතු වෙනවා…” අතුල සේනාරත්නයන් නිහඬ කරමින් අපේ හඬ ඉස්මතු කළේය.

කොළඹ නගරයේ දැනට දිනක පානීය ජල පරිභෝජනය ජලය ඝන මීටර් දෙලක්‍ෂයත්, තුන්ලක්‍ෂයත් අතර ප්‍රමාණයකි. නිර්මාණය වෙමින් පවතින වරාය නගර ව්‍යාපෘතිය, අලුතින් ඉදිවෙමින් පවතින මහල් නිවාස සංකීර්ණ සහ හොටෙල් සංකීර්ණ නිසා කොළඹ ජීවත්වන ජනගහනය ඉහළ ගොස් ඉදිරි කාලයේදී කොළඹ නගරයේ ජල ඉල්ලුම 50% කින් පමණ ඉහළ යෑමට නියමිතය. එමෙන්ම කොළඹ සිදු වෙමින් පවතින විසල් ඉදිකිරීම්වලට විශාල ජලය ප්‍රමාණයක් ලබාදිය යුතු බව ද වාර්තා වේ. කොළඹ නගරයට ජලය බෙදාහරින ජල නළ පද්ධතිය වසර සියයක් පමණ පැරැණි බැවින් එම නළවලින් කාන්දු වී අපතේ යන ජල ප්‍රමාණය ද ඉතා ඉහළය. ජල පොම්පාගාර තුළින් පිරිසිදු කර නළ පද්ධතිය හරහා බෙදාහරිනවිට කාන්දුවන ස්ථානවලින් අපවිත්‍ර ජලය එකතු වී ජලය අපිරිසිදුවීමට තිබෙන ඉඩ කඩ ද බොහෝ වැඩිය. ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට විශාල වියදමක් වැය කිරීමට සිදුවන බැවින් පවතින ආර්ථික අර්බුදය තුළ ජල පිරිපහදුව හරිහැටි සිදු වේ ද යන්න ද ගැටලුවකි. එහෙයින් ඉදිරි කාලයේදී කොළඹ පානීය ජල අර්බුදයක් මතුවීමට තිබෙන ඉඩ කඩ බොහෝ වැඩිය. දැනටත් කොළඹ ටැප් වතුර පානය කිරීමට අසීරු බව අවස්ථා කිහිපයකදී නගරවාසීහු අප සමඟ පැවසූහ. කොළඹ වතුවල පදිංචිකරුවන්ට හිටි, හැටියේ පාචනය වැනි රෝග වැළඳෙන බව ද ඔවුහු අපට පැවසූහ. එහෙත් එවැනි රෝග හටගැනීමට හේතුව සොයාබැලීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙක් නොයෙන බව ද ඔවුහු පැවැසූහ. හැකි සෑම අවස්ථාවකම උණු කර නිවාගත් ජලය පාවිච්චි කිරීමට උත්සාහ කරන බවත්, විදුලි බිල, ගෑස් මිල වැඩිවීමත් සමඟ වතුර උණු කර බීමත් බොහෝ දුරට අඩු වී ඇති බව බොරැල්ල මහල් නිවාසයක ජීවත්වන කාන්තාවක් අප සමඟ පැවසුවාය. එහෙත් කොළඹ වතුවල මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වන මහල් නිවාසවල බහුතරය වතුර උණු කර පෙරාගෙන නොබොන බව ඇත්ත කතාවය.

පිටකොටුව ඇතුළු කොළඹ බොහෝ හෝටල්වල, තේ කඩවල බීමට දෙන ටැප් වතුර පිරිසිදු නැති බව පාරිභෝගික ජනතාව කියන කතාවකි. පිටකොටුවේ විකිණීමට තිබෙන ඇතැම් වතුර බෝතල් මූඩිය ගලවා මුවට ළං කරනවිට භූමි තෙල් ගඳක් එන බව ද ඔවුහු අප සමඟ පැවසූහ. බස්වල විකුණන ශීතකරණ ලද වතුර බෝතලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ගැටලු තිබෙන බව වාර්තා වේ. කොළඹ වෙළෙඳසැල්වල පානීය ජල බෝතල් පරීක්‍ෂා කිරීමට බෝතල් විවෘත කරන විට ඇතැම් බෝතල්වලින් භූමිතෙල් ගඳක් ආ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙක් ද අප සමඟ පැවසුවේය. ඒ හැර පානීය ජල බෝතල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බව ද ඔහු අවධාරණය කළේය. එහෙත් අම්මා, තාත්තා පවා හයර් කිරීමට තිබෙන කොළඹ, ගුබ්බෑයම්වල වතුර බෝතල් පුරවනවා කිව්වොත් එය මුසාවක් යැයි සිතමින් බැහැර කළ නොහැකිය. පැණි බීම බෝතල් කර, කූල් කර පිටකොටුවේ බස් රථවල විකුණන පසුබිමක පානීය ජලය බෝතල් කර විකිණීම මහ කජ්ජක් නොවේ. පිපාසයට දිව පොඟවන මිනිස්සු බෝතල්වල ප්‍රමිති සහතික ගැන සොයාබැලීමට උනන්දු නොවන බව ද සැබෑය. එහෙයින් එවැනි තුප්පහි ව්‍යාපාර කරන අලජ්ජි ව්‍යාපාරිකයන් මෙන්ම, කොළඹට පිරිසිදු ජලය ප්‍රවාහනය කරන නළ පද්ධතිය නිසියාකාර නඩත්තු නොකරන රාජ්‍ය ආයතන සෙල්ලම් කරනුයේ මනුෂ්‍ය ජීවිත සමඟය. අපිරිසිදු පානීය ජලය පානය කිරීමෙන් මිනිසුන්ට විවිධ රෝගාබාධවලට මුහුණදීමට සිදුවන බව වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ඉන්දු උඩුගම මහතා ද අප සමඟ පැවසුවේය.

“අපිරිසිදු පානීය ජල පරිභෝජනයෙන් බෝ වන සහ බෝ නොවන රෝග දෙවර්ගයම හැදෙන්න පුළුවන්. අපිරිසිදු ජලයේ ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන බැක්ටීරියා, වෛරස්, දීලිර රෝග බෝ වන රෝග ගනයට ඇතුළත් වෙනවා. බැක්ටීරියා ශරීරගතවීම තුළින් පාචනය, අතීසාරය, කොලරාව, උණ, බඩේ අජීර්ණ, මළබද්ධය වැනි රෝග හැදෙන්න පුළුවන්. වෛරස් ශරීරගතවීමෙන් හෙපටයිටීස් ඒ, බී, ඊ, පෝලියෝ රෝගය හැදෙන්න පුළුවන්. හෙපටයිටීස් වෛරසය හානි කරන්නෙ අක්මාවට. පෝලියෝ වෛරසයේ බලපෑම තියෙන්නෙ ස්නායු පද්ධතියට. ඒ වගේම විවිධ රසායනික භාවිතයෙන් අපවිත්‍ර ජලය දීර්ඝ කාලයක සිට පරිභෝජනය කිරීමෙන් සමේ රෝග, පෙණහළු ආශ්‍රිත රෝග, අන්ත්‍ර, ආමාශයේ රෝග, අස්ථි වේදනා, ඔක්සිජන් පරිවහණය අඩුවීම වැනි රෝග මතු වෙන්න පුළුවන්. වකුගඩු අක්‍රියවීම ඇතුළු වකුගඩු ආශ්‍රිත විවිධ රෝග හටගන්න පුළුවන්. ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. උගුර, මුඛය තුළ රෝග ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක සිට අපිරිසිදු ජලය පානය කිරීමෙන් ඇති වන බෝ නොවන රෝග මාරාන්තික තත්ත්වයට පත්විය හැකි අතිශය බරපතළ රෝග. ඒත් මේ ගොඩක්ම රෝග වැළඳීම වළක්වාගන්න පුළුවන්. ඒකට කරන්න ඕනෑ, පුළුවන් තරම් හොඳට පිරිසිදු ජලය පානය කිරීමයි…” අපිරිසිදු පානීය ජලය පරිභෝජනය කිරීමෙන් ඇති වන බරපතළ තත්ත්වය ගැන අධිකරණ වෛද්‍ය ඉන්දු උඩුගම මහතා සරලව පැහැදිලි කළේය.

එහෙත් මෙරට පවතින අර්බුදවල හැටියට පානීය ජල ගැටලුව කැලණි ගඟේ පාවෙන පොල් ලෙල්ලක් තරම්ය. එවැනි ගැටලුවලට තව කාලයකට විසඳුම් නොලැබෙන බව අපගේ විශ්වාසයයි. එහෙයින් පිරිසිදු කරන ලද කැලණි ගඟේ ජලය පානය කරන කොළඹ ජීවත්වන මිනිසුන් පමණක් නොව, භූගත ජලය පරිභෝජනය කරන ගමේ උදවිය ද තමන්ගේ සහ පවුලේ ආරක්‍ෂාව උදෙසා උණු කර නිවාගත් ජලය හෝ නිවසේදී ජලය පිරිසිදු කරගෙන බීමට ගන්නේ නම් ඇඟට ගුණය. පවුලේ සෞඛ්‍යයට ද හොඳය. අසල්වාසීන්ට සහ සමාජයට ද යහපත්ය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment