ශ්‍රී ලංකාවට අනුමත කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු ණය වාරිකය ලබා දැන් අප සිටින්නේ එහි දෙවන ණය වාරිකය අපේක්ෂාවෙනි. ඒ සඳහා අපගේ ණය මුදලට අදාළව එම අරමුදල සිදුකරන පළමු සමාලෝචනය සම්පූර්ණ විය යුතු වේ. ඒ සඳහා එම අරමුදලේ ධූත පිරිසක් පසුගිය කාලයේ මෙරටට පැමිණ එම ඇගයීම් කටයුතු සිදු කළ අතර ඒ අනුව අප විසින් එම පළමු සමාලෝචනය සම්පුර්ණ කිරීම සඳහා තවත් ඉටු කළ යුතු දේවල් ද සඳහන් කරනු ලැබිණි. ඉන් ප්‍රධාන අවශ්‍යතාවක් වූයේ ඉලක්කවලට පසුපසින් සිටින බදු ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම සහ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් එම ණය හිමියන්ගේ එකඟතාව ලබා ගැනීමයි. මේ වන විට ඒ සම්බන්ධයෙන් අප ලබා ඇති ප්‍රගතිය මත අයිඑම්එෆ් දෙවන ණය වාරිකය මේ මාසයේ දී ලැබීමට නියමිතව තිබේ.

ණය හිමි රටවල කමිටුවේ එකඟතාව

ණය ගැන හිත් පිනවන කතාවක්…IMF දෙවන වාරිකය මේ මාසයේ

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව (Official Creditor Committee – OCC) සමඟ ශ්‍රී ලංකාව සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹ ඇත. මෙම නිල ණය හිමි කමිටුවට පැරිස් සමාජය සමඟ ඉන්දියාව සහ හංගේරියාව ද ඇතුළත් වන අතර එම කමිටුවේ සම සභාපතිත්වය ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය විසින් හොබවනු ලබයි. මේ ඇතිව තිබෙන එකඟතාව පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ ණය ප්‍රතිකර්ම සඳහා අනුකූල වන ප්‍රධාන පරාමිතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව නිල ණය හිමි කමිටුව දැනුම් දුන් බවයි. නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ හරහා ඩොලර් බිලියන 5.9ක හිඟ විදෙස් ණය ආවරණය වන බව සහ එහිදී ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම් සහ පොලී අනුපාතික අඩු කිරීම යන තීරණවල සංයෝගයක් අදාළ ණය ප්‍රතිකර්මයන්ට අන්තර්ගත වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය එහි සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉලක්කවලට අනුකූලව රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අන්‍යොන්‍ය කැපවීමක් පෙන්නුම් කරන මෙම ගිවිසුමට එළඹීමේදී නිල ණය හිමි කමිටු සාමාජිකයන්ගේ සහයෝගය ශ්‍රී ලංකා රජය අගය කරනු ලබන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහනේ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ කඩිනම් අනුමැතිය ලබා ගැනීමට, මෙම එකඟතාව මගින් ශ්‍රී ලංකාවට පහසුකම් සැලසෙන ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මීළඟ වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 334 ක මුදල ලබා ගැනීමට ඒ හරහා ඉඩ ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ප්‍රතිචාර

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය බාහිර ණය හිමියන් සමග ඇතිකර ගත් එකඟතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ප්‍රතිචාර දක්වා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන අයිඑම්එෆ් දෙවන ණය වාරිකය නිදහස් කිරීමට මෙය මගපාදනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසා ඇත. එනම් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලට අදාළ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවන ණය වාරිකය ලබාගැනීමට මෙම ණය හිමි රටවල එකඟතාව හේතුවනු ඇති බව බෲවර් මහතා සඳහන් කර ඇත. මෙමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවට මෙම ණය මුදලට අදාළ පළමු සමාලෝචනය සලකා බැලීමට හැකියාවක් ලැබෙනු ඇති බවද ඔහු පවසා ඇත. මේ අනුව අයිඑම්එෆ් දෙවන ණය වාරිකය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පසුබිම තුළ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය හිමිවී රටම බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය දා (30 දා) සඳහන් කර තිබුණි. එම දෙවැනි වාරිකය ලද පසුව ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන සහයෝගය ලබාගෙන රටේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ මූල්‍ය ශක්තිය හිමිවෙන බව ද මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට සෑම රටක්ම සහාය දැක්වීමට පසුගිය නොවැම්බර්
29 දා වැනිදා එකඟවීම මෙරට තුළ ශක්තිමත් මූල්‍ය සංධිස්ථානයක් නැවත පිහිටුවීමට අවකාශය සලසන බව ද ඔහු පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා තිබුණි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති වීම ගැන ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල නිල කමිටුවට ස්තූතිය පළ කරන බවත් මේ එකඟතාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තත්ත්වය සම්බන්ධයෙන් වැදගත් පියවරක් සනිටුහන් කරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද පවසයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරත්වය ඇතිකර ගැනීමේ සහ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීමේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස මෙම එකඟතාව ක්‍රියාකරන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

මූල්‍ය අරමුදලේ සහාය පැතීම

ඇතැම් අය අපේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම සම්බන්ධයෙන් බලවත් විවේචන සිදු කරමින් ද සිටී. මේ අර්බුදයට වගකිව යුතු ඇතැම් අය ද ඒ අතර සිටී. අප විසින් ආර්ථික කළමනාකරණයේ දී නිසි තීන්දු තීරණ නොගැනීම මෙන්ම ගත යුතු තීන්දු තීරණ කලට වෙලාවට නොගැනීම නිසා ද මේ ආර්ථික අර්බුදය උග්‍ර විය. මේ සඳහා උදාහරණ වශයෙන් වර්ෂ 2019 අග දී විශාල බදු කප්පාදුවක් සිදු කිරීම සඳහා ගත් තීරණය මෙන්ම අයිඑම්එෆ් සහාය ලබා ගැනීම සඳහා කලට වෙලාවට යොමු නොවීම ද ප්‍රධාන උදාහරණ දෙකක් වශයෙන් පෙන්වා දිය හැකිය. අයිඑම්එෆ් සහාය ගත යුතු බවට බොහෝ දෙනෙක් රජයට උපදෙස් දුන්නත් එම තීරණය නොගෙන සියලු විදේශ ණය ගෙවනවා යයි කියමින් සහ රුපියල කෘතීම ලෙස රු. 203 ක ස්ථාවර අගයක පවත්වා ගනිමින් ආර්ථික බලධාරීන් කටයුතු කළ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ තිබුණ විදේශ සංචිත ටිකත් දිය වී ගොස් අපට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමයි. අපේ ණය තිරසාරභාවය (ණය ගෙවීමේ හැකියාව) නොමැති වීම නිසා අපට කිසිවෙක් අලුතින් ණය දෙන තත්ත්වයක් ද නොතිබිණි. රුපියල්වලින් විදේශ ණය ගෙවිය නොහැකිය. විදේශ ණය ගෙවිය යුතු වන්නේ විදේශ විනිමයෙන්මය. ඒ සඳහා එක්කෝ අප විදේශ විනිමය උපයාගත යුතුය. නැත්නම් තවදුරටත් විදේශ ණය ගත යුතු වේ. එහෙත් මේ උදා වූ තත්ත්වය හමුවේ අපට තවදුරටත් විදේශ ණය ගත නොහැකි තත්ත්වයට රට පත්ව තිබූ නිසා මේ උග්‍ර විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම අත්‍යවශ්‍ය විය. එහෙත් ඒ සඳහා නිසි කලට වෙලාවට යොමු නොවීම මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජයේ අනෙකුත් ආර්ථික කළමනාකරණයේ වැරදි ද රට බංකොලොත් වීමට හේතු විය. ඒ සඳහා බලපාන ලද දිගුකාලීන හේතු ද තිබෙන අතර ඒවා අප මීට පෙර අපගේ ලිපි මගින් සාකච්ජා කර තිබේ.

වඩාත්ම පීඩාවට පත්වන්නේ කවුද ?

අප කැමති වුවත් නැතත් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන අරමුදල් වැඩසටහනකට අප ඇතුළත්ව ඇති නිසා එම විසඳුම් මාර්ගයේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඉදිරියට යෑමට රජයට සිදුව තිබේ. ඒ අනුව බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු කිරීමට රජයට සිදුවනු ඇත. බදු වැඩි කිරීම, තෙල් මිල වැඩිවීම, විදුලි ගාස්තු වැඩි වීම ඇතුළු බොහෝ දේ සිදුව ඇති අතර ඉදිරියේ දී තවදුරටත් රාජ්‍ය බදු ආදායම් වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවුහගතකරණය ඇතුළු තවත් බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අයිඑම්එෆ් සමග එකඟ වූ අදාළ ආර්ථික ගැලපුම් වැඩසටහනේ කරුණු ඉටු කිරීමේ දී එහි පීඩාවන්ට ලක් වීමට ද ජනයාට සිදුවෙයි. එහිදී වැඩියෙන්ම පීඩාවට පත් වනුයේ දුප්පත් සහ අඩු ආදායම්ලාභී ජනයාය. ඒ නිසා ඒ අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද අයිඑම්එෆ් එක රජයට උපදෙස් දී ඇත. මේ අනුව පැවති සහනාධාර වැඩසටහන් වෙනුවට දැන් අලුතින් ‘අස්වැසුම’ වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ අනුව එහි සහනාධාර ගෙවීම ද මේ වන විට ආරම්භ වී ඇත. මේ අනුව අයිඑම්එෆ් සමග එකඟ වූ අදාළ ආර්ථික ගැලපුම් වැඩසටහනේ කරුණු ඉටු කිරීමේ දී එහි වඩාත්ම පීඩාවට ලක් වන්නේ දුප්පත් සහ අඩු ආදායම්ලාභී ජනයා වුවත් ඒ අයට අස්වැසුම සහන ලැබෙන නිසා අප නම් සිතන්නේ වඩාත්ම පීඩාවට ලක් වන්නේ මාසික වැටුපට රැකියා කරන සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනයාට බවයි. ඒ අයගේ සමාජ තත්ත්වය ද රැක ගනිමින් අවම ජීවන තත්ත්වයක් පවත්වාගෙන යෑම විශාල අභියෝගයක් බවට පත්ව ඇත.

එකතු කළ අගය මත බදු සංශෝධන

එකතු කළ අගය මත බදු සංශෝධන ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සියයට 15 ක පවතින වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යෑමත් දැනට මේ බද්ද අදාළ නොවන භාණ්ඩ සඳහා වැට් බද්ද අලුතින් පැනවීමත් සිදුවනු ඇත. මේ අනුව එම භාණ්ඩවල මිල වැඩිවීමෙන් ජනයා මුහුණ දෙන බදු බර සහ බඩු මිලේ පීඩනය තවත් වැඩිවෙනු ඇත. මේ බදු වෙනස්කම් ගැන පසුගිය නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී ද අවධානය යොමු විය. ඒ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වන මුදල් පනත් කෙටුම්පත සහ 2012 අංක 12 දරන මුදල් පනත සහ අංක 2353/ ගැසට් පත්‍රයට අදාළ ආනයන අපනයන පාලන පනත සලකා බැලීම එදින රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදුව ඇත.

මේ කරුණු ගැන සාකච්ඡාවේ දී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ කලින් නිදහස් කර ඇති පරිදි ලැයිස්තුගත කර ඇති කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ එම පනත් කෙටුම්පත යටතේ වැට් බද්දට යටත් වන බවයි. කෘෂිකාර්මික බීජ, කෘෂිකාර්මික පැළ, ඉස්සන් ආහාර, කුකුළු ආහාර හැර සත්ත්ව ආහාර වැට් බද්දෙන් නිදහස් කරන බව ද නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මේ අනුව, ගෘහස්ථ කෘෂිකාර්මාන්තයට හා ආහාර කර්මාන්තයට බලපාන කෘෂිකාර්මික උපකරණ සඳහා වැට් බදු ඇතුළත් කිරීම පිටුපස ඇති තාර්කික පදනම පිළිබඳව කමිටුව ප්‍රශ්න කර ඇත. දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදන ද වැට් බද්දට යටත් වන බවත් තිරිඟු, තිරිඟු පිටි හෝ පිටි කිරි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ වැට් බද්දෙන් නිදහස් කරන බවත් මුදල් අමාත්‍යාංශය නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත. මේ අනුව ළමා මන්දපෝෂණය බහුලව පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ වගා කරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන, “පෝෂ” කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර ලෙස හඳුනාගෙන වැට් බද්දට යටත් කරන්නේ මන්දැයි කාරක සභාව එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ. එමෙන්ම ගිලන්රථ සහ වෛද්‍ය උපකරණද වැට් බද්දට යටත් කරන්නේ මන්දැයි කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන, මුදල් අමාත්‍යාංශය විසින් ඇතුළත් කිරීමේ එකඟතාවට යටත්ව අනුමැතිය ලබා දීම සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. එසේ වුවද, වෛද්‍ය උපකරණ, ගිලන් රථ, පොහොර සහ අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර ඇති ධාන්‍යවලින් ලබාගත් ආහාර නිෂ්පාදන සඳහා වැට් බදු නිදහස් කිරීම ගැන නැවත ඇගයීමට ලක් කරන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත.

මේ අවස්ථාව සඳහා ෂෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, පාඨලී චම්පික රණවක, නිමල් ලාන්සා, ඉසුරු දොඩන්ගොඩ, මධුර විතානගේ, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, හර්ෂණ රාජකරුණා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගිව සිට තිබේ.

අපේම සැලසුම් අපට තිබේ ද ?

අයිඑම්එෆ් සහාය පැතීමට අමතරව මේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අපටම සැලසුම් තිබිය යුතු බව ද අප මීට පෙරත් සඳහන් කර ඇත. ඒ නිසා අයිඑම්එෆ් සහාය ලබා ගැනීම වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමේ බහුවිධ ක්‍රියාමාර්ග අතර එක් වැදගත් ක්‍රියාමාර්ගයක් විය හැකි නමුත් ඒ සමග ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අපටම සැලසුම් නැත්නම් මේ ප්‍රයත්නය වඩාත් දුෂ්කර වනු ඇති බව ද කිව යුතුය. ඇතැම් අය විමසන්නේ අයිඑම්එෆ් එකෙන් ණයක් ගැනීම හපන්කමක් ද කියාය. එහෙත් අප සිතන්නේ සාමාන්‍යයෙන් විදේශ ණය මුදලක් ගැනීම ලොකු ජයග්‍රහණයක් නොවිය හැකි නමුත් අපට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් වී සිටින සහ වෙනත් කොහෙන්වත් ණය මුදලක් නොලැබෙන මොහොතක අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් බවයි.

එය තවත් කල් පමා වූවා නම් අපට ආර්ථික අර්බුදයේ ඇලී ගැලී සිටීමට ගත වන කාලය තවත් දික්වන බව සඳහන් කළ යුතුමය. තෙල් නැතුව, ගෑස් නැතිව ගිය වසරේ (2022) ගත කළ අති දුෂ්කර පෝලිම් යුගය ගැන නැවත සිහිපත් කළ යුතු නොවේ. මේ නිසා අයිඑම්එෆ් වැඩසටහන මගින් අපට වසර හතරක් තුළ ලැබෙන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් පමණක් වුවත් අයිඑම්එෆ් වැඩසටහන අපට වටින්නේ එමගින් ඩොලර් බිලියන තුනක් ලැබෙන නිසාම නොවේ. එනම් මේ අනුමත වූ අයිඑම්එෆ් ණය පහසුකම නිසා ජාත්‍යන්තර විශ්වාසය වර්ධනය වීමෙන් අපගේ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් ද තවදුරටත් අපට මූල්‍ය ආධාර ලබා ගැනීමට හැකි වීමයි. එය ද දැන් සිදුවෙමින් තිබේ.

මෙය ප්‍රධාන වශයෙන් විදේශ මුදල් සොයා ගැනීමෙන් අප විසඳා ගත යුතු ප්‍රශ්නයකි. විදේශ මුදල් සොයා ගැනීමේදී විදේශ ණය ගැනීමට අමතරව විවිධ අංශවලින් අපගේ විදේශ මුදල් ඉපැයීමේ හැකියාව වර්ධනය කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අයිඑම්එෆ් වැඩසටහන මත පමණක් යැපෙන්නේ නැතුව රජයට නොයෙකුත් මාර්ගවලින් විදේශ මුදල් උපයා ගැනීමේ වෙනම සැලසුම් තිබිය යුතු වේ. ඒ නිසා අපේ ආර්ථික අර්බුදයට අයිඑම්එෆ් එක මගින් විසඳුම් මගක් විවර වූ බව සත්‍යයක් නමුත් අපට ඒ මතම යැපිය නොහැකිය. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ එකම විසඳුම අයිඑම්එෆ් එකෙන් ලැබෙන සහාය පමණක් නොවන බවත් මේ අප මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු බහුවිධ ක්‍රියාමාර්ග අතර අපටම වෙනම සැලසුම් තිබිය යුතු බවත් සඳහන් කළ යුතු වේ. එහෙත් අයිඑම්එෆ් පදයටම නටනවා හැරෙන්නට මේ සඳහා අපට එතරම් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇති බවක් පෙනෙන්නට නැත. එය කනගාටුවට කරුණකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment