අධිකරණය යට කළ මිලියනයකට වැඩි කුණු කන්ද

673

මීට වසර කීපයකට පෙර (2016 විය යුතුයි) ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් තුනක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 585 වැය කර ඇත. මෙයින් ශ්‍රී ලංකාව තුළ කළ ආයෝජනය අදටත් රහසක්ය. මෙම ලියුම්කරු කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු ලැබුණේ නැත. එදා ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා (වර්තමාන රාජ්‍ය, මුදල් අමාත්‍ය) ප්‍රකාශයක් කළේය. ශ්‍රී ලංකාවේ වාසනාවන්තයන් කවුරුද? ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම යනු ආණ්ඩු පෙරළීම බව අමුතුවෙන් කිව යුතු නැත. යහපාලනය ගෙන ඒමට ශ්‍රී ලංකාව තුළ මෙම ඩොලර් යෙද වූවාද යන ප්‍රශ්නය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය තබා ඇති සෑම දේශපාලන පක්ෂයක්ම සහ සිවිල් සමාජය නැඟිය යුතුව ඇත.

● අධිකරණය යට කළ මිලියන
භාගයකට වඩා වැඩි නඩු කන්ද

විදේශීය මැදිහත්වීමක්, අත පෙවීමක් එසේත් නැතහොත් උපදෙස් සහ මූල්‍ය ආධාර නොමැතිව ශ්‍රී ලංකාවට කළ හැකි දෙයක් තිබේද? සෑම ක්ෂේත්‍රයක්ම විදේශීය ග්‍රහණයට පත් වී ඇත. මේ වසරේ ජාතික නීති සම්මේලනය අමතා ඇමෙරිකානු තානාපතිවරිය ජූලි ජේ. චන්ග් ජුනි 04 වන ඉරිදා නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ කළ කතාව නැවත නැවතත් අවධාරණය කරන්නේ නීති ක්ෂේත්‍රය පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයයි.

උසාවි පද්ධතිය තුළ මිලියන භාගයකට වඩා නඩු හිරවී ඇති බවත් එම තත්ත්වයෙන් මිදීමට ඇමෙරිකාව අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකාවට ලබා දෙන බවත් සහ අවශ්‍යතා සපුරන බවත් ඇමෙරිකානු තානාපතිනි පැවසීම විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට ලජ්ජාවක් නොවේද? මේ ආකාරයට නඩු අතපසු වීමේ වගකීම භාර ගන්නේ කවුරුද? ආණ්ඩුවට අමතරව නීතිඥ සංගමයද මෙම තත්ත්වයට වගකිව යුතු නොවේද?

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුවේ පලපුරුදු නඩු කටයුතු මෙහෙයවන්නෙක් නීතිඥයන් සමඟ එකට වැඩකරන බව තානාපතිවරිය හෙළිදරව් කර ඇත. එම ප්‍රකාශය කරන තුරු ශ්‍රී ලංකා ආණ්ඩුව කිසි දිනෙක එවැනි හෙළිදරව්වක් කර නැත. ඇමෙරිකානු නීති නිලධාරියකු එවැනි පත්වීමක් ලැබුවේ කුමන ආණ්ඩුව යටතේදී ද? රනිල් වික්‍රමසිංහ අටවැනි ජනාධිපති ලෙස පසුගිය ජුලි 20 වැනි දින පත් වූවාට පසුවද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ද (2019 නොවැම්බර් . 2022 ජුලි) නැතහොත් යහපාලන සමයේදී ද (2015 . 2019 නොවැම්බර්) හෝ ඊට පෙරද?

ඇමෙරිකානු මැදිහත් වීම තවදුරටත් විග්‍රහ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයට විදේශීය අතපෙවීමකට ආරාධනා කළේ කුමන ආණ්ඩුවද කියා විමසා බැලිය යුතුය. නැතහොත් ඇමෙරිකාව අදාළ යෝජනාව කළේ කුමන ආණ්ඩුවකට ද?

● උසාවියේ අර්බුදය උත්සන්නයි

ඇමෙරිකානු තානාපතිවරිය නඩු හිරවීම අවධාරණය කළේ උසාවියේ ඇති විශාල අර්බුදයක් ලෙසය. එහි කිසිදු වරදක් නැත. නමුත් උසාවි අර්බුදය විසඳීමට ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඇමෙරිකාව කර ඇති සම්පූර්ණ ආයෝජනය රටට හෙළි කළ යුතුය. එලෙසම සමස්ත අධිකරණ ක්ෂේත්‍රය තුළ නීතිඥ සංගමය ක්‍රියාත්මක කළ, තවදුරටත් ක්‍රියාත්මක වැඩසටහන්වලට ඇමෙරිකාව කර ඇති සමස්ත ආයෝජනය විමසා බැලිය යුතු නොවේද?

කෞශල්‍ය නවරත්න මෑතකදී නීතිඥ සංගමයේ නායකත්වය ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙන් භාර ගැනීමට පෙර මේ වසරේ මාර්තු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වූ ජාතික නීති සම්මේලනය ද ඇමෙරිකානු තානාපතිවරිය ඇමතුවාය. ඇයට එම ආරාධනාව ලැබෙන්නේ නීතිඥ සංගමයට අරමුදල් පරිත්‍යාග කරන ප්‍රධානතම ආණ්ඩුව නියෝජනය කරන කොළඹ සිටින නියෝජිතවරිය ලෙසය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද නීතිඥවරයෙකි. පසුගිය මාර්තු මාසයේදී නීතිඥ සංගමය වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වසර 50 ක් නීතිඥ දිවිය සැමරීමට තරු පහේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උත්සවයක් පැවැත්විය. උසාවියේ අර්බුදය විසඳීමට නීතිඥයෙක් ලෙස ජනාධිපතිවරයාට කළ හැක්කේ කුමක්ද? නුවරඑළියේ පැවති නීති සම්මේලනයට ජනාධිපතිවරයා ද සහභාගි විය. එතුමා ප්‍රධාන දේශනය කළේය.

පළාත් පාලන ආයතන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති තත්ත්වයක් තුළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ අදහස් දැක්වීම අතිශය ආන්දෝලණාත්මකය. පළාත් පාලන ඡන්දයට අදාළව පැවරූ නඩුවක් ඇසූ විනිසුරුවරයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කොමිටියට කැඳවීමට යෝජනා කළ බවද අමතක කළ නොහැක. නීති ක්ෂේත්‍රය අර්බුදයට ලක්වීම හදිස්සියේ ඇතිවූ තත්ත්වයක් නොවේ.

වගකීම් විරහිත දේශපාලනය සහ නීතිඥ සංගමය ද ඇතුළුව සමස්ත අධිකරණ පද්ධතියේ නොසැලකිල්ල මෙන්ම ජනතාවගේ අවශ්‍යතා තේරුම් නොගැනීම මෙම නඩු ගොඩගැසීමට හේතුවිය.

● දේශපාලන අවශ්‍යතාවය නොමැතිවීම

ඇමෙරිකානු උපදෙස් සහ ආයෝජන මත පමණක් මිලියන භාගයකට වඩා වැඩි හිරවී ඇති නඩු තොගය තව දුරටත් වර්ධනය වීම වැළැක්විය නොහැක. ඊට දේශපාලන උනන්දුව සහ අවශ්‍යතාවය තිබිය යුතුමය. යුක්තිය ඉටුවීම ඉතාමත් අසාධාරණ ආකාරයට ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇත. ඉතාමත් අර්බුදකාරී ආර්ථික පරිසරයක් තුළ යුක්තිය ඉටුවීම පමාවීම ජනතාවට මහත් පීඩාවක් ඇතිකර ඇත. නමුත් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ආන්දෝලණාත්මක නඩු කටයුතු සම්බන්ධයෙන් පලවී ඇති අදහස් අවධාරණය කරන්නේ අධිකරණ ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම නඩු ගොඩ ගැසීමට සීමා කළ නොහැකි බවයි.

අධිකරණයෙන් මතු වන්නේද සමස්ත දේශපාලනික . ආර්ථික . සමාජීය අර්බුදයම බව පැවසීම ආන්දෝලණාත්මක විය හැකිය. කෙනකු එම ප්‍රකාශය අභියෝගයට ලක් කළ හැකිය. නමුත් එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනතුරට පත් වීම සහ එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් ආණ්ඩුව /නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාදාමය අභියෝගයට ලක්විය. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ආණ්ඩුවේ ප්‍රතිචාර සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා ඇත්ත වශයෙන්ම සමස්ත නීති ක්‍රියාදාමය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කළේය.

තෝරාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාවේ සහය ලබා ගැනීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ජනතාව පීඩාවට පත්කර ඇති තත්ත්වය නැති කිරීමට අවශ්‍ය පියවර වහාම ගත යුතුය. තවත් ජාතික නීති සම්මේලනයක් තරු පහේ සැපපහසුකම් යටතේ පවත්වනතුරු ප්‍රශ්නය අමතක නොකළ යුතුය. ජනතාව පත්කළ ආණ්ඩු තම වගකීම නිසියාකාරව කළා නම් ඇමෙරිකානු තානාපතිනියට ජාතික නීති සම්මේලනයට ආරාධනා කිරීමට සිදු වන්නේ නැත.

● නඩු සහ ණය කඳු

තව නීති සම්මේලන දුසිමක් පැවැත් වුවත් මිලියන භාගයකට වඩා ගොඩ ගැසී ඇති නඩු විසඳිය නොහැකි බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මෙය ඇමෙරිකානු තානාපතිවරිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ ක්‍රියාදාමය අසාර්ථක වීම තුළ රටේ සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට ලක්විය. ගොඩගැසී ඇති නඩු කන්ද රටේ විදේශීය ණය කන්ද සමඟ සසඳා බැලිය හැක. දේශීය ණය කන්දක් ද ඇත.

අදූරදර්ශී, වගකීම් විරහිත සහ දූෂිත රාජ්‍ය පාලනය හේතුවෙන් රට බංකොළොත් විය. ඒ විදේශීය සහ දේශීය ණය කඳු දෙකේ බරටය. ගිය වසරේ මැයි මාසයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රටේ බංකොලොත්භාවය නිල වශයෙන් පිළිගත්තේය. නමුත් මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටී ඇති ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යක් බවට ප්‍රකාශ කිරීමට පෙර බංකොළොත් වී ඇති බව ජනතාව තේරුම්ගත යුතුය. නඩු කන්ද අවධාරණය කරන්නේ නීති ක්ෂේත්‍රයේ බිඳ වැටීම නොවේද?

සුවිශාල ඇමෙරිකානු ආයෝජනයට අමතරව, යුරෝපීය සංගමය (රුපියල් බිලියන 4) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (රුපියල් මිලියන 225) 2022 සිට වසර 4 ක් තුළ නීති ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහනකට ලබා දී ඇත. නීති ක්ෂේත්‍රයේ ඇතුළු සියලුම අංශවල විදේශීය ආණ්ඩු සහ සංවිධාන කරන ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් විය යුතුය. නමුත් මැති සභය නියෝජනය කරන පක්ෂ . විපක්ෂ කණ්ඩායම්වලට පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අවබෝධයක් තිබේද ?

එජාපයේ කරු ජයසූරිය කථානායක ලෙස කටයුතු කළ සමයේදී වඩාත් යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීමට රුපියල් බිලියන 1.92ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බව නිල වශයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය. යහපත් රාජ්‍ය පාලනයක් තිබෙන රටක නඩු මිලියන භාගයක් ගොඩ ගැසෙන්නේ නැත.

මූල්‍ය වගකීම සහ නීති සැදීම අප පාර්ලිමේන්තුවේ මූලික කාර්යභාරයයි. එම කාර්ය නිසියාකාරව සිදුවී ඇති තත්ත්වයක් යටතේ මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 740 ක රත්‍රන් සහ ලක්ෂ 42 ක ස්මාර්ට් ජංගම දුරකථන 91 රේගුවට හොරෙන් පැන්න වීමට උත්සහ කරන්නේ නැත. නමුත් මැයි 22 උදෑසෙන රේගුවට හසුවූ ජාවාරම්කරු පැය 24ක් තුළ රුපියල් ලක්ෂ 74ක දඩයක් ගෙවා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මිලියන භාගයක නඩු කන්දක් තරමටම බරපතළය. නමුත් පාර්ලිමේන්තුව අදටත් නිහඬය.

නුවරඑළිය සමුළුවේදී ජූලි චන්ග් තානාපතිවරිය දශකයකට වැඩි කාලයක සිට ඇමෙරිකානු බදු ගෙවන ජනතාව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශක්තිමත් කිරීමට කර ඇති දායකත්වය අවධාරණය කළාය. ඇමෙරිකාව ආයෝජනය කර ඇති අධිකරණ පද්ධතියේ විවිධ ක්ෂේත්‍ර වෙන වෙනම සඳහන් කළ එතුමිය කාන්තාවන්ට එම ක්ෂේත්‍රයේ පත්වීම ලැබීම සම්බන්ධයෙන් ඉතාමත් උනන්දුවෙන් කරුණු දැක්වූවාය. එසේ නම් මිලියන භාගයක නඩු කන්දක් ජනතාව මත ගොඩනැඟීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුමය.

● ‘මිලේනියම් සිටි’ නඩුව

ගොඩ ගැසී ඇති නඩු අතර දේශපාලනික සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය සංවේදී නඩු ඇත. නඩු කන්දේ බරපතළ භාවය අවධාරණය කිරීමට එක නඩු කටයුත්තක් සම්බන්ධයෙන් කෙටි සටහනක් තැබීම කාලෝචිතය. එජාප පාලන කාලයේදී (2002 ජනවාරි 02) කුලසිරි උඩුගම්පොළ නමැති සහකාර පොලිස් අධිකාරිවරයා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ තිබූ යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවහන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුට එරෙහිව කොළඹ මහා අධිකරණයේ පවරා ඇති නඩුව අදටත් අවසන් නැත. එම සිද්ධිය වන අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිය. එදා දේශපාලන පොර පිටිය රත් කළ මාතෘකාවක් වූ ‘මිලේනියම් සිටි’ පාවාදීම අද පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට මතක නැත.

අතුරුගිරිය මෙහෙයුම හෙළිදරව් කිරීමෙන් පසුව ත්‍රස්තවාදී බුද්ධි අංශය හමුදාව සමඟ එක්වී සිටි හිටපු සාමාජිකයන් සහ ඔත්තුකරුවන්

ගණනාවක් මරා දැමූ බවට යුද හමුදාව ප්‍රකාශ කර ඇත.

කුලසිරි උඩුගම්පොල කළ මෙහෙයුමේ දේශපාලන වගකීම එජාපයේ බව අවධාරණය කළ යුතුය. මෙහෙයුම අතරතුරේදී කුලසිරි උඩුගම්පොල එවකට පොලිසිය භාර අමාත්‍ය ජෝන් අමරතුංග සමග දුරකථනයෙන් සම්බන්ධ වූ බව ද රහසක් නොවේ. ඊට එරෙහිව හඬ නැඟූ අද පොහොට්ටුව නියෝජනය කරන කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ය. එය දේශපාලන කතාවකි. නඩුවට අදාළ නැත. නමුත් ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර 14 ක් යනතුරු මිලේනියම් සිටි නඩුව අවසන් නොවීම ඇත්ත වශයෙන්ම පුදුමාකාර තත්ත්වයකි. දෙපාර්ශ්වයටම අසාධාරණයකි. මෙවැනි නඩුවකට මෙතරම් කාලයක් ගත වීම සාධාරණීකරණය කළ හැකිද? මෙවැනි තත්ත්වයක් ජාතික ආරක්ෂාවට බලපෑමක් කළ හැකිද? කුලසිරි උඩුගම්පොල කරන්න දෙයක් නැති කමට මෙවැනි අවදානම් සහගත මෙහෙයුමක් දියත් කළ බවට හේතු සාධක නැත. එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට යම්කිසි දේශපාලන අත පෙවීමක් සිදු වූවාද යන ප්‍රශ්නය බැහැර කළ නොහැක.

එවකට තිබූ දේශපාලන වාතාවරණය අධ්‍යයනය නොකර යුද හමුදා බුද්ධි අංශය එල්. ටී. ටී. ඊ. සංවිධානයට ද්‍රෝහී වූ කණ්ඩායමක් සම්බන්ධ කරගෙන මුදා නොගත් ප්‍රදේශවල ක්‍රියාත්මක කළ අතිශය රහසිගත මෙහෙයුමක් පොලිසිය හෙළිදරව් කිරීම අවබෝධ කරගත නොහැක. නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කළාද ?

● සැබෑ විමර්ශනයක අවශ්‍යතාවය

දේශපාලන පක්ෂ බේදයකින් තොරව අධිකරණයේ ගැටලු වහා විසඳීමට කටයුතු කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල ප්‍රධාන වගකීමක් විය යුතුය. ඇමෙරිකානු තානාපතිවරිය අවධාරණය කළ තිත්ත ඇත්ත පාර්ලිමේන්තුව වටහාගත යුතුය. ඒ ඇයගේ කොළඹ ක්‍රියාන්විතය නිසි අධ්‍යයනයකට ලක් කිරීම තුළය. ත්‍රස්තවාදය 2009 මැයි මාසයේදී පරාජය කිරීමෙන් පසුව ඇමෙරිකාව කොළඹට පත්කළ තානාපති ප්‍රධානීන් පස් දෙනා අතර ජූලි චන්ග් ඇතුළුව කාන්තාවන් හතර දෙනකු ඇත. ඇයට පෙර කොළඹ සේවය කළ පැටි්‍රෂියා ඒ. බුටේනිස්, මිෂෙල් ජේ. සිසෝන් සහ ඇලේයිනා බී. ටිප්ලිට්ස් සමඟ සසඳා බැලූවිට වර්තමාන ඇමෙරිකානු තානාපතිවරියගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය අවබෝධකර ගත හැක. ඇය නැති නැතක් නැත. ජාතික නීති සම්මේලනය මාස හතරක් තුළ දෙවරක් ඇමතීම අවධාරණය කරන්නේ ඇමෙරිකාවේ අවශ්‍යතාවයයි.

චන්ග් මහත්මිය මෑතකදී ආන්දෝලණාත්මක විෂයක් වන්නේ ඇය ව්‍යවස්ථාවට පිටින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෝඨාභය රාජපක්ෂ ඉවත් වූ පසුව තාවකාලික ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලෙසට කථානායකවරයාට යෝජනා කළ බවට පාර්ලිමේන්ති මන්ත්‍රී විමල් වීරවංශ කළ චෝදනාවයි. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ නමුත් කථානායකවරයා අදටත් එම චෝදනාව සම්බන්ධයෙන් නිහඬය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment