වැඩිහිටි ලොව හුදෙකලා දුරු කරන වගා බිමක අසිරිය

238

අප සෑම පුද්ගලයකුටම ජීවිතයේ අවධි තුනක් ඇත. ළමා අවධිය, තරුණ අවධිය සහ වැඩිහිටි අවධිය ලෙස ඒවා සඳහන් කර තිබේ. මවුකුසින් මෙලොව බිහි වූදා සිට වයස අවුරුදු 18 දක්වා ළමා අවධිය ලෙස පවසයි. වයස අවුරුදු 18 සිට 40 දක්වා තරුණ අවධිය ලෙස සඳහන් කරයි. එතැන් සිට ඇරඹෙන්නේ වැඩිහිටි අවධියයි.

වැඩිහිටි අවධිය යනු බොහෝ දෙනා හුදෙකලා වීමට පටන් ගන්නා කාලයයි. තම දූදරුවන් තරුණ වියට පත්ව ඔවුන් ඔවුනගේ ලෝකවල ජීවත් වීමට සැරසේ. වැඩිහිටියන් එම යුගය පසු කර ඇති නිසා එම ලෝකයට යළි එක් විය නොහැක. ඒ නිසා ඔවුනට තම වැඩිහිටි ලෝකයට පියමන් කිරීමට සිදු වේ. කායිකව දුබල වෙමින් සහ මානසිකව දුබල වෙමින් යන මෙම අවධියේදී තම පෙර පුරුදු ක්‍රියාශීලී කටයුතුවල නිරත වීමට නොහැකි වනවිට ඇති වන මානසික පීඩාව ද ඉහළ යයි. ඒ නිසා වැඩිහිටි අවධියේදී හුදෙකලා වීම ඉතා භයානකය. එවිට ඉතා ඉක්මනින් කායික සහ මානසික රෝග පීඩාවනට ගොදුරු වේ.

මෙහිදී වැඩිහිටි නිවාසවල සිටින පුද්ගලයන් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් ඔවුන් එම නිවාසවලට පැමිණ ඇත්තේ තම වැඩිහිටි අවධිය ගත කිරීමට සාමාන්‍ය සමාජයේ නිසි රැකවරණයක් නොමැති නිසාය.

වැඩිහිටි නිවාසයකට කොටු වන ඔවුනගේ කායික සහ මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීම කෙරෙහි ඒවායේ පාලකවරුන් දැඩි අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් ඉතා ඉක්මනින් ඔවුනගෙ කායික සහ මානසික සෞඛ්‍ය පිරිහී ඔත්පල වීමට හෝ මිය යෑමට පිළිවන.

මෙවැනි වැඩිහිටියන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා දෙහිවල අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය සිදුකරන විවිධ ක්‍රියාකාරකම් අතර ‘අපට අවශ්‍ය භෝග අපම වවා ගැනීම’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ යටතේ කාබනික පොහොර භාවිත කරමින් එළවළු, පලතුරු ආදිය අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක වගා කර තිබේ.

වැඩිහිටි ලොව හුදෙකලා දුරු කරන වගා බිමක අසිරිය

මේ සම්බන්ධව සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය පදනමේ සභාපති හපුතලේ පඤ්ඤාරාම හිමියෝ පැවසූවේ මෙසේය.

අපි මෙම වගා ව්‍යාපෘතිය 2009 වසරේදී ආරම්භ කළා. ඒ අනුව වගා මලු සහ භාජනවල එළවළු පලතුරු වගා කරනවා. එහිදී වම්බටු, මාළු මිරිස්, අමු මිරිස්, බණ්ඩක්කා, කැකිරි, පිපිඤ්ඤා, ගෝවා, රාබු, මෑකරල්, තලන බටු, රම්පෙ, කරපිංචා, සේර, අල, බතල, මඤ්ඤොක්කා, තක්කාලි ආදී එළවළු රැසක් වගා කරනවා.

එසේම අළු කෙසෙල්, සීනි කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල් සහ කාවන්ඩීස් වර්ගයේ කෙසෙල් වර්ග බිම වගා කරනවා.

මෙම වගා කටයුතු සියල්ල කරන්නේ වැඩිහිටි විවේකාශ්‍රමයේ නේවාසික වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලය විසිනි.

මෙම වගාවෙන් අපට දිනපතා ආහාර වේල් තුනට අවශ්‍ය එළවළු ටික සපයා ගන්නවා.

මෙහි අගය හොඳින්ම දැනුනේ පසුගිය කොවිඩ් කාලවකවානුවේදී. ඒ කාලයේ අපට පිටින් දාන ලැබීම අඩු වුණා. නමුත් අපි වගා කටයුතු කර තිබූ නිසා අවශ්‍ය එළවළු ටික සපයා ගත හැකි වුණා යැයි උන්වහන්සේ පැවසූහ.

මෙම වගාවේ සුවිශේෂී බවක් ද අපි දුටුවෙමු.

වගා මලු සහ භාජනවල ඇති එළවළු වර්ග සිටුවා ඇත්තේ කොහු බත්, කුකුල් පොහොර, එළු පොහොර, ගොම පොහොර, කරදහයියා ආදිය මිශ්‍රකර සාදාගත් පසුබිමකය. ඊට පස් භාවිතා කර නැත.

යම් භෝගයක් හොඳින් වැවෙන්නේ මුල් පස තිබුණොත් පමණයි. බොරළු හෝ වැලි පසේ එය වැවෙන්නේ නැහැ. ඒ නිසා අප මෙම මිශ්‍රණ මගින් සාදාගත් පසුබිමක පැළ සිටුවනවා.

වැඩිහිටි ලොව හුදෙකලා දුරු කරන වගා බිමක අසිරිය

පැළ වර්ග හොඳින් වැවෙන්න අවශ්‍ය කාබනික පොහොර ටික අපිම සාදාගන්නවා. ඒ සඳහා මුළුතැන්ගෙයින් ඉවතලන තේ කොළ, කෙසෙල් ලෙලි, අඹ ලෙලි වැනි පලතුරු වර්ග ලෙලි, ඉඳුල් වතුර ආදිය යොදා ගන්නවා.

මෙම කටයුතු සඳහා අපට බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු මූලස්ථානාධිපති ඒ. අයි. ජයතිලක මහතා උපදේශනය ලබා දෙනවා යැයි ඒ ගැන පැහැදිලි කරමින් හපුතලේ පඤ්ඤාරාම හිමියෝ සඳහන් කළහ.

මෙම වගා කටයුතු කිරීම සඳහා වැඩිහිටියන්ට දිනපතා උදේ සවස වේලාවක් වෙන්කරදී ඇත. උදෑසන 8.30 සිට 9.30 දක්වා පැයක් ද සවස 4.30 සිට සවස 6.00 දක්වා පැය එකහමාරක් ද ඊට වෙන්කර තිබේ.

එසේම වැඩිහිටි කණ්ඩායම් සඳහා වගා භූමි කොටස් ද වෙන් කරදී ඇත. ඒ අනුව එම කණ්ඩායම තම වගා භූමි කොටසේ වගකීම දැරිය යුතුය.

මෙලෙස තම දෑතින්ම වගා කරගත් වසවිස නැති එළවළු පලතුරු අස්වැන්න නෙලාගෙන ඒවා ආහාරයට ගැනීම තුළින් ඔවුන් අසීමිත සතුටක් ලබන බව අපට එම වැඩිහිටියෝ පැවසූහ. එම සතුට වගා මලුවල සටහන් කර ඇත්තේ සහනෝදා සතුටු හරිත (Sahanoda Happy Green) ලෙසිනි.

මෙම වගාවට අමතරව සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම භූමියේ ඔසු උයනක් ද ඇත. එහි අරත්ත, මස්බැද්ද, කිරිඅඟුණ, වැනිලා, මදුරුතලා, හාතවාරිය, හීං අරත්ත, නීරමුල්ලිය, තිඹිර, නික, මදුරුතලා, කප්පරවල්ලිය, පත්තෑගස්, අක්තපාන, ඉඟුරු පියලි, කොබිබෑ, හීරුස්සපළු, කෝමාරිකා, කටුපිළ ඇතුළු වටිනා ඖෂධ වර්ග රැසක් ඇත. ඒවායේ උද්භිද විද්‍යා නාමය ද සමග එම ඖෂධ පැළ නම් කර වගා භූමියක් සාදා ඇත්තේ මෙවැනි ඖෂධ පැළ නොදුටු අයට දැක ගැනීමට බව හපුතලේ පඤ්ඤාරාම හිමියෝ අපට පැවසූහ.

මෙම වගාව නිසා මෙහි සිටින ඇතැම් වැඩිහිටියන් තමා සතු වගා හැකියාවන් ද යළි එළිදක්වන බව ද ඉන් ඔවුන් තම අතීතය සිහිපත් කරමින් අසීමිත ප්‍රීතියක් ලබන බව ද ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

අපගේ කායික සහ මානසික සතුටට ගහකොළ සහිත හරිත පරිසරය අත්‍යවශ්‍යය. ඉන් අපට ආහාර භෝග ඵලදාවක් ලැබෙනු පමණක් නොව ඔක්සිජන් පිරි පිරිසිදු වාතය සහිත පරිසරයකුත් ගොඩනැඟේ. ඒ නිසා මෙවැනි පරිසරයක සිටින වැඩිහිටියන් තුළ මානසික ආතතිය, හුදෙකලා බව නැත. ඔවුන් නිතර සිටින්නේ සතුටිනි. එම සතුට ඔවුනට නිරෝගී දීර්ඝායුෂ ලබා දේ.

උපාලි ද සේරම්
පින්තූර – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment