නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?

645

හසරක් නොපෙනෙන
මග දිග සපැමිණ
අයාලයේ ආ ගමනක්
බහුරූ කෝලම්
විසූක දස්සන
අතොරක් නොමැතිව
ඇසකන රවටන
මේක නාඩගම් මඬුවක්….

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?


ඔන්න ඔහොම ගායනයක් සමග තමයි මීට අවුරුදු එකහමාරකට කලින් එනම් 2021 ජනවාරි 18 වැනිදා නාඩගම්කාරයෝ කියන ටෙලි සිත්තමේ පළමු දිග හැරුම සිද්ධ වුණේ. කවුද හිතුවේ මේක ටෙලි නාට්‍ය වංශ කතාවේ ලොකු පෙරළියක් ඇති කරයි කියලා. දින, සති, මාස ගෙවිලා යනකොට සරා, මනමාලන්, කුකුළා මුදලාලි, සුදුචූටි, මාස්ටර්, ලොකු හාමුදුරුවෝ, සරාගේ ගැන්සිය හරි හරියට හිට් වෙන්න පටන් ගත්තා. ඔය අතරේ ඒ සමගම ආර්ථික අර්බුද කියන ප්‍රශ්නත් හරි හරියට ඇවිත් තිබුණේ. ඉතින් කරඬුතැන්න ගමේ හැදුණ නාඩගම්කාරයෝ ටෙලියට මොන තරම් නම් බාධක එන්න ඇතිද? ඒ සියල්ල පරයා නාඩගම්කාරයෝ යූ ටියුබ් ද හොල්ලන්න පටන් ගත්තා. සද්ධාමංගලගේ තිර රචනයෙන්ද, ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ අධ්‍යක්‍ෂණයෙන්ද, චාමර සමරවික්‍රමගේ නිෂ්පාදනයෙන්ද කාලෙකට පස්සේ පුංචි තිරයට සාධාරණයක් ඉෂ්ට කරපු මේ නාඩගමේ අවසානයට දැන් ඇවිත් තියෙන්නේ. නාඩගමක් අවසානයේ කෝලමක ආරම්භයක් ගැනත් කියැවෙනවා. ඉතිං අපි නාඩගමේ සෙට් එක ඇමතුවේ නාඩගමේ අවසානයට ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්නමයි. මොකද තව දින දෙකකින් ඔයාලා ආදරය කරපු සරා, සුදු චූටි පුංචි තිරයෙන් අපිව දාලා යනවා.

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?

නාඩගමක අවසානයේ කෝලම් කුට්ටම එනවා – අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්

ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ පෙරළියක් වුණා නම් ඒක ගැන මම සතුටු වෙනවා. හැබැයි අවසානය ගැන කියනවා නම් සාමාන්‍ය නාට්‍යයක් වගේම නාඩගම්කාරයෝ නාට්‍යයෙත් අවසානයක් දකින්න වෙනවා. එතකොට අපි නාලිකාවත් සමගත් කතා කරගෙන, තිර කතා රචකයා සමගත් කතාබහ කරගෙන කිසියම් අංකයකින් (කොටස් 400 කින්) මේක ඉවර කරනවා, නැතිනම් සමාප්ත කරනවා කියන එකඟතාවයට ඇවිත් තමයි අවසාන කරන්නේ. නමුත් මම හිතනවා ප්‍රේක්ෂක රසවින්දනයට මේක බාධාවක් වෙයි කියන හින්ද මේකේ අවසානය මෙහෙමයි වෙන්නේ කියලා කියන්නේ නැතිව ඉමු.

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?
අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

සාමාන්‍යයෙන් මගේ නාට්‍ය විකාශය වන කාලේ අදාළ නාලිකාවේ ජනප්‍රියම නාට්‍ය බවට පත්වීම සාමාන්‍ය දෙයක්. ඒක පසුගිය අවුරුදු 20ක් 25ක් කාලය තුළ එම නාට්‍යය ඒ කාලේ නාලිකාවේ විකාශය වන ජනප්‍රියම නාට්‍ය බවට පත්වුණා. නාඩගම්කාරයෝ හදද්දි මේක ලංකාවේ ටේ‍රන්ඩින් වෙයි, අංක එකට එයි, අපිට සම්මාන ලැබෙයි කියන බලාපොරොත්තුවක්  සද්ධගේ තිබුණෙත් නැහැ. මගේ තිබුණෙත් නැහැ. එතකොට අපි දෙන්නටම ඕනෑ වුණේ වෙනස් ආකාරයකට වැඩක් කරන්න. එකම දේ මම හිතන්නේ අනික මේ නාට්‍යයේ වෙච්ච සුවිශේෂම කාරණය තමයි මේ නාට්‍යයේ චරිතවලට හරියටම ගැළපෙන නළුවා හෝ නිළිය තේරුණා කියලා මට හිතෙනවා. ඒ ඒ චරිතවලට සුදුසුම කෙනාට ඒ චරිතය ලැබුණා කියන මතයේ තමයි මම ඉන්නේ.

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?

නාඩගම්කාරයෝ ඉවර වෙද්දී අපි ආරම්භ කරනවා අලුත් නාට්‍යයක්. ඒ නාට්‍යයේ නම කෝලම් කුට්ටම කියලා එකක්. නාඩගම්කාරයෝ වගේම සාම්ප්‍රදායික දේශීය දේ අගයන නාට්‍යක්. ඒ නාට්‍ය ජනප්‍රිය වෙයිද නැතිද කියන්න මම දන්නේ නැහැ. මේ නාට්‍යයේ නාඩගම්කාරයෝ නාට්‍යයේ රඟපෑ කිසිම ශිල්පියෙක් රඟපාන්නේ නැහැ. අපි දැන් කතා කළේ කරඬුතැන්න ගමගැන නේ. දැන් අපි කතාබහ කරන්නේ වෙන ගමක් ගැන. ඒ ගමේ, මේ ගමේ කට්ටිය ඉන්න බැරි නිසා නාඩගම්කාරයෝ නාට්‍යයේ රඟපෑ අතිරේක ශිල්පියෙක්වත් මේ නාට්‍යයට ගන්නේ නැති වෙන්න පරිස්සම් වුණා.

කරඬුතැන්න එහෙමම තියේවි – පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?
පිටපත් රචක – සද්ධාමංගල සූරියබණ්ඩාර

නාඩගම්කාරයෝ කියන්නේ මගේ දීර්ඝතම නාට්‍යය. මීට කලින් මම හාරකෝටිය, කෝටිපතියෝ කියලා නාට්‍යයන් කළා. ඒ දෙක එකතුකළහම තමයි කොටස් ටිකක් වැඩි වුණේ. එක දිගට නාට්‍යයක් ලියලා ඒක අවසන් වෙනකොට පවුලේ අය නැතිවෙනවා වගේ ගතියක් දැනෙනවා. මම ජීවත් වුණේ කරඬ`ුතැන්නේ. මම ඇසුරු කළේ සරා. ලොකු හාමුදුරුවෝ, මාස්ටර්, කුකුළා මුදලාලි වගේ චරිත එක්ක. එතකොට ඒ ගොල්ලන්ගෙන් වෙන් වෙනවා වගේ හැඟීමක් දැනෙනවා.

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?


පිටපත ආරම්භයේදී මේ නාට්‍ය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. අනික එහෙම හිතන්නත් බැහැනේ. එහෙනම් අපට හැම තිස්සෙම පුළුවන්නේ ජනප්‍රියවන දේවල්ම කරන්න. වෙනස් දෙයක් වෙයි කියන අදහස තිබුණා.

නාඩගමක අවසානයට අවසානයක් නොවෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. කරඬුතැන්න එහෙමම තියේවි. කරඬුතැන්නේ ජනතාව ඒ විදිහටම ජීවත්වෙයි.

ඔවුන්ගේ ජීවිතවල විවිධ දේවල් ඉස්සරහට සිද්ධ වෙයි. නමුත් අපිට ඒක ටෙලි විෂන් එකේ පෙනෙන්නේ නැති වෙයි.

ටෙලි නාට්‍යකරණයේ මිනිස්සුන්ව ලොකුවට වෙනස් කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස නොකරපු කෙනෙක්. මම ගොඩක් රසවින්දනය ඉලක්ක කරගෙනම වැඩකරපු කෙනෙක්. නමුත් මේකට මට බිරිඳ නිතර නිතර කියපු දෙයක් තමයි පොසිටිව් දෙයක් කරන්න, ඒකෙන් යම් වෙනසක් කරන්න පුළුවන් වේවි කියලා. ඒ නිසා තමයි මම මගේ

අප්පච්චිගේ කතාව නාඩගම්කාරයෝ කියලා ලියන්න පටන් ගත්තේ. ටික දුරක් යනකොට ලැබුණු ජනතා ප්‍රතිචාර හා නරඹන්නන්ගේ අදහස් අනුව යම් වෙනසක් අපිට කරන්න බැරිම නැහැ කියලා.

මගේ පිටපතට මේ චරිතවලින් විශිෂ්ට දායකත්වයක් ලැබුණා. සාමන්‍යයෙන් මම කරපු ටෙලි නාට්‍යවලදී මට මේ සතුට නළු නිළියන් සම්බන්ධයෙන් හැම නාට්‍යයකින්ම ලබන්න පුළුවන් වෙලා නැහැ. නාඩගම්කාරයෝ චරිත බහුතරයක් මම නිර්මාණය කරපු චරිතයට වඩා සාධාරණයක් ඉෂ්ට කළා. ඔවුන්ට ඒ චරිත ජීවමාන කරන්නත් පුළුවන් වුණා. ඒක ටිකක් අමාරු වැඩක්.

හොඳම තැනින් ඉවර කරන්න ඕනෑ – නිෂ්පාදක චාමර සමරවික්‍රම

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?
නිෂ්පාදක – චාමර සමරවික්‍රම


ඇත්තටම ගොඩක් සතුටුයි. මම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දොළහක් විතර වෙනවා. ඒ කාලය අතරතුර මම සම්බන්ධවෙලා වැඩකරපු ජනප්‍රියම නාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. එක අතකින් ඉවර වෙනකොට පොඩි දුකක් තිබුණත් මේක හොඳම තැනින් ඉවර කරන්න ඕනෑ. දිගින් දිගටම මේක කරගෙන යෑමෙන් ප්‍රේක්ෂකයාට තිබෙන රසාස්වාදය නැති වෙන්න පුළුවන්. හොඳම තැනට ආවට පස්සේ එතැනින් එහාට යනවාට වැඩිය හොඳයි එතැනින් නතර කරන එක. ඒ නිසා අපි දැනට නතර කරන්න තීරණය කරලා තියෙනවා.

විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ මේ වගේ සාර්ථක නිර්මාණයක් ජනතාව අතරට ගෙනියන්න පුළුවන් හැකියාව ලැබුණේ මේකට සම්බන්ධ වෙච්ච පිරිසත් එක්ක. මම ඒ අයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. කොරෝනා වසංගතයත් එක්ක විකාශනය එක දවසක් හෝ නොනවත්වා පවත්වාගෙන යෑමට ලොකු උත්සාහයක් ගත්තා. රටේ විවිධ ප්‍රශ්න තිබුණා. මොන ප්‍රශ්නය ආවත් එක දවසක් හෝ විකාශනය නොවී තියන්න ඉඩ දුන්නේ නැහැ. නොනවත්වා විකාශනය කරගෙන යන්න සෑහෙන්න මහන්සියක් ගත්තා. නාඩගමක අවසානයේ කුතුහලය ප්‍රේක්ෂකයාට භාර කරමු.

හිරේ ගියාට පස්සේ මමත් ලොකු ගැටලුවක හිටියා – ගිරිරාජ් කෞෂල්‍යය  (කුකුළා මුදලාලි)

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?

ඇත්තටම නාඩගම්කාරයෝ අවසානය ගැන කතා කරනකොට මතක් වෙන්නේ මුල. නාඩගම්කාරයෝ රූගත කිරීම් කිරිඳිවැලදී නැකතකට තමයි පටන් ගත්තේ. මට හරිම සන්තෝෂයි. නැකතට මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ මම. නාඩගම්කාරයෝ මුල්ම රූගත කිරීම මගෙන් පටන්ගත්තේ. රූගත කිරීම් කරගෙන යනකොට මට අසනීප වෙනවා. අසනීපයත් එක්ක මම හිරේට වැටෙනවා. හිරේට වැටුණට පස්සේ ඒ චරිතය ආපසු එයිද නැද්ද කියලා ලොකු ගැටලුවක මමත් හිටියා. නමුත් මගේ වාසනාවකට මට බෙහෙත් කරපු වෛiාචාර්ය තුමන්ලාගේ ප්‍රතිකාර හින්දා නැවත මට  නාඩගම්කාරයෝ සමග එකතුවෙන්න ලැබුණා.

 පිටපත් රචකයා සහ අධ්‍යක්‍ෂවරයා වගේම නිෂ්පාදකවරයා පිළිබඳවත් යමක් කියන්න ඕනෑ. මේක ඇතුළේ ටෙලි නාට්‍යයක තියෙන එන්ටර්ටේනින් කියන එක සද්ධා හොඳටම මතු කරලා තිබුණා. සමහර රූගත කිරීම් සඳහා විශාල පිරිස් යොදාගන්න සිද්ධ වුණා. මේක ඇතුළේ ලොකු වැඩ තිබුණා. ඒ කිසිදෙයක් අඩුපාඩු නැතිව නිෂ්පාදන කණ්ඩායම සිද්ධ කළා. මගේ ගුරුවරයා ජයප්‍රකාශ් ශිවගුරුනාදන්. ඔහු තරම් මාත් සමඟ නිහතමානීව වැඩ කරන අධ්‍යක්‍ෂවරයෙක් නැහැ. ටෙලිනාට්‍ය ඇතුළේ නාඩගමක අවසානයේ කුකුළා ටිකක් විතර හොඳ වෙනවා. පැරණි දුෂ්ටකම් අවසාන වෙනකම් තියාගෙන ඉඳලා අන්තිම කොටස් කීපයේදී කුකුළා ටිකක් සරාට නිදහසේ ඉන්න දෙන්න ඕනෑ කියන මතයේ ඉන්නවා. මේ වැරදි වැඩකරලා වැඩක් නැහැ. මේවාම කරලා තේරුමක් නැහැ කියන මතයත් තියෙනවා.

නාඩගමක අවසානයට කුමක් සිදුවේවිද?


 මට හම්බවුණ හොඳම ආදර කතාව – සෙනාලි ෆොන්සේකා (පාඨලී)

ඇත්තටම නාඩගම්කාරයෝ කියන්නේ මගේ ජීවිතයට හම්බවුණ සුවිශේෂී නාට්‍යයක්. මට මේ නාට්‍යයට මුලින්ම කතා කළේ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්. නිෂ්පාදක චාමර සමරවික්‍රම වගේම, පිටපත් රචක සද්ධා මංගල. එතකොට මම හොඳටම මානසිකව වැටිලා හිටියේ. මොකද මගේ තාත්තත් නැතිවෙලා තිබුණේ.

මේ ආරාධනාව ලැබුණට පස්සේ මම ටිකක් කල්පනා කරලා තමයි චරිතය භාරගත්තේ. මේ චරිතය ලැබුණට පස්සේ ලොකු දෙයක් කරන්න නැහැ කියලයි හිතුවේ. මොකද සාමාන්‍ය ගැමි කෙල්ලෙකුගේ චරිතයක්නේ රඟපාන්න තිබුණේ. සරාට තමයි දුෂ්ටකම්, නපුරුකම්, ආඩම්බරකම් වගේම අහිංසක බලාපොරොත්තු ලබාදීම් වගේ දේවල් කරන්න තිබුණේ. ටික දවසක් යනකොට ඒක එහෙම් පිටින්ම වෙනස් වුණා. මේ තරම් ජනතා ආදරයක් ලැබෙයි කියලා විශ්වාස කරන්නත් බැරිවුණා. අන්තිමේ හැමෝම කතා කරන්නේ පාඨලී කියලා නෙමෙයි සුදු චූටි කියලා. මේ නාට්‍ය නිසා සෙනාලි කියන්නේ කවුද කියලත් මිනිස්සු දැනගත්තා. ඇත්ත සෙනාලි සහ සුදු චූටි කියන්නේ කවුද කියලා මිනිස්සු හොඳින් තේරුම් ගත්තා. එතකොට තමයි මට දැනුනේ මිනිස්සු සුදු චූටිට මෙච්චර ආදරෙයි කියලා.

 සුදු චූටි කියන්නේ මට හම්බවුණ ආදරණීය චරිතයක්

නාඩගම්කාරයෝ ආරම්භ කරලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. කාලය ගියා දැනුණේ නැහැ. වෙනස්ම යාළුවෝ පිරිසක් මුණ ගැසුණා. අපේ නම්වලට වඩා චරිතයේ නම් වලින් මිනිස්සු අපට කතාබහ කරන්න පටන් ගත්තා. නාඩගම්කාරයෝ කියන්නේ ඇත්තටම පවුලක් වගේ. ඉවරවෙන්නේ නැහැ කියලා දැනෙනකොට ඉවරවුණා නම් හොඳයි කියලා හිතුණා. නමුත් අවසානයට ආවට පස්සේ පුංචි දුකක් ඇතිවුණා. මේකෙන් පස්සේ මොකද කරන්නේ කියලා හිතලා පොඩ්ඩක් කල්පනා කළා. අන්තිමේ තමයි හිතුනේ මේක චරිතයක් කියලා. සුදුචූටි ඒ තරමට සමීපයි.

මගේ ජීවිතයේ ලොකු ටෙලි නිර්මාණ ප්‍රමාණයකට රංගනයෙන් දායකවෙලා නැහැ. හැබැයි මගේ නිර්මාණ හැම එකක්ම ගත්තහම ඒ එකකටවත් වඩා හොඳටම ආදරය ප්‍රකාශ කරන විදිහ ලස්සනම ආදර කතාව සරා – සුදු චූටිගේ ආදර කතාව කියලා කියන්න පුළුවන්. මට මේ කතාබහ කරන මොහොතේදී පවා මුල් කාලයේ රඟපෑ ආදර ජවනිකා මතක් වෙනවා. මට හම්බවුණ හොඳම ආදර කතාව තමයි සරා, සුදු චූටිගේ ආදර කතාව.

 ● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment