නවසීලන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ බුද්ධි මෙහෙයුම් දැඩි කරයි… ඔවුන් වැඩි දෙනා ස්වයං අභිපේ‍්‍රරණයට ලක්වුවන්

340

නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයේදී ශී‍්‍ර ලාංකික අන්තවාදියකු විසින් සුපිරි වෙළඳසැලකදී පුද්ගලයන් හයදෙනකු කපා කොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියෙන් පසු මෙරට කි‍්‍රයාත්මක වන අන්තවාදීන් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් සෙවීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඇතුළු බුද්ධි අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කළ ශී‍්‍ර ලාංකික අන්තවාදියා පිළිබඳව සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව සෙවීමට මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප‍්‍රකාශයෙක් පැවසීය. ඕක්ලන්ඞ් නගරයේ සුපිරි වෙළඳසලකදී මෙම ප‍්‍රහාරය එල්ල කළ අන්තවාදියා ඉකුත් 2011 වර්ෂයේදී ශී‍්‍ර ලංකාවෙන් පිටව ගිය අයකු බව මේ වනවිට අනාවරණය වී ඇත.

මොහු විසින් අන්තර්ජාලය හරහා විවිධ අන්තවාදී මත ප‍්‍රකාශ කිරීම නිසා මොහු නවසීලන්ත රජය මගින් අසාදු ලේඛනයට ඇතුළත් කර සිටි පුද්ගලයෙකි.

මොහුගේ ගමන් බිමන් මෙන්ම හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් නිරතුරුවම යොදවා තිබූ බව නවසීලන්ත කොමසාරිස් ඇන්ඩෘ කොස්ටර් ප‍්‍රකාශ කර තිබිණි.

අන්තවාදියා විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු පසුපස යමින් සිට ඇති අතර ප‍්‍රහාරය එල්ල කරනවාත් සමගම නවසීලන්ත පොලිසිය ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇත.

මේ අතර ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වන අන්තවාදීන් පිළිබඳව පුළුල් විමර්ශන පැවැත්වීමේ අවධානය මේ වනවිට බුද්ධි අංශ වෙත යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියකු කියා සිටියේ මෙම අන්තවාදීන් ස්වයං අභිපේ‍්‍රරණයට ලක්වූවන් බවය.

එවැනි අන්තවාදීන් වියරු මානසිකත්වයෙන් යුතුව ඕනෑම ස්ථානයකදී කි‍්‍රයාත්මක විය හැකි බව ද ඔවුන් පිළිබඳව දැඩි සුපරීක්ෂාවෙන් සිට එම අන්තවාදී හඳුනා ගැනීමට කටයුතු කිරීමට කි‍්‍රයා කරමින් සිටින බව ද එම බුද්ධි අංශ නිලධාරියා කියා සිටියේය.

මෙවැනි අන්තවාදීන් පිරිස් බිහිකර ඔවුන් ස්වයං අභිපේ‍්‍රරණයට ලක් කරන මධ්‍යස්ථාන පිළිබඳව සහ ඊට ඔවුන් යොමු කරන අන්තවාදී පාසල් සම්බන්ධ දැඩි අවධානය යොමු විය යුතු බව ද මෙම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment